ලෝක ඉතිහාසය තුළ ශ්‍රී ලංකේය ඉතිහාසයට ඇත්තේ ප්‍රබල ස්ථානයකි. මිහිකතෙන් හොඳම භූමියකට හිමිකම් කියන ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වූයේ ඒ නිසාය. මේ මුතු ඇටයට පෙම් කලාවූ විදේශීය රාජ්‍යයන් බොහෝය. එය වර්තමනයේද එසේය. ඒ නිසාම ඈත ඉතිහාසයේ සිටම විවිධ ක්‍රමවලින් ලංකාද්වීපය ආක්‍රමණය කලවුන්ද බොහෝය. ඒ නිසාම හෙළයන්ට ඔවුන්ගේ යෝධ ශක්තිය වීරිය යොදා මව්බිම ස්වයංපෝෂිත රටක් කරගැන්මට ගත් සෑම උත්සාහයක්ම බොහෝ සෙයින් ව්‍යාර්ථ වූයේ ඒ නිසාය. විදේශ ආක්‍රමණිකයන් දේශයේ සශ්‍රීකත්වයේ ප්‍රතිලාභය ඔවුන්ගේ රටට ගෙන ගියේද හෙළයන්ගේ දහඩිය මහන්සියේ රීරි මාංශ උරා බොමිණි. විජයාගමනයට පෙර සිටම මේ මහ පොළොව ආරක්ෂා කරගැනීමට සටන්වැදි හෙළයන්ගේ ඉතිහාසය බොහෝ සිද්ධීන් ලේඛනගත වී නැතත්, කඩු කිණිසි හා ඊතල වැනි ස්වදේශික අවිවලින් කළ සටන්වලින් අපේ හෙළයන් දිවි පුදද්දි අවි අමෝරාගෙන කාලතුවක්කු වැනි බරපතළ අවි ආයුධවලින් මෙරට ප්‍රථම ආක්‍රමණය ආරම්භ වූයේ ක්‍රි.ව. 1505 දී පමණ පෘතුගීසින්ගේ ලංකාගමනයත් සමගය. සංස්කෘතික, ආගමික හා දේශපාලනික වශයෙන් මහා විනාශයේ ආරම්භයේ සිදුවූයේ පෘතුගීසින් මෙන්ම පෙරදිග සිට ව්‍යාපාර කටයුතු සඳහා පැමිණි දැඩි මතධාරි ආගමික පිරිස් මෙරටට පැමිණීමත් සමගය. කෙසේ වෙතත් අද සටහන ඇත්තටම මේ පෘතුගීසීන් කවුරුන්ද?
“පරංගියා කෝට්ටේ ගියා වගේ” අප ජනයා අතර ප්‍රචලිත මෙම ප්‍රස්තාව පිරුළ පිළිබඳව අප බොහෝ දෙනා උජාරුවෙන් කතා කරන්නේ, ලංකාවට ප්‍රථමයෙන් ගොඩ බැස බර අවිගත් පෘතුගීසි නාවිකයන් රැවටූ බවට සිතමිනි. එහෙත් සිදුවූයේ එයදැයි අප විමසිල්ලෙන් බැලිය යුතුය. ඇත්තටම මෙම පරංගියා කවුද? ඔවුන් කොහේ සිට පැමිණියේද?
