• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මහා කාශ්‍යප රහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වැඩ සිටින ලෝකයේ එකම පන්සල

July 18, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මහා කාශ්‍යප රහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වැඩ සිටින ලෝකයේ එකම පන්සල
Share on WhatsAppShare on Facebook

ධුතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතරින් අග තැන්පත් වූ ඒ මහ රහතන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේට බෝහෝ සෙයින් සමාන විය. බුදුරජාණන් වහන්සේ යැයි වරදවා වටහා ගැනීමෙන්, ජනයා උන්වහන්සේට දන් පිළිගැන්වූ අවස්ථාද තිබුණි. නමින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ යැයි නම් ලද උන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේට සමාන වූ බැවින් අනුබුදු ලෙසින් ගෞරව පුද සත්කාර ලැබීය. උන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ නමක් දඹදිවින් අනුරාධපුරයට වැඩම කරන ලදී. ඒ සමය මෙරට ගැමුණු මහ රජතුමාණන්ගේ පාලන සමය විය. එකල බෙම් ගඟ අසබඩ මහරහතන් වහන්සේලා සුලභව වැඩ විසූ පින්බිමක් විය. අනුරාධපුරයට වැඩම වූ මහා කාශ්‍යප දළදා වහන්සේ බෙම් ගඟ අසබඩ වූ මේ පින්බිමට වැඩම කරවීම මැනවැයි සිතූ එක් රහතන් වහන්සේ නමක් එම දළදා වහන්සේ මහත් ගෞරවයෙන් යුක්තව බෙම් තොට සමීපයේ වූ මේ විහාරයට වැඩම කරවන ලදී. ඒ පුවත දැනගත් ගැමුණු මහරජතුමා එහි අංග සම්පූර්ණ විහාරයක් බඳින ලෙස දන්වා එවකට රුහුණු ප්‍රාදේශීය පාලකයා වූ සිය සොහොයුරු සද්ධාතිස්ස කුමරු වහා එහි පිටත් කර හැරියේය. රජුගේ ඉල්ලීම පිට වහා එහි ගිය සද්ධාතිස්ස කුමරු එහි තිබූ විහාරය සංවර්ධනය කොට අංග සම්පූර්ණ විහාරයක් කරවීය. බෙම් මහා විහාරය ලෙස සසුන වෙනුවෙන් මහා සේවයක් කොට පසුව පැමිණි පෘතුග්‍රීසි ආක්‍රමණ හමුමේ විනාශයට පත්ව නූතනයේ ගළපාත රජමහා විහාරය ලෙසින් යලි නැගී සිටියේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදා වහන්සේ වැඩ සිටින මේ විහාරයයි.

අතීතයේ සිටම ලියැවුණු විවිධ ග්‍රන්ථයන්හි හා ජනප්‍රවාදයන්හි සේලාන්තරමුල, ශෛලාන්තායතන, භීමතීත්ථ විහාරය, බෙන්තොට විහාරය, ගලතුරුමුල විහාරය, ගලපාත වෙහෙර වැනි නම්වලින් හැඳින්වූ මේ පුරාණ විහාරය වර්තමානයේ ගලපාත රජමහා විහාරය ලෙසින් හඳුන්වයි. අතීතයේ බෙම් ගඟ ලෙසින් හැඳින්වූ බෙන්තර ගං මායිමේ වර්ග සැතපුම් තුනක පමණ භූමියක් වසා පැතිරි අතීත බෙම් මහා විහාරයෙහි විහාර ගෙය ලෙස පැවති මෙම විහාරය පෘතුග්‍රීසින්ගේ විනාශයෙන් පසුව යළි මහා විහාරය ගොඩ නොනැගුණෙන්, ස්වාධීන විහාරයක් ලෙස වර්ධනය විය. පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කොට පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන්ද ප්‍රකාශයට පත්කොට ඇති මෙම විහාරය බෙන්තර ගඟ මුහුදට වැටෙන බෙම්තොට ආසන්නයේ, දකුණු පළාතේ, ගාලු දිස්ත්‍රික්කයේ, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ පිහිටා තිබේ. පුරාණ රජ සමයේ පංචයෝජන රට්ඨ හෙවත් පස්යොදුන් රටට අයත්ව තිබූ මෙම විහාරය නූතනයේදී බෙන්තර වළල්ලාවිට කෝරළයට අයත් ප්‍රධාන විහාරයකි.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ නමක් වැඩසිටින ලොව එකම ස්ථානය මෙය බවට බෞද්ධයන් තුළ විශ්වාසයක් පවතින බැවින් පුරාණ රජ සමයේ පටන්ම මෙම විහාරයට රාජ අමාත්‍යාදීන්ගේ ප්‍රධාන අවධානයක් යොමුවී තිබුණි. මේ නිසා පැරණි රජවරුන් මෙම විහාරයට නිරන්තර අනුග්‍රහය දැක්වීය. පොළොන්නරු යුගයේදී පළමු වැනි විජයබාහු, පළමු පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල ආදී රජවරු මෙම විහාරය දියුණු කර මහා කාශ්‍යප දළදා වහන්සේට මහත් පූජෝපහාර පැවැත්වූහ.

