ගෙදර බුදුන් අම්මා… ඇය හැමදාම පැතුවේ පවුලේ සතුට සැනසීම පමණයි. ඈ මුළු නිවසටම ආලෝකයක්. අද ඔබට කියන්න හදන්නේ ඒ වගේ අම්මා කෙනෙක් ගැන. ඇය ඉන්දිකා සුබසිංහ. ඉන්දිකා මේ වනවිට ටෙලිනාට්‍ය රැසකම මවක් වී හමාරයි. ඒ තරමට පුංචි තිරයට නැතුවම බැරි මවක්. මේ දිනවල ‘සංගීතේ’, ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිවල එකිනෙකට වෙනස් පැතිකඩ දෙකක චරිතවලට ජීවය දෙන ඇය සමගයි ‘හාට්’ අපේ අද කතාබහ.Sri Lanka Latest News
ඉන්දිකා දැන් මුළු රටටම අම්මා කෙනෙක්. ඉතින් කියමුකෝ ඒ ආදරණීය සෙනෙහස ගැන?
මගේ දරුවන්ට විතරක් නෙවෙයි. මුළු රටේම තවත් එක් අම්මා කෙනෙක් විදියට මාව පිළිඅරගෙන ඉවරයි. ‘අම්මා’ එහෙම කියද්දිම හදවතට මාරම විදියට දැනෙනවා. ප්‍රේක්ෂක ජනතාවගේ අම්මා වීම සතුටුදායකයි. ආදරෙයි ඒ ආදරණීය පිළිගැනීමට.
‘කෝ ජයේ’ කොහොමද ඒ අම්මා?
ජයේ සිහිනෙක තනිවෙලා මේ දවස්වල. දමයන්ති ගැන කතා කරන්න වචන නැති තරම්. ඒ තරමට මම දමයන්ති චරිතයට ඒ පවුලට පුදුම ආදරයක් තියෙන්නේ. දමයන්ති චරිතයේ ගතිපැවතුම් හරියට මගේ අම්මාගේ ගතිපැවතුම් හා සමානයි. ඒ තරමට දමයන්ති මගේ ජීවිතයේ කොටසක් වී හමාරයි. මම නිවීසැනසිල්ලේ කතාකරන හැසිරෙන එකම චරිතය දමයන්ති චරිතය වෙන්න ඇති. මගේ ඇඟටමත් නොදැනී දමයන්ති තුළ මම ජීවත් වෙනවා. ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන් විඳිනවා දමයන්ති නිසා.
හැබැයි තවත් පැත්තකින් හොඳ දෙස්දෙවොල් එනවා?
අම්මෝ ඒ තරමට සංගීතේ ටෙලිනාට්‍යයේ සේමිණි චරිතයට හොඳ හොඳ ආමන්ත්‍රණවලින් මුලදී ප්‍රතිචාර ආවා. පාරක බැහැලා යන්න බැරි තරමට. මම ඉතින් තිර පිටපතට චරිතයට උපරිම සාධාරණයක් කරනවා. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට ඒ තරමට චරිතය දැනිලා. දමයන්ති සහ සේමිනි චරිත මට අහසයි පොළොවයි වගේ. හැබැයි දැන්නම් දමයන්තිට තියෙන ආදරය වැඩිකමට ඒ තරමට මට බණිනවා අඩුයි. සේමිනි චරිතයට මගේ දුව වුණත් කැමැති නැති තරම්. සේමිණි චරිතය වෙනුවෙන් ප්‍රේක්ෂකයන් දාලා තිබුණු කමෙන්ට්ස් දැක්කම මමත් ගොඩක් බය වුණා.
ඒ ප්‍රතිචාරවලට කොහොමද ඔබ ප්‍රතිචාර දැක්වූයේ?
