ආදරයට, ප්‍රේමයට වැටකොටු නැත. සීමා බන්ධනද නැත්තේය. එවැන්නකට ජාති, කුල, ආගම් බේද බලපාන්නේද නැත. එයට කදිම සාක්‍ෂියක් අපගේ ඉතිහාසයෙන් ගෙන හැර දැක්වීමට මෙම ලිපිය තුළින් අපේක්‍ෂා කරමි.
මෙම ආදර කතාව දේශ සීමා බන්ධනද බිඳගෙන එහා ගිය එකකි. ආසියාවේ බලවතා වන ඉන්දියාවත් – ශ්‍රී ලංකාවත් යන දෙරට අතර ඇති වූ එබඳු අසහාය ප්‍රේම වෘත්තාන්තයක තොරතුරු ඉතිහාසයේ කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් තිබේ.
ඉන්දියාවේ ප්‍රකට අග්‍රාමාත්‍යවරයකු වූ ශ්‍රී ජවහර්ලාල් නේරු ශ්‍රීමතාණන්ගේ දියණියක වූ ඉන්දිරා ප්‍රියදර්ශනී නේරු එදා දැකුම්කලු රූමත් නව යුවතියක වූවාය. ඇයගේ පියා සංගීතයට බෙහෙවින් ඇලුම් කළේය. මේ සිතිවිල්ල නිසාම සිය දියණිය සංගීතඥවරියක කිරීමට නේරු පියාට ඕනෑ විය.ඉන්දිරා දියණියද සංගීතයට මෙන්ම නැටුම් කලාවටද බෙහෙවින් ඇලුම් කළාය. නේරු පියාගේ ඕනෑකමත්, සිය දියණියගේ සංගීතයට මෙන්ම නැටුම් කලාවට තිබූ කැමැත්තත් යන කරුණු කාරණා මල්පල ගන්වමින් ජවහර්ලාල් නේරු සිය දියණිය ඉන්දිරා ලෝ ප්‍රකට ඉන්දියාවේ රවින්ද්‍රනාත් තාගෝර්තුමාගේ ශාන්ති නිකේතනයට ඇතුළු කළේය.
ඒ වන විට ඉන්දිරා ප්‍රියදර්ශනී වයස අවුරුදු පහළොවක තරමේ නව යොවුන් තරුණියකව සිටියාය.
මෙම කාලයේ ගාල්ලේ – බද්දේගම සිටි එදිරිසිංහ පවුලද ප්‍රකටය. එම පවුලේ දරුවකු වූ නව යොවුන් වියේ පසුවූ ලයනල් එදිරිසිංහ තරුණයාද සංගීතඥයකු කිරීමට ඒ පවුලේ අයට ඕනෑවී තිබිණි.
එදිරිසිංහ පවුලේ අය තම පුත් ලයනල්ද සංගීතය හැදෑරීමට රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේම ශාන්ති නිකේතනයට ඇතුළු කළේය.
එකල හැඩකාර කඩවසම් තරුණයකු වූ ලයනල් එදිරිසිංහ පසුවූයේ විසි හැවිරිදි වියේය. සිත යනු මහ පුදුම එකකි. ශාන්ති නිකේතනයේ සංගීතය හා නැටුම් කලාව හදාරමින් සිටි ඉන්දිරා ප්‍රියදර්ශනී නේරු යුවතියගේ සිත එහිම සංගීතය හදාරන ලංකාවේ, ගාල්ලේ, බද්දේගම ලයනල් එදිරිසිංහ තරුණයා කෙරෙහි බැඳී ගියාය.
එකිනෙකා හඳුනාගෙන හිතවත්කම් පෑ නව යොවුන් වියේ පසුවූ ඉන්දිරා ප්‍රියදර්ශනීගේ සිත ලංකාවෙ ලයනල් එදිරිසිංහයන් වෙත බැඳී ටික කලකින්ම ඔවුන් දෙපළ ආදරවන්තයෝ වූහ.
