‘බද්ද’ යන වදන වර්තමානයේ ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත. ඒ වදනට ප්‍රිය කරන්නන් සොයාගැනීම උගහට වුවද එමගින් සැලසෙන රටක ස්ථාවරභාවය පවත්වාගෙන යාමට සුවිශාල දායකත්වයක් ලබාදෙයි. බදු ගැසීම පිළිබඳ මහනුවර යුගය අතිශයින් වැදගත් වන අතර ඒ කාලයේ නොගැසූ බද්දක් නොමැති තරම්ය. වර්තමානයේ ද නොයෙකුත් දෑ සඳහා බදු අය කරනු ලබයි. වර්තමානයේ පමණක් නොව අතීතයේ සිට පවත්වා ගෙන එන රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙසින් මෙකී බදු ක්‍රම හඳුන්වා දිය හැකිය.
රාජ්‍ය පාලනයේදී එසේත් නැත්නම් රටක් ස්ථාවරව පවත්වා ගෙන යෑමට නම් රජයේ භාණ්ඩාගාරය ශක්තිමත්ව තිබිය යුතුය. ආර්ථික, දේශපාලන ආදී අංශ සඳහා ප්‍රාග්ධනය අවශ්‍ය අතර එකී මූල්‍යමය ප්‍රාග්ධනය සඳහා මෙසේ බදු පැනවීම් සිදුකොට ඇත. මේ පිළිබඳ ඉතා වැදගත් සාක්ෂි ලැබෙන මූලාශ්‍රයක් ලෙසින් ශිලාලේඛන හඳුන්වා දිය හැකිය. ශිලාලේඛන මගින් මෙකී බදු ක්‍රම සම්බන්ධයෙන් බොහෝ කරුණු උකහාගත හැකිය. ‘කර, දක්පති, බොජියපති’ ආදී නම්වලින් හැඳින්වෙන වදන් 3ක් බොහෝ විට අතීත ශිලාලේඛනවල පෙනේ. එහි ‘කර’ යනුවෙන් දැක්වෙන්නේ සාමාන්‍ය බද්ද යන අදහසයි. ‘දක්පති’ යනු ජල බද්දයි. ‘බොජියපති’ යනු ගමක ප්‍රධානියා රජයට ලබාදිය යුතු බදු මුදලයි.
අතීතයේ පටන් මෙරට පැවතියේ කෘෂි කර්මාන්තය මූලික කරගත් ආර්ථික තත්ත්වයක් නිසා බොහෝ විට ජලය හා සම්බන්ධයෙන් බදු ක්‍රම හඳුන්වාදී තිබූ බව පෙනේ. ඊට කදිම නිදසුනක් පෙරියම්කුලම් ශිලා ලේඛනයේ දැක්වේ. එහි වන්නේ වැවේ ජලය කුඹුරුවලට බෙදා දීමේ දී අයකළ බදු මුදලක් සම්බන්ධවයි. මේ කාලයේ දී ඇතුන් වෙනුවෙන්ද බදු ගෙවීමක් රජයට කළ යුතු බව මූලාශ්‍රවල සඳහන් වන අතර ඇතැම් බදු මගින් ලැබෙන මුදල් වෙහෙර විහාර නඩත්තුව සඳහා වැය කර තිබේ.
අතීතයේ භූමිය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති රැසක් තිබුණු අතර ඉඩම් භුක්තිය විෂයයෙහි එහි වැඩි නැඹුරුවක් ඇත. ගබඩාගම් නමින් හැඳින්වූ ඉඩම්වල බොහෝ විට සිදු කෙරුණේ රජයේ භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම සඳහා ඒවායේ වගා කිරීමයි. ඒවායේ ආදායම් ලැබුණේ මහා භාණ්ඩාගාරයටයි. එසේම පමුණු වශයෙන් දුන් ඉඩම්වලින්ද රජයට බද්දක් අයකර ඇත. ඉඩම් බදු යටතේ දුන් ඒවායින්ද මුදල් අය වී ඇත. බදු අයකිරීමේදී මුදල්වලින් පමණක් නොව ධාන්‍ය ආදී අස්වැන්නෙන් බදු ලබාදිය හැකි බව මෙකල තිබුණු ක්‍රමවේදයකි. කෘෂිකර්මාන්තය හා සම්බන්ධයෙන් ‘කරල් බද්ද, දිය බද්ද, මඩ බද්ද’ ආදී බදු පනවා තිබූ බව කියැවේ. අනුරාධපුරයේ ඇති දළදාගෙයි ලිපියේ දැක්වෙන්නේ වැව්වලින් ගන්නා ජලය සඳහා පමණක් නොව ළිංවලින් ගන්නා ජලය සඳහා ද බද්දක් අය කළ බවයි. වෙළෙඳාම් සිදුකිරීමේදීද බදු මුදලක් අය කළ බව කියැවෙන සුප්‍රසිද්ධ ටැම් ලිපිය වන්නේ ‘බදුලු ටැම් ලිපිය’ හෙවත් හෝපිටිගමු ලිපියයි.
මීට අමතරව මේ කාලයේ පැවති බදු සම්බන්ධයෙන් අදහස් දක්වන විමලකීර්ති හිමියන් ‘සිංහලාණ්ඩුව’ නමැති කෘතියේදී ඒ පිළිබඳ කරුණු දක්වා ඇත. කඩබද්ද, ගම්බද්ද, මඩරන්බද්ද, බුලත්මණ්ඩප බද්ද, තීරු බද්ද, රෙදි බද්ද, ඇඟ බද්ද, මස්රන් බද්ද, තොටුපළ බද්ද, කොළවෙල් බද්ද, මුතු බද්ද, මැණික් බද්ද, පුවක් බද්ද, ගම්මිරිස් බද්ද, ගව බද්ද, මරාලය, කිතුල් බද්ද, රටබද්ද, හුවන්දිරම් බද්ද, ඉරවරිය ආදී වශයෙන් බදු ක්‍රම රාශියක් මේ කාලයේ දී පැවැති බව කියැවේ.
මෙකී බදු මුදලින් සියලු අංශ සංවර්ධනය කිරීමට ප්‍රමුඛත්වය ගෙන තිබූ අතර බදු අයකර ගැනීම සඳහාද විශේෂ නිලධාරීන් පත්කර තිබූ බව ද හඳුනාගත හැකිය. වී වැනි ධාන්‍ය සඳහා බදු අයකිරීමේදී සෑම අමුණකටම වී අස්වැන්නෙන් හයෙන් පංගුවක් රජයට බදු වශයෙන් ලබාදිය යුතු බවට නීති සකස්ව තිබූ බව කියැවේ.
කෙසේ නමුත් මෙකී බදු ක්‍රම මගින් මෙකල ජීවත් වූ ජනයාට එතරම් අපහසු වී නොමැත්තේ රාජ්‍ය පාලකයන් රට වැසියන් නිරන්තරයෙන් දිරිමත් කළ නිසා සහ අදාළ කෘෂිකාර්මික අවශ්‍යතා කලට වේලාවට ලබාදුන් නිසාය. රාජ්‍ය පාලනයේ දී බදු ක්‍රම තිබිය යුතු අතර එකී බදු ක්‍රම මිනිසාගේ අවනතිය පිණිස නොව උන්නතිය පිණිසම පැවතිය යුතු බව අතීත බදු ක්‍රමය මගින් පමණක් නොව ඒ හා සම්බන්ධ ක්‍රියාවලිය මගින් හඳුනාගත හැකිය.
රාජකීය පණ්ඩිත පදියතලාවේ ඥාණවිමල හිමි