දඹදෙණියේ රජකල දෙවන පරාක්‍රමබාහු මහරජතුමාද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදා වහන්සේ මෙහි වැඩම කර සිටින බව අසා ගලපාත දළදා මැඳුරට පැමිණ මහා කාශ්‍යප දළදා වහන්සේ වැඳපුදාගත් ආකාරය මහාවංශයේ සඳහන් වන්නේ මෙලෙසිනි. “සුගත් ලෝනා සම බුදුන් ජීවමාන කල එම බුදුහුගේ උතුම් මහා පාංශූකූල චීවර දායාදයද ලැබ උන් වහන්සේගේ ඈවෑමෙන් යමෙක් තෙමේ ධර්ම රාජ්‍යය ගෙන පරිපාලනය කෙළේද සම්බුද්ධ පුත්‍ර වූ ඒ මහසුප් තෙරහුගේ එක් දළදාවක් පූර්වයෙහි කාල ක්‍රමයෙන්ම ලක්දිව් පැමිණියා පස් යොදුන් රට බෙන්තොට විහාරයෙහි දැනුදු සිටින්නේය යනු අසා මහාධ්‍යාසය ඇති ඒ රජ තෙමේ ඒ තෙරුන් කෙරෙහි හටගත් බැතිපෙම් හා ඉතා ගෞරව ඇතිව සිවුරඟ සෙනඟින් පිරිවරන ලද්දේ ඒ මහා විහාරයට ගොස් එහි ඒ උතුම් දළදාව දැක මනෝඥ වූ සුවඳ ඇති අත්තන මල් වර්ගයෙන් ද එසේම පහනින් හා දුමින්ද බත් රැසින්ද තෙදිනක් සාදරයෙන් සතුටු වෙමින් ධාතු පූජා පැවැත්වී” යනුවෙන් මහා වංශයෙහි අසූපස් වෙනි පරිච්ඡේදයෙහි දක්වා තිබේ. මේ පුවත පූජාවලියේ සඳහන් වන්නේ මෙලෙසිනි. “අප බුදුන් ආයාමෙහි බුදුරජය හිමිවූ, සුගත් මහ පවුලෙන් දායද ලද අනුබුද්ධ වූ මහා කාශ්‍යප ස්ථවිරයන්ගේ දළදාද, අනුක්‍රමයෙන් ලඩ්කාවෙහිම පවතිතියි, බෙම්තොට දළදා ගෙයි වැඩ හිඳිතියි, අසා කෙරේ උපන් මහත් වූ ශ්‍රද්ධාවෙන්, මහත් වූ මංගල්‍යයෙන්, සිවුරඟසෙන් සා සමග බෙම්තොට ගොස් ඔබගේ දළදා දැක උපන් මහත් වූ ප්‍රීතියෙන් පිනා, ඒ සා දනව්ව සිසාරා ඇවිරි බඳවා, තුන් දිවා රාත්‍රියක් බතින් – මලින් – සුවඳින් පුදා, මහත් වූ ප්‍රදීප පූජාවෙන් පින් රැස් කළහ” යනුවෙනි.

දේව පතිරාජ අමාත්‍යවරයාද මෙම විහාරයේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ බව සඳහන්වේ. දේව පතිරාජ අමාත්‍යවරයා දෙවන පරාක්‍රමබාහු රජුගේ අග්‍රාමාත්‍ය හා ආගමික කටයුතු ඇමති ලෙස මෙන්ම රටෙහි දකුණෙහි ප්‍රාදේශීය පාලකයා ලෙසද කටයුතු කළ බව මහාවංශයේ සඳහන්වේ. “බෙන්තොට වෙහෙරක් නිශ්ශංක රජහු විසින් වූ කලී ඵලෝද්‍යා-නයක් කරවන ලදී. එසේම මා නමින් පොල් ආදියෙන් සම්පූර්ණ වූ එක් මහ උයනක් රෝපණය කර කියා ඒ ඒ පින් කිරියෙහි උහු යෙදුයේය.” යනුවෙන් මහාවංශයේ අසූහය වන පරිච්ඡේදයේ දැක්වෙන්නේ මෙම විහාරයට පූජා කරන ලද පොල් උයනක් බව සැලකේ. අමාත්‍යවරයා බෙන්තොට විහාර මෙන්ම බෙන්තොට හා කළුතර අතර රජුගේ නමින් පොල් උයනක් කරවූ බවද මහා වංශය කියයි.