ඔවුනොවුන් දෙදෙනාට එකිනෙකා නොදැක සිටීමට බැරි තරමේ ආදර බැඳීමක් ඉන්දියාවේ ඉන්දිරා අතරත් ලංකාවේ ලයනල් අතරත් දින දින ලියලා වැඩෙන්නට වූහ.
ඉන්දියාවේ ඉන්දිරාගේ සහ ලංකාවේ ලයනල්ගේ ප්‍රථම ප්‍රේමයද මෙය විය. විසි හැවිරිදි තරුණ වියේ පසුූ ලයනල්ද, පහළොස් හැවිරිදි නව යොවුන් යුවතියකව සිටි ඉන්දිරා ප්‍රියදර්ශනීට පණ ඇරලා ආදරය කළේය. වයසින් පමණක් නොව මේ දෙදෙනාම කඩවසම්ය, දැකුම්කලුය, හැඩකාරය. එසේ බලන විට මේ දෙදෙනා සැබෑ ලෙසම දෙදෙනාට දෙදෙනා ගැළපුණෝය.
මේ අතර දිනක් ඉන්දිරා ප්‍රියදර්ශනීට හිත කීරි ගැහෙන ආරංචියක් ලැබුණේය. එයින් කියැවුණේ ඇගේ මව බරපතළ අසනීප තත්ත්වයකින් පසුවන බවය. තම මවට බෙහෙවින් ආදරය කළ ඉන්දිරා ශාන්ති නිකේතනයේදීම හඬා වැටුණාය. එදා ඇය තරමකට හෝ අස්වසා සනසනු ලැබුවේ ඇගේ ආදරණීය පෙම්වතාවූ ලයනල් එදිරිසිංහ තරුණයාය.
‘අපේ අම්මාට සුව වූ වහාම මම ආපහු එනවා. මට දැන් ඔයා දකින්නේ නැතිව ඉන්න බැහැ’ යැයි ලයනල්ගේ දෙඅත් අල්ලා හඬා වැටෙමින් ඉන්දිරා කීවාය.
ඇගේ දෑසින් ගලා හැලුණ කඳුළු පිසදැමූ ලයනල් හරි… හරි… ඔයා ගිහිල්ල ඉස්සෙල්ල අම්මව සනීපකර ගන්නකො… අපි පස්සෙ හමුවෙමු. ලයනල් ඇගේ දෙඅත් තරයේ අල්ලාගෙන කීවේ තම හදවතේ කැකෑරෙන වේදනාව යටපත් කරගෙනය.
සිය මව බැලීමට ගිය ඉන්දිරාට නැවැත ශාන්ති නිකේතනයට යන දිනයක් ගැන හිතා ගැනීමටවත් බැරි විය. ඊට හේතුව වූයේ ඇගේ මව බරපතළ ලෙසම අසනීප වී සිටි බැවින් තමන්ට ඇයව දමා යෑමට නොහැකි තත්ත්වයක් උදාවී තිබීමය.
කෙසේ වෙතත් උදාවී තිබූ තත්ත්වය හමුවේ ඇයට අකැමැත්තෙන් වුවත් ශාන්ති නිකේතනයට ආයුබෝවන් කීමට සිදුවූවාය.
ඇගේ සිතේ සංගීතය, නැටුම් කලාව ඉගෙනීමට තිබූ ආසාව මවගේ අසනීප තත්ත්වය හමුවේ බොඳවී ගියාය. එහෙත් ඉන්දිරා තම ලංකාවේ ප්‍රේමවන්තයා වූ ලයනල් අමතක කළේ නැත. එසේම ලයනල්ටද තම භාරත ප්‍රේමවන්තිය අමතක කළ නොහැකි විය.