ඒ ගැන කතා කරන්න ගියොත් පත්තරේ පිරෙන්නම කතා කරන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් පාරක බැහැලා යන්න බැරි තරමට මාව පෙන්නන්න බැරි තරම්. හිතාගන්න පුළුවන්නේ කොයි වගේද කියලා ප්‍රතිචාර. සතුටුයි ඉතින් ඒ තරමට දැනිලා සේමිණිව.
ඔබේ පෙනුමට ලැබෙන චරිත අඩුයි නේද?
හොඳම ප්‍රශ්නයක්. සමහර චරිතවලට මාව තෝරාගන්නවා. මගේ රඟපෑම, වොයිස් එක හොඳයි කියනවා. හැබැයි මගේ බාහිර පෙනුම ගැළපෙන්නේ නැහැ කියලා මාව ප්‍රතික්ෂේප වෙන අවස්ථාත් තියෙනවා. මම එක්ක රඟපාන නළුවාට මගේ පෙනුම ගැළපෙන්නේ නැහැලු. චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කරපු බඹරෙක් ඇවිත් ටෙලිනාට්‍යයේ මම රඟපෑවා. චරිත් අබේසිංහ තමයි මගෙ පුතාට රඟපෑවේ. මාව සම්පූර්ණයෙන්ම වේශ නිරූපණයෙන් ඒ චරිතය වෙනුවෙන් වෙනස් කළා. මමත් කැමැති මගේ පෙනුමට එහා ගිය වයසක චරිතයක් වුණත් රඟපාන්න. මම කැමැති නැහැ චරිත තෝරාගැනීමේදී මගේ බාහිර පෙනුම අදාළ කරගන්නවට. ඕනෑම චරිතයක් මම රඟපාන්න සූදානම්.

චරිතයක් තුළ මැටි පදමක් කිව්වොත්?
අනිවාර්යයෙන්ම ඕනෑම චරිතයකට හැඩගැසීම ශිල්පියෙක් වශයෙන් ඔහුගේ වගකීම. ඒ වගේම තමයි පදම් කළ ඒ මැටි චරිතයට ගැළපෙන විදියට වෙනස් කරන්න අංගරචනා ශිල්පියෙකුට පුළුවන්. ඒ වගේම අධ්‍යක්ෂකටත් පුළුවන් ශිල්පියාව කැමැති විදියට පදම් කළ මැටිවලින් චරිතය හැඩගස්වන්න. එහෙම චරිතවලදී බාහිර පෙනුම බලලා ප්‍රතික්ෂේප වීම් එනකොට හිතට කනගාටුයි. විවිධ චරිත රඟපානකොට වුණත් අපි කොටුවීමක් වෙන්නේ නැහැ. ඕනෑම ශිල්පියෙක් කැමැති විවිධ චරිත රඟපාන්න. මගේ බාහිර පෙනුමට වඩා චරිතයක් තුළින් මාව දකින්නයි මම වගේම ප්‍රේක්ෂකයනුත් කැමැති.
අපි අහලා තියෙනවා සමහරු තිරයේ ලස්සනට ඉන්න?
එහෙම හිතන අය ඇති. හැබැයි මම සාමාන්‍ය ජීවිතයේදී මගේ බාහිර ස්වරූපය මේන්ටේන් කරනවා. චරිතයක් සඳහා මාව තෝරාගත්තට පස්සේ මගේ බාහිර පෙනුම ගැන හිතන කෙනෙක් නෙවෙයි මම. චරිතය වෙනුවෙන් මාව සුදු කළත් එකයි, කළු කළත් එකයි. මාව වෙනස්ම විදියකට දකින්න මාත් කැමැතියි.
චරිත ස්වභාවයට ඉන්දිකාගේ පැකේජ් එක වෙනස් වෙනවද?
අපි දෙයක් කරනවා නම් එයට වටිනාකමක් අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. නිකම් කරන්නම් වාලේ කරලා වැඩක් නැහැ. මටත් දැනෙන හොඳ නිර්මාණයක චරිතයක් නම් මම මුදල ගැන ලොකුවට හිතන්නේ නැහැ. මමත් උපරිම මහන්සි වෙලා වැඩ කරනවා.