කුරුණෑගල යුගයේ සිව්වැනි පරාක්‍රමබාහු රජ සමයේ ලියවුණු “දළදා සිරිතෙහි” සර්වඥ ධාතූන් වහන්සේට දැක්විය යුතු පුද සත්කාර පිළිබඳව ව්‍යවස්ථා දක්වා ඇති අතර බෙම් මහා විහාරයේ වැඩවාසය කළ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේට දළදා පූජා පැවැත්විය යුතු බව එහි නියම කර තිබේ. වර්තමානය වන විට කාශ්‍යප දළදා වහන්සේ දැක බලා ගැනීමට නොහැකි අතර එය විහාරස්ථානයේ ඇති චෛත්‍යයක් තුළ නිධන් කොට තිබේ. කාශ්‍යප දළදා වහන්සේ චෛත්‍යයක් තුළ නිධන් කිරීම පිළිබඳ මත කිහිපයක් පවතින අතර එය දෙවැනි පැරකුම්බා රජතුමා විසින් සිදුකරන ලදැයි එක් මතයක දැක්වේ. කෙසේ නමුත් දඹදෙණියේ දෙවැනි පැරකුම්බා රජ සමය වන තෙක් මහා කාශ්‍යප දළදා වහන්සේ වැඩසිටියේ ගලපාත විහාර භූමියේ සාදවා තිබූ දළදා මැඳුරක බවට සාධක පවතී. කාශ්‍යප දළදා වහන්සේට පැවති ගෞරවය අනුව එය ඉහල වටිනාකමක් සහිත දළදා මැඳුරක තැන්පත් කොට තබන්නට ඇත. වර්තමානයේ මෙම විහාරයේ හමුවන ගල් උළුවස්ස මෙම දළදා මාලිගයේ යැයිද විශ්වාසයක් පවතී.

ස්වාභාවික ගලක් සහිත කඳු ගැටයක මෙම විහාරය පිහිටා තිබෙන අතර උඩ මළුවේ විහාරය, චෛත්‍ය, බුද්ධ මන්දිරය ඇතුළු විහාරාංග දැකිය හැකිය. උඩමළුවට පිවිසෙන ස්ථානය ආසන්නයේ මෙම ශෛලමය ගල් උළුවස්ස වර්තමානයේදී සංරක්ෂණය කොට තිබේ. සිංහල නිර්මාණ ශිල්පියාගේ දක්ෂතාවයට කදිම නිදසුනක් ලෙසින් ලොව පුරා ප්‍රකට වී ඇති මෙම ගල් උළුවස්ස මෙරට මෙතෙක් හමු නොවූ දුර්ලභ ගල් උළුවස්සක් බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. 14 වන සියවසට අයත් නිර්මාණයක් ලෙස සැලකෙන මෙම ගල් උළුවස්ස අඩි 7 අඟල් 5ක් උසැති වන අතර පළලින් අඩි 5 අඟල් 9කි. උළුවස්සේ පාදය හෙවත් යටලිපත මකර රූපයක් හා ඉන් දෙපසට විහිදෙන ලියවැල් රටාවකින් අලංකාර කොට තිබේ. උළුවහු කඳන් දෙකෙහිම පහළ නර්තනයෙහි යෙදෙන පක්ෂි පියාපත් සහිත නාරිලතාවකින් හැඩවී ඇත. මෙම කුරුලු ලියගේ හිස මතින් ඇරඹෙන ලියවැල උළුවහු කඳ දිගේ ඉහළට ගමන් කරයි. මෙම ලියවැලෙහි වෘත්තයන් තුළ නර්තන විලාසයක් දක්වන මානව රූපයන් කැටයම් කොට තිබේ. මෙහි බෙර වයන්නෙක්, තලිය ගසන්නෙක්, නළා පිඹින්නෙක් හා නළඟන රූපයන් අන්තර්ගතය. උළුවහු කඳන් දෙකෙන් ඇරඹෙන කැටයම් ඉහළපත හෙවත් උළුවහු පියස්සේ මැදින්ද දිවේ. මේ නිසා මෙම කැටයම තනි ලියකමක් ලෙස සැලකිය හැකිය. උළුවහු කඳ දෙපස අලංකාර පලාපෙති මොස්තරයක්ද දැකිය හැකිය. ඉතා සියුම් කැටයම් නිර්මාණයක් වන මෙම ශෛලමය උළුවස්ස මෙරට ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට නිර්මාණයකි.