එහෙත් එන්න එන්නම සිය මවගේ අසනීප තත්ත්වය උත්සන්න වූයෙන්, ඉන්දිරාට බාහිර ලෝකය ගැන හිතන්නටවත් අවකාශ නැති විය. අන්තිමේ ඉන්දිරාට සංගීතඥවරියක් මෙන්ම නැටුම් කලා ශිල්පිනියක් වීම තිබූ අපේක්‍ෂාව අකාලයේ බොඳ වූවා සේම, තම ප්‍රේමවන්තයා වූ ලංකාවේ ලයනල් එදිරිසිංහ සමඟ එක්වීමට තිබූ අපේක්‍ෂාවද බොඳවී ගියාය.
කල්ගත වීමේදී ඉන්දිරාට පාර්සි ජාතිකයකු වූ පෙරොස් ගාන්ධිගේ අත ගැනීමට සිදුවූවාය. පත්‍රකලාවේදියකු වූ පෙරොස් මෙන්ම ඉන්දිරාද කුඩා කල සිට දැන හැඳින ගෙන සිටි දෙදෙනකු බව පැවැසේ.
ඉන්දිරා – පෙරෝස් අතර ඒ අවධියේ ප්‍රේම සබඳතාවක් තිබූ බව දැනගන්නට ඇත. පත්‍රකලාවේදියකු වූ පෙරෝස් ගාන්ධි පසුකලෙක නීතිඥයකු වී ලන්ඩනයට ගොස් සිටියදී කුඩා කල සිට තිබූ සබඳතාව අලුත් වී දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිව තිබේ. ඒ අනුව මේ දෙදෙනා විවාහ වී ඇත්තේ 1942 වසරේදීය. එනම් අදට වසර 77කට පෙරය.
මෙතැනදී තව කරුණක් සැලකළ යුතුය. එය නම් පෙරෝ ගාන්ධිය. මහත්මා ගාන්ධි පරපුරෙන් පැවැත එන කෙනකු නොවන බවය.
ජවහර්ලාල් නේරු ඉන්දියාවේ අගමැති ධුරයට පත්වූ ඔහුට හිමි නිල නිවෙසට ගිය පසු ඉන්දිරා – පෙරෝස් යුවළද එම නිල නිවෙසේ පදිංචි වූහ.
එයා පසු කලෙක පෙරෝස්ද ඉන්දියාවේ මහමැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු විය. ඊට පසු පෙරෝස් ඔහුට ලැබුණු නිල නිවෙසට ගොස් පදිංචි විය.
පෙරෝස් එසේ ගියත් ඉන්දිරා ඔහු සමඟ නොගොස් තම පියාගේ අවශ්‍යතා සොයා බලා ඒවා ඉටු කරමින් අගමැති නිල නිවෙසේම නතර වූවාය. ඉන්දිරා තම සැමියා සමඟ පිටව නොගියේ එසේ කළා නම් පියා තනිවන නිසාය. පෙරෝස් සමඟ ඉන්දිරා නොපැමිණි නිසා ඔහුටද තම මන්ත්‍රි නිල නිවෙසේ පාළු ජීවිතයක් ගතකිරීමට සිදුවිය. මේ නිසා පෙරෝස් තමන්ගේ තනිය මකා ගැනීමට ක්‍රමයෙන් මත්පැනට යොමු වුණේය. එසේ සිටියදී පෙරෝස්ට හෘදයාබාධයක් වැලැඳී තදබල ලෙස අසනීප වූයේය.
තම සැමියා අසනීප වී ඇතිවග දැනගත් පසු ඉන්දිරා වහාම පැමිණ ඔහු සුවපත් කරගැනීමට දැඩි වෙහෙසක් දැරුවාය. විශාල කැපකිරීමක් කොට ඉන්දිරා සිය මන්ත්‍රි සැමියාව සුවපත් කරගත්තාය. එසේ කළත් ඉන්දිරාට දිගටම සැමියා සමඟ සිටිය නොහැකි වූයේ එදා ඉන්දියාවේ අගමැතිව සිටි සිය පියාද අගමැති මන්දිරයේ තනිව සිටි බැවින් ඔහු ගැනද සොයා බැලීමෙ වගකීමද ඇය පිටම පැවරී තිබූ නිසාය
ඉන්දිරා නැවැත පියා ළඟට ගියාය. තම නිවෙසේ තනිවූ පෙරෝස් නැවැතද මත්පැනට ගිජුවෙමින් වඩ වඩා මත්පැන් ගැනීමට පුරුදු වූවේය. මේ නිසා යළිත් පෙරෝස් ගාන්ධිට හෘදයාබාධය වැලැඳුණේය. ඒ ආරංචිය ලද සැණින් ඉන්දිරා යළිත් සිය සැමියා ළඟට ආවාය. පෙර සේම අවශ්‍ය වෛද්‍යවරු කැඳවා වෛද්‍ය උපකාර ලබා දෙමින් සැමියා සුවපත් කරගැනීමට දැඩි ලෙස උත්සාහ කළත් ඇගේ සියලු උත්සාහයන් එවර නිෂ්ඵල වූවාය. ඇගේ දයාබර සැමියා වූ පෙරෝස් ගාන්ධි ඉතා අවාසනාවන්ත ලෙස අකාලයේ මියගියේය.
එදා රවීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ශාන්ති නිකේතනයට ශ්‍රී ලංකාවේ බද්දේගමින් සංගීතය හැදෑරීමට ගොස් සිටි ලයනල් එදිරිසිංහ තරුණයා සමඟ පෙමින් බැඳුණු ඉන්දිරා ප්‍රියදර්ශනී නේරු යුවතිය ඔහුගේ පියා වූ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයාව සිටි ශ්‍රී ජවහර්ලාල් නේරු ශ්‍රීමතාණන්ගේ ඇවෑමෙන් ඉන්දිරා ගාන්ධි නමින් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූවාය.
මෙම ප්‍රේම වෘත්තාන්තයේ කතානායකයා වන බද්දේගම ලයනල් එදිරිසිංහ තරුණයා පසුකලෙක ශ්‍රී ලංකාවේ ප්‍රකට සංගීතඥයකු විය. මෙකී පෙම් යුවළම අද ජීවතුන් අතර නැත.
එසේම ඉන්දියාව පාලනය කළ ශ්‍රී ජවහර්ලාල් නේරු අග්‍රමාත්‍යවරයාගේ දියණිය වූ ඉන්දිරා ගාන්ධි මැතිනියද මහා භාරතයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අතර, ඇයගේ පුත් රජීව් ගාන්ධිද ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරය දැරීම නිසා ඒ තිදෙනාම ඉන්දියා දේශපාලන ඉතිහාසයේ නොමැකෙන චරිත තුනක් බවද අමතක නොකළ යුතුය.
ලොව ප්‍රකට අග්‍රමාත්‍යවරියකව සිටි ඉන්දිරා ගාන්ධි තණ භූමියක ගමන් කරන අතරවාරයේ මෙයට වසර තිස්පහකට (35) පෙර එනම් 1984 වසරේ ඔක්තෝබර් මස 31දා ඇයගේම ආරක්‍ෂක භටයන් දෙදෙනකු තැබූ වෙඩි ප්‍රහාරයකට ගොදුරු වී අවසන් හුස්ම හෙළුවාය.
කෙසේ වෙතත් ආසියාවේ බලවතා වන ඉන්දියාවේ අගමැති පුටුව හෙබවූ එදා භාරත මාතාව ලෙස විරුදාවලි ලබා සිටි ඉන්දිරා ගාන්ධි මැතිනිය මියෙනතුරුම ලොව වෙනත් රටකට වඩා ශ්‍රී ලංකාවට දැඩි ආදරයක්, ඇල්මක්, සෙනෙහසක් දැක්වූයේ ඇගේ ජීවිතයට මුලින්ම පෙම් කළ ශ්‍රී ලංකාවේ ප්‍රේමවන්තයාගේ මිහිරි මතකය තදින් කාවැදී තිබූ නිසා විය හැකිය.
නන්දන ශ්‍රී දොරකුඹුර