සෙට් එක තුළදී ආදරණීය යෙහෙළියක් කියන්නේ ඇත්තද?
එදිනෙදා වැඩවලදී හමුවෙන හැම කෙනාටම මම ආදරණීය කෙනෙක්. මිනිස්සුන්ගේ ගැඹුර මම හොයන්න යන්නේ නැහැ. ඒ දේවල් මට අදාළත් නැහැ. මගේ හිත නිදහස්. මගේ හොඳම යාළුවා මගේ සැමියා. මේ ෆීල්ඩ් එකේදි මම ගරු කරන්න ඕනෙ කෙනාට ගරු කරනවා. මගේ ජීවිතයේ ඇරියස් නැහැ. මම පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගතකරන කෙනෙක්. ආදරයේදී උපරිම ආදරය කරන්න කියලා මගේ දරුවන්ට වුණත් මම කියන්නේ. මට එක රැයකින් ජනප්‍රිය වීමේ වුවමනාවක් නැහැ. හෙමින් මේ ගමන ඇවිල්ලා සැනසිල්ලේ හිනාවෙලා ඉන්න පුළුවන් ගමනක් මට තියෙන්නේ. අද මම මේ ඉන්න තැන ගැන මම සතුටු වෙනවා. ඒ සතුට හැමෝම එක්ක සුහදව බෙදාගෙන වැඩකටයුතු කරන අම්මා කෙනෙක්. තවත් විටෙක යෙහෙළියක්.
අපි ගොඩක් දේවල් කතාබහ කළා. ගමනේ අරම්භය කොහොමද ඉන්දිකා ඔබගේ?
මම රූපවාහිනී වෙළෙඳ දැන්වීම් හරහා තමයි කලාවට සම්බන්ධ වෙන්නේ ළමා කාලයේදීම. රංගනයට ආරාධනා ලැබුණත් තාත්තා ඒ තරම් කැමැති වුණේ නැහැ. හැබැයි අම්මා මට උදව් කළා. පළමු රංගන අත්දැකීම එරංග සේනාරත්නගේ ‘පතිනිවරා’ ටෙලිනාට්‍යය. මම රංගනයට වඩා ගොඩක්ම ප්‍රිය කළේ නිවේදිකාවක් වෙන්න. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව හැදෑරු කාලේ මම ජාතික රූපවාහිනියේ ‘නුග සෙවණ’ වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ 2001 වසරේ. ඔය විදියට වැඩ කරන කාලේ මට නැවත එරංග සේනාරත්නගේ ‘හිරු සොයා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකින් රංගනයට දොර විවර වුණා. ඒ පටන්ගත්ත ගමන තමයි අදටත් මේ ඉන්නේ.
ගැටිස්සි කාලේ ආදර බැල්ම තියෙන්න ඇති නේද කොල්ලන්ගේ?
අම්මෝ… ඔව්. ඒ තරමට ආදරය ලැබුණු කාලයක් තමයි. මට මගේ පෙම්වතා හමුවෙන්නේ දේදුන්නෙන් පාට අරන් ටෙලිනාට්‍යයේ. ඔහු නිලංක පිඟේරා. ඔහු නිෂ්පාදකවරයෙක්. එතැනින් පටන්ගත්ත ඒ ආදරය අදටත් මම විඳිනවා. අපි දෙන්නටම දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. මගේ පුතා කලිඳු පිඟේරා. ඔහුත් කුඩා කාලේ වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. මගේ දුව ලෙහන්සා පිඟේරා. මේ වගේ සැමියෙකුගෙනුයි දරුවන්ගෙනුයි ආදරය ලබන්න මම වාසනාවන්තයි. මගේ ලෝකය මගේ පවුල. මේ ආදරය තමයි මම දැන් විඳින්නේ.
වසන්ත විතාරණගේ











