කලා ක්ෂේත්‍රයේ දවසින් දවස නව මුහුණු දකින්න ලැබෙනවා. මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ජහුටා නාට්‍යය ඔබ නැරඹුවා නම් නව මුහුණු කිහිපයක්ම දැකගන්න පුළුවන්. ඔවුන් අතරින් අද අපේ කතාබහට එකතු කරගත්තේ ශ්‍රීමාලි පුෂ්පිකායි. Sri Lanka Latest News
මුලින්ම ශ්‍රීමාලි කියන්නේ කවුද කියලා කිව්වොත්?
මම ශ්‍රීමාලි පුෂ්පිකා. හොරණ වරකාගොඩ තමයි මගේ ගම. මම විවාහ වෙලා ඉන්නේ. සැමියා නාවික හමුදාවේ. මට අවුරුදු හතක පුතෙක් ඉන්නවා. තිරයෙන් පිටුපස මම බිරිඳක්, මවක් මෙන්ම කැමරාව ඉස්සරහ මම සුළු චරිතවලට ජීවය දෙන අයෙක්. කලාවට පාසල් කාලයේ පටන් තිබූ ආසාව ආදරය නිසා තමයි මම කලාවට ආවේ.
කලාවට මේ තරම් ඇල්මක් තියෙන ශ්‍රීමාලි, කලාවට යොමුවුණේ කොහොමද?
පාසල් කාලයේ ඉඳන් මම වේදිකා නාට්‍යය කළා. පාසල් කාලයෙන් පස්සේ කලාවෙන් ටිකක් ඈත් වුණාට හිතේ තිබුණ ආසාව, ආදරය එක්ක වගකීම් අතරින් පාර හදාගෙන මම නැවත කලාවට ආවා. මගේ පළමුවැනි ටෙලිනාට්‍යය හිරු නාලිකාවේ විකාශය වුණු සිහින ගෙනෙන කුමාරි. සුජානි කියලා මගේ යාළුවෙක් සහ දිල්රුක්ෂි මිස් හරහා මට නිර්මාණ කිහිපයකම රඟපාන්න අවස්ථාව ලැබුණා. පොහොය නාට්‍ය, අවුරුදු නාට්‍ය, ඇත්තටම මම ඔයාට ආදරෙයි වගේ නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා. පාසල් කාලයෙන් පස්සේ මෑතකදී මට නැවත වේදිකා නාට්‍ය දෙකකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. දෙගුරුවත, අප්පච්චි කියලා වේදිකා නාට්‍ය දෙකක දැනට රඟපෑම් සඳහා සම්බන්ධ වෙනවා.
මේ දවස්වල සම්බන්ධ වෙලා තියෙන නිර්මාණ මොනවාද?
ස්වර්ණවාහිනියේ ජහුටා නාට්‍ය, ස්වාධීන රූපවාහිනියේ ඉදිරියට විකාශය වන දෙවියන්ගේම පිහිටයි නාට්‍ය සහ ඉදිරියට ‘පිස්සූ’ ෆිල්ම් එකට සම්බන්ධ වෙලා ඉන්නවා.
ශිවගුරුනාදන් සහ සද්ධාමංගල සූරියබණ්ඩාර යන දෙදෙනාගේ නිර්මාණයකට සම්බන්ධ වීමට ලැබීම ගැන ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද?
දිල්රුක්ෂි මිස් හරහා තමයි මට ජහුටා නාට්‍ය සඳහා අවස්ථාව ලැබුණේ. ඇත්තටම මට ඒක සතුටක්. ජහුටා නාට්‍යයට සම්බන්ධ වීමෙන් මට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වුණා. කලාවට තියෙන ආසාව තව තවත් වැඩි වුණා. සද්ධා සර්ගෙයි ශිවා සර්ගෙයි වැඩකට සම්බන්ධ වෙන්න ලැබුණ පළමු අවස්ථාව තමයි මේ.

මුලින්ම කැමරාවකට මුහුණ දුන් දවසේ අත්දැකීම කොයි වගේද?
මම මුලින්ම කැමරාවට මුහුණ දුන්නේ සිහින ගෙනෙන කුමාරි නාට්‍යයේ. කැමරාවට තනියම මුහුණ දෙන්න වුණේ නැහැ. තව පිරිසක් හිටපු නිසා සහ දෙබස් තිබුණේ නැති නිසා බයක් දැනුණේ නැහැ.
රඟපාන එක හිතපු තරම් පහසුද?
ටෙලි තිරයෙන් පේන තරම් රඟපෑම පහසු නෑ. එක විනාඩි 2ක සීන් එකක් පිටිපස්සේ පැය ගණන් මහන්සියක් තියෙනවා. රඟපෑම ඉගෙනගන්න ඕනෙ වැඩක්. අත්දැකීම්වලින් තමයි අපි ගොඩක් දුර යන්නේ. සුළු චරිතයක් වුණත්, ප්‍රධාන චරිතයක් වුණත් – රඟපෑම කියන්නේ හදවතින් කරන වැඩක්. හිතපු තරම් පහසු නෑ.
මේ වෙද්දී කලාව විතරද කරන්නේ?
මම ඔන්ලයින් රැකියාවක නිරත වෙනවා. ඒ අතරතුර තමයි රගපෑම් කටයුතුවලට සම්බන්ධ වෙන්නේ.
ගෙදරින් ලැබෙන සහයෝගය?
මම ෂූටින් ගියාම පුතාව බලාගන්නේ අම්මා. සැමියාගෙයි අම්මාගෙයි තේරුම් ගැනීම නැත්තම් මට මේ ගමන එන්න අමාරුයි.
දිගටම ක්ෂේත්‍රයේ රැඳෙන්න කැමැතිද?
ඔව්, මගෙ වගකීම් පවුල වෙනුවෙන් ලබාදෙන ගමන් කලාවට තියෙන ආදරය නිසා ජීවිතේ කෙළවර වෙනකල් කැමරාව ඉස්සරහා ඉන්න ආසයි.
ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය?
ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ සහයෝගය පියාසර කරන්න ලැබෙන පියාපතක් වගේ. ඒ අයගෙන් ලැබෙන හැම උපදෙසක්ම අපේ ජීවිතේට පාඩමක්. ඒ අය තමයි අපේ ශක්තිය.
ස්තුති කළ යුතු පිරිසක් ඇති?
නම් වශයෙන් සඳහන් කරන්න බැරි තරම් පිරිසක් ඉන්නවා. මගේ පවුලේ අය සහ මට මේ තැනට එන්න උදව් කරපු හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.










