මේ දවස්වල ජනප්‍රිය ටෙලි සහ සිනමා නිළි නෙත්මි රොෂෙල් ගැන හැමෝම වගේ කතාබහ කරනවා. ඒ සුවිශේෂ කතාබහට හේතුපාඨ වෙලා තියෙන කාරණා කිහිපයක්ම තියෙනවා. එකක් සෝනු මන්දාරා ටෙලිය වෙත ප්‍රේක්ෂකයන්ගේ හිතේ පැලපදියම් වෙලා තියෙන අසීමිත ආකර්ෂණය. අනෙක් කාරණය රොෂෙල්ගේ අලුත්ම චිත්‍රපට දෙකක් වූ ‘කල්පනා’ සහ ‘එදා රෑ’ හෙට අනිද්දාම තිරගත වීමට නියමිතව තිබෙනවා. ඒ වගේම ඒවායේ ටේ්‍රලර් මේ දවස්වල සමාජ මාධ්‍යවල එකසිය ගානට වයිරල් වෙනවා. ඉතින් හැමෝම අතර ඒ විදියට හිට්වෙලා ඉන්න මේ සුන්දර නිළි කෙල්ලව ‘හාට්’ එකේ කතාබහකට එක්කර ගන්නට අප දරපු වෑයමයි මේ සනිටුහන් වෙන්නේ. Sri Lanka Latest News
මේ දවස්වල නම් රොෂෙල් ගොඩක්ම බිසී නේද?
ඇත්තටම පසුගිය දවස්වල වැඩ ගොඩකට මැදිවