සිනමාවේත්, පුංචි තිරයේත් ආදරණීය මේ පුංචි කෙල්ල ගැන මේ දිනවල කාගේත් අවධානය යොමුවෙලා. ඒ නිසාම ඇය ගැන ගොඩ දෙනෙක් හොයන්නත් පටන් අරගෙන. ‘පට්ටි ගෙදර’ ටෙලිනාට්‍යයේ නන්දනීගේ ළමා අවධියට ඉතා තාත්වික ලෙස ඇය පණපොවනවා. රංගනයට වගේම නැටුමටත් හපන් ටි්‍රනිටි ‘මව්රට’ හාට් පිටු හැඩ කරන්න එකතු වුණේ මේ විදියටයි.
ට්‍රිනිටි මේ දිනවල පොඩි වුණාට ලොකු වැඩ ගොඩක් අපි දකිනවා?
මම තාම පොඩි කෙනෙක් තමයි. පට්ටි ගෙදර නාට්‍යයේ පුංචි නන්දනී, වරකත නාට්‍යයේ ලිසා, මායාවී නාට්‍යයේ ලීසා, සිත නිදි නෑ නාට්‍යයේ අමේලි වැනි ආදරණීය චරිත මම රඟපානවා. ඉදිරියේදී තාල මණ්ඩිය ටෙලිනාට්‍යයේ කුමී ලෙසට මගේ රඟපෑම් දැකගන්න පුළුවන්. තවත් අලුත් ටෙලිනාට්‍ය කිහිපයකින්ම මට ආරාධනා ලැබුණා.
මේ තරම් වැඩ ගොඩක් හිරවෙනකොට පාසල් වැඩකටයුතු අතපසු වෙන්නේ නැද්ද?
මම මොන දේ කළත් පාසල් වැඩකටයුතුවලට මුල් තැන දෙනවා. මම පාසල් යන්නේ පොලිමත් ජාත්‍යන්තර පාසලට. මම දැන් 4 වසරේ ඉගෙනුම ලබනවා. පන්ති භාර ගුරුතුමියත්, අනෙකුත් ගුරුවරුත් මට ගොඩක් උදව් කරනවා. මගහැරෙන පාඩම් වැඩ කරගන්න ඒ අය උදව් කරනවා. මගේ හොඳම යාළුවා සඳරුවි මට ගොඩක් උදව් කරනවා. ඉතින් මේ සියලු දෙනාගෙන් ලැබෙන සහායත් එක්ක මගේ පාසල් කටයුතු අතපසු වීමක් වෙන්නේ නැහැ.
මේ තරම් හොඳට රඟපාන්නේ කොහොමද?
පිටපත එක පාරක් මම බලලා චරිතය අවබෝධ කරගන්නවා ඒ සිටුවේෂන් එකට මගේ රඟපෑම කොහොමද වෙන්න ඕනේ කියලා. මගේ හිතට අරගෙන ඒ වෙලාවට මම ඒ චරිතය තුළ ජීවත් වෙනවා. ඒ වෙලාවට ඉතින් ටි්‍රනිට් නෙවෙයි. තව ඉතින් ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ මාමලා කියන විදයට එයාලගෙනුත් උපදෙස් අරගෙන මම රඟපානවා.
පට්ටි ගෙදර පුංචි නන්දනී ගැන ගොඩ දෙනෙක් කතාවුණා?
ඔව්. ඒ චරිතය ගැන තමයි හැමෝම කතා කළේ. දැන් නන්දනී චරිතය රඟපාන්නේ රෙබෙකා නැන්දා. මම එයාගේ ළමා කාලයට හිටියේ. රෙබෙකා නැන්දත් පුදුම වුණා මගේ රඟපෑම දැකලා. මම ගොඩක් ආශාවෙන් ඒ චරිතය රඟපෑවේ. මම හිතුවේ නැහැ මේ තරම් ප්‍රතිචාර මට ලැබේවි කියලා. මම රඟපාන හැම චරිතයකටම ගොඩ දෙනෙක් ආදරය කරනවා. ඉතින් මට ගොඩක් සතුටුයි. නැන්දලා මාමලාගේ ඒ ආදරය ලැබෙන කොට.

ලීසා ගැන කතා කළොත්?
මම වරකත ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ ගොඩක් ආශාවෙන්. නුවර ෂූටින් තියෙන්නේ. වලව්වේ චූටි මැණිකේ කෙනෙක්ගේ චරිතයක් තමයි මම රඟපාන්නේ. මගේ ලොකු අක්කට රඟපාන්නේ නිරෝෂා නැන්දා. මම එයාටත් ගොඩක් කැමැතියි. තව මායාලි එකේ මනමාලි නැන්දා. මේ හැමෝම මට ගොඩක් ආදරෙයි.
ක්ෂේත්‍රයේ ප්‍රවීණ නැන්දලා මාමලාගෙන් ලැබෙන සහාය කොහොමද?
මම රඟපාන හැම නිර්මාණයකම සියලු දෙනාගෙන් ලොකු සහායක් ලැබෙනවා. ඒ ආදරයටත් මම කැමැතියි. එතකොට රඟපාන්න වුණත් ලොකු පහසුවක් මට දැනෙනවා. ඒ හැමෝගෙම හුරතලී මම තමයි ඉතින්.
හොඳට නටන්න පුළුවන් නේද?
මම අවුරුදු පහේ ඉඳලා තමයි නැටුම් හදාරන්නේ. සමස්ත ලංකා තරගවලත් මම ජයග්‍රහණ ලබාගත්තා. ඔෂාන් ලියනගේ සර් යටතේ තමයි නැටුම් හදාරන්නේ.
දුවට විදේශීය සිනමා නිර්මාණයක රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ අත්දැකීම කොහොමද?
චිත්‍රපටයේ අධ්‍යක්ෂ මාමා මාව වීඩියෝ එකක දැකලා තමයි මට කතා කළේ. ‘කාස්ටික්’ දෙමළ චිත්‍රපටයේ. විදේශීය ශිල්පීන් රැසක් කාස්ටික් චිත්‍රපටයේ රඟපානවා. මම ඒ අය සමග ඉංග්‍රීසියෙන් තමයි කතා කළේ. මට ඩාන්සින් ඉගෙන ගන්න ඉන්දියාවට එන්න කියලා කතා කළා.
අනාගත සැලසුම් කොහොමද ඔය පුංචි හිතේ?
හොඳට ඉගෙනගෙන නැටුම් ගුරුවරියක් වෙන්න තමයි කැමැති. ඒ වගේම චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස රඟපාලා හොඳම නිළිය සම්මානයක් ගන්න ආසයි.
වසන්ත විතාරණගේ