විහාර භූමියෙහි තැනින් තැන ගල් කණු, මුරගල්, සඳකඩ පහණ, කොරවක්ගල් විසිරී ඇති ආකාරය දක්නට ලැබේ. වර්තමානයේ පිළිමගෙය අසල ඇති ගල්කණු පැරණි දළදා මැඳුරට අයත් ඒවා ලෙස සැලකෙයි. කොටස් තුනකින් යුත් පිළිමගෙහි ඇතුළු ගර්භයේ පසු මහනුවර යුගයට අයත් සිතුවම් දක්නට ලැබේ. පිටත මාලය නවීන සිතුවම්වලින් යුක්තය. සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්, හිඳි බුද්ධ ප්‍රතිමාවක් හා හිටි බුද්ධ ප්‍රතිමා හතරකින් පිළිමගෙය සමන්විතය. ප්‍රතිමා ගෘහයට යාබදව 1959දී ඉදිකරන ලද ආනන්ද ප්‍රතිමාලය නම් නව විහාරය දක්නට හැකිය. එහි සැතපෙන පිළිමයක්, හිඳි පිළිමයක් හා හිටි පිළිමයක් ඇති අතර දෙවන පරාක්‍රමබාහු රජු විහාරයට පැමිණීමේ සිදුවීම සිතුවම් කර තිබේ. ඝණ්ටාකාර හැඩයෙන් යුත් පුරාණ චෛත්‍යයද මෙහි හමුවන අතර විශේෂ කළුගල් වර්ගයකින් නිර්මාණය කර ඇති ජල පෙරහන හා ප්‍රතිසංස්කරණයට ලක්ව ඇති පුරාණ පොකුණද මෙහි තිබූ සශ්‍රීකත්වය විදහා දක්වයි. විහාරයට නුදුරින් ඇති වාසලවත්ත නමින් හැඳින්වෙන ස්ථානය අතීතයේ රජවරුන් පූජෝපහාර පැවැත්වීමට පැමිණ රැඳී සිටි තාවකාලික වාසලක් තැනූ ස්ථානයක් බව සඳහන්වේ.

විහාරයේ පහළ මළුවේ මේ විහාරය හා එයට පැවැත්වූ පුද පූජා පිළිබඳ තොරතුරු ඇතුළත් සෙල්ලිපියක් පිහිටුවා තිබේ. මෙම ගිරි ලිපිය පොළොන්නරුවේ රජ කළ පළමු පරාක්‍රමබාහු හෙවත් මහා පරාක්‍රමබාහු රජුගේ රාජ සමයෙහි පිහිටුවන ලද්දකි. ක්‍රිස්තු වර්ෂ 1183 දී යෙදුණු රජුගේ තිස්වන රාජ්‍ය වර්ෂයේ පිහිටුවන ලද මෙම සෙල්ලිපිය මධ්‍යකාලීන සිංහල භාෂාවෙන් පිහිටුවන ලද්දකි. පස්යොදුන් කෝරළය පාලනය කළ දෙමළ අධිකාරී තනතුර දැරූ කහම්බල්කළු මින්දල්නාවන් විසින් රාජ අනුමැතිය සහිතව තම මෑණියන්ගේ හා බෑණාවරුන්ගේ සහයෝගයද ඇතිව ගලපාත විහාරය පිහිටුවන ලද බවත් එය සද්ධර්මරාජන් පිරිවෙන නම් අධ්‍යාපන ආයතනයට ඇතුළත් කළ බවත් මෙහි සඳහන්වේ. එසේම ඔවුන් විසින් ධාතු මන්දිර බෝධීන් වහන්සේලා සහ ප්‍රතිමාද එම විහාරස්ථානයේ පිහිටුවා ඇත. පළමු වන පරාක්‍රමබාහු රජුගේ 30 වැනි රාජ්‍ය වර්ෂයේ වෙසක් පුන් පොහෝ දින විහාරස්ථානයට ප්‍රදානය කරන ලද ඉඩම් සහ විහාරස්ථානයේ වැඩවසන භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යතා සඳහා කැප කරන ලද පරම්පරාගත වහලුන්ගේ නාමලේඛනයක්ද මෙහි සඳහන්වේ (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පැහැදිලි කිරීම). අඩි 11 අඟල් 09ක් දිගින් හා අඩි 5ක් පළලින් යුතු මෙම සෙල්ලිපිය පේළි 28ක් දිගට ලියා තිබේ. එහි දැක්වෙන පරිදි වහලුන් 71 ආරාමයට පූජාකොට ඇති අතර ඉන් 17 දෙනෙකු වහල් කාන්තාවන්ය. සුන්දා, රාමා, ජයවන්දා නැමැති වහලුන්ගේ නම් මෙහි හමුවේ.
මෙලෙස මෙරට ප්‍රධාන විහාරයක්ව පැවති මේ විහාරය 1568දී පරංගින් විසින් වනසා වටිනා දෑ කොල්ලකන ලදී. යළි මහනුවර යුගයේ රජුන්ගේ ආශිර්වාදය මැද විහාරය ගොඩනැගීම ආරම්භ වුවද ඒ වන විට වෙරළ කලාපය බටහිරයන් නතුව තිබූ නිසා විහාරයට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය ඉතා දුර්වල විය. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා මේ විහාරයේ සංවර්ධනය වෙනුවෙන් කහවණු විසිදහසක් පූජා කළ බව රාජරත්නාකාරයෙහි සඳහන්වේ. මෙම විහාරය අද පවතින තත්ත්වයෙන් යළි ගොඩනැගීම ආරම්භ වූයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශාසන ප්‍රබෝධය හේතුවෙනි. සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස උපසම්පදාව ලැබූ දෙද්දුව ධම්මානන්ද හිමියන් 1760 දී මහනුවර සිට ගලපාත වෙහෙරට වැඩම කොට ගලපාත විහාරය මුල්කොට නව ශිෂ්‍ය පරපුරක් බිහිකිරීමට මුල් වූහ.

ස්වාධීන විහාරයක් සේ ගලපාත විහාරය වර්ධනය වුවද අතීත සම්ප්‍රදායන් තවමත් පවත්වාගෙන එයි. කාශ්‍යප දළදා වහන්සේ චෛත්‍ය තුළ නිධන් කිරීම නිසා පරංගි ආක්‍රමණයෙන් ආරක්ෂා විය. මේ නිසා මහනුවර දළදා පෙරහර මෙන් කාශ්‍යප දළදා වහන්සේ වෙනුවෙන්ද දළදා පෙරහරක් වාර්ෂිකව උඳුවප් මාසයේ පැවත්වෙයි. “ශ්‍රී අනුබුද්ධ මහා කාශ්‍යප දළදා පූජෝත්සව මහ පෙරහැර” හෙවත් බෙන්තොට දළදා පෙරහැර නමින් හඳුන්වන මෙම පෙරහැර දෙවැනි පැරකුම්බා රජු විසින් කළ දළදා පූජාව ඇසුරෙන් එකල සිටම ආරම්භ වූයේ යැයි විශ්වාසයක් පවතී. පැරණි බෙම් මහා විහාරයට අයත් අනෙක් විහාරයන් සම්බන්ධ වන පැරණි රජ මාවත හෙවත් වර්තමාන රවුම් පාර දිගේ මෙම පෙරහැර ගමන් කිරීමද ඊට නිදසුනකි.

අතීත මහා විහාරය විනාශ වී ගියත් පැරණි උරුමයන් අනාගත පරපුරට ඉතිර කර දීම වෙනුවෙන් ගොඩනැගුණු බෙම්තොට ගලපාත රජමහා විහාරය අද නිහඬතාවයේ ගිලී සැඟවී පවතී. අනුරාධ මහා විහාරය, දළදා මාලිගාව මෙන්ම සෑම බෞද්ධයකු විසින්ම වැඳ පුදා ගත යුතු, මතු පරපුර වෙනුවෙන් රැක ගත යුතු මේ උරුමය පිළිබඳ බොහෝ දෙනා නොදන්නා තරම්ය. ඒ පිළිබඳව රටේ අවධානය යොමු වේ නම් එය යළිත් මව්රටම බබළවන මහා විහාරයක් වනු නොඅනුමානය.
අසිරු වේදිත කරුණාරත්න

SendShareShare
Previous Post

ඊළඟට නාමල්…? (රටේ පැත්ත)

Next Post

ඔබ සුපිරි තරුවක් කරවන කේන්දරේ ග්‍රහයෝ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.