ක්‍රි.ව. 700ට පෙර නිදහස් දේශයක් පැවැති පෘතුගාලය, ස්පාඤ්ඤය කිතුනු භක්තිකයන් බහුතරයක් ජීවිත් වූ දේශයන්ය. එහෙත් නොසිතූ ලෙස ක්‍රි.ව. 711 දී අප්‍රිකාවේ සිට පැමිණි මූසා ඉබුනු නුසයියාර්ගේ පුත් අබ්දුල් අසීස්ගේ අරාබි හමුදාව අයිබීරියන් අර්ධද්වීපයේ කොටසක් අත්පත්කරගැනීමේ මහා ආක්‍රමණයෙන් පෘතුගාලයද අත්පත් කරගත්තේය. ඉන් පසුව සිදුවූයේ පෘතුගාලයේ හා ස්පාඤඤයේ සෑම නගරයක්ම ආරාබි නම්වලින් හැඳින්වීමය. එපමණක්ම නොව සෑම කිතුනුවෙක්ම අප්‍රිකානු අරාබි සංස්කෘතියට නැඹුරු කරන ලදී. ලිස්බන්හි ඇල්ෆාමා නගරය එකල අරාබි මුස්ලිම්වරුන්ගේ ප්‍රබල බල කොටුවකි. අදටත් එහි ආකමණික තත්ත්වයන් දැක ගත හැකිය. ආක්රමණික අප්‍රිකානු නායක අබ්දුල් අසීස්ගේ අරාබි හමුදා පාලනය පෘතුගාලයේ හා ස්පාඤ්ඤයේ වසර පන් සියයකට වඩා පැවැතිණි. ඒ කාලය තුළ ඒ ප්‍රදේශ විශාල සමෘද්ධියක් ලැබූ බව ඉතිහාසඥයින් පෙන්වා දෙන විට සිහියට නැගෙන්නේ පෘතුගිසී, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණයන් නිසා සිහලදීපයට සිදුවූ අභ්‍යන්තර සංවර්ධනයන් සේම මහා විනාශයන්ය. ක්‍රි.ව.1249දී පෘතුගාලය අත්පත් කරගෙන එහි කිතුනු දහම නැවතත් ප්‍රචලිත කළත් අද වන විටත් එහි ඇතිකළ අරාබි සංස්කෘතීන් බොහෝමයක් නොවෙනස්ව එලෙසම පවතියි. ඒ අනුව අද වන විටත් එහි නගරවල නම් හා පුද්ගල නාම භාවිතයේදී “අල්” යන කෙටි වචනය මුලට යෙදේ. ඒ වචනය අරාබින්ගේ වචනයකි. එසේම ක්‍රි.ව. 711 දී සයිබීරියන් මහා ආක්‍රමණයේදී පෘතුගාලය හා ස්පාඤ්ඤය අත්පත් කරගැනීමෙන් පසුව එහි නගරවල හා ගම්වල නම් වෙනස් කිරීමේදී වෙනස් කළ එක් නගරයකි “අල්-මයිදා” එසේ නාමය වෙනස් කළ මෙම අල්මයිදාහි වැසියන්ගේ පෙළපත් නාමයද පසුකාලීනව අරාබි පාලකයන් විසින් “අල්මයිදා” ලෙස වෙනස් කෙරුණි. එසේ පෙළපත් නාමය වෙනස් වූ පෘතුගාල වංශවත්වත් පවුල් අතර ඩොම් ෆ්රැන්සිස්කෝද අල්මෙයිදාද විය. පෘතුගීසි වංශාධිපතියෙකු මෙන්ම සොල්දාදුවකු හා ගවේෂකයෙක් වන ඔහු පෘතුගාලයේ ජොන් රජුගේ උපදේශක ලෙස හා පෘතුගාලයේ ආක්රමණික පාලකයන් වූ අප්‍රිකානු අරාබීන් පන්නා දැමීමට සහාය වූ ප්‍රබල සොල්දාදුවෙක්ද විය. ක්‍රි.ව. 1450 දී පෘතුගාලයේ ලිස්බන්හි උපත ලද ඩොම් ෆ්රැන්සිස්කෝද අල්මෙයිදා, ක්‍රී.ව. 1505 නොවැම්බර් මස 15 දින ලංකාවට ගොඩ බැසි ලොරෙන්සේද අල්මේදාගේ පියාය.
වර්ෂ 1505 දී ලොරෙන්සෝද අල්මෙයිදාගේ ලංකාගමනය අහඹු සිදුවීමක් බව අපගේ ඉතිහාසයේ සඳහන්. එය එසේ වූවත් 1500 දි ජර්මනිය, එංගලන්තය, ප්‍රංශය ආදී තවත් රටවල් කිහිපයක් දිගින් දිගටම පවත්වාගෙන ආ රදළ සමාජ ක්‍රමය පහළොස්වන සියවසේදී බිඳවැටීමෙන් පසුව ඇතිවූ ධනවාදී මහා සමාජ පෙරළිය ලොරෙන්සෝද අල්මෙයිදාගේ ලංකා ගමනයට හේතු වූ බව සඳහන් කළ හැකිය.
කොළඹ වරාය ආසන්නයේ රැඳී සිටි ලොරෙන්සෝද අල්මෙයිදාගේ ප්‍රබල හමුදාව දුටු එකල කොළඹ වරාය ආශ්‍රිතයේ වෙළෙඳ ව්‍යාපාර ඒකාධිකාරය පතුරුවාගනිමින් සිටි සංක්‍රමණික මුස්ලිම් වෙළෙඳුන් බියටපත්ව ඇති අතර, පසු කාලීනව ඔවුන් පෘතුගීසින් සමග සටන් කර පෘතුගීසින්ගේ දරුණු අවි ප්‍රහාර හමුවේ පරාජයට පත්ව ඇත. ඊට පසුවද ස්වදේශිකයන් සමග එක්ව තවත් විශාල ප්‍රහාර මාලාවක් දියත් කර ඇති එයින් සුළුවෙන් හෝ ප්රතිකාල්වරුන් බියට පත්වූ බවද ඉතිහාසයේ සඳහන්. කෙසේ වෙතත් එවකට කෝට්ටේ රජු වූයේ හත්වන ධර්ම පරාක්‍රමබාහු රජතුමාය. හත්වන පරාක්‍රබාහු රජු වයෝවෘද්ධව හා අසනීප තත්ත්වයේ පසුවූ නිසා රාජ්‍ය පාලනය ගෙන ගියේ අටවන පරාක්‍රමබාහු රජතුමාය. කොළඹ වරාය ආශ්රිත මුස්ලිම් වෙළෙඳුන් මේ පිළිබඳව රජුට සැලකිරීමෙන් පසුව ඔවුන්ගේ මෙම සැලකිරීම එකහෙළා නොපිළිගත් රජතුමා, චක්‍රායුධ සෙනෙවියා කොළඹට යවා නිරීකෂණය කිරීමෙන් ලබා ගන්නා ලද තොරතුරු අනුව පෘතුගීසින්ට රජතුමා බැහැදැක සාකච්ඡා කිරීමට අවසරය ලබා දුන්නේය. එම අවසරය මත රජුගේ සේවකයින් පෘතුගීසීන් රජ මාලිගාවට කැටුව යාම පිළිබඳව සැකයක් ඇතිකර ගනියි. පැය කිහිපයකින් කෝට්ටේ රජ මාලිගයට යාමට තිබූ අවස්ථාව මග හැර ඔවුන් දුර මාර්ගයකින් රජ මාලිගයට කැටුව යාමට උපක්රමශීලීව තීරණය කරගෙන ඇත. ඒ නිසා වර්තමානයේ දැඩි ජනගහනයෙන් පිරි නාගරික නගරයක් වූ බොරැල්ල එදා ඇළ දොළ දිය කඩිතිවලින් මෙන්ම වන සිව්පාවුන්ගෙන් පිරුණු වනයකි. ඒ ආසන්නයට පැමිණෙත්ම එහි තිබූ ජලය පිරුණු ඇළක් පෘතුගීසි නාවිකයන්ට පෙන්වා “මෙහි භයානක මිනී කන කිඹුලන් සිටිනවා. එහෙත් මෙම ඇලෙන් එගොඩ වි රජ වාසලට යායුතුයි. නැතිනම් බොහෝ දුරක් ගෙවා වෙනත් මංවලින්ද යා හැකිය” යයි රාජ්‍ය සේවකයන් පැවසීමෙන් බියට පත් පෘතුගීසින් රාජ්‍ය සේවකයින්ගේ බසට අවනත වී දින දෙකක් පමණ ඇළ දොළවල්, ගංගා, ගිරි දුර්ග කටුක මං ඔස්සේ දුෂ්කර ගමනකින් පසුව රජ වාසලට සේන්දු වී ඇත. එදා එසේ පෘතුගීසීන් රැවටූ බොරු ඇළ, වර්තමානයේ බොරැල්ල වූ බව ජනප්‍රවාදයයි. පසු කාලීනව පෘතුගීසීන් සමග ඇති වූ සටන්වලදි දෙමටගොඩ, බොරලුගොඩ දෙසින් පරංගීන්ට පහරදුන් බව ඉතිහාසයේ සඳහන් වනුයේ ද මෙම බොරැල්ල විය හැකිය.
රජුගේ සේවකයන්ගේ උප්පරවැට්ටියට පරංගීන් හසු වූ බව සිතා ඒ සිද්ධිය උපහාසයට ගත්තද, රජවාසලේදී පරංගීන් ඒ බව දැනගෙන ඇත. ඔවුන් කොළඹ වරායෙන් කෝට්ටේ දක්වා ගමන් ආරම්භ කළ අවස්ථාවේ ඇසුණු කාලතුවක්කුවල හඬ කෙමෙන් කෙමෙන් අඩුවි ගොස් ඇති අතර පසුව රජ වාසලට ළංවෙත්ම ඔවුන්ගේ කාල තුවක්කුවල හඬ නැවත ඇසී ඇත. ඒ මොහොතේ තමන් ස්වදේශීකයන්ගේ බොරුවකට හසුවි ඇති බව පෘතුගීසි නාවිකයන් වටහාගෙන ඇත. අවසානයේදී ලොරෙන්සෝද අල්මෙයිදා ක්‍රි.ව. 1508 මාර්තු මාසයේ දිනක අවුරුදු විසිඅටක් ජීවත්ව සිට ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ චවුල්හිදි තම පියා මිය යාමටද පෙර මිය ගියේය.
රොෂාන් මාවතගම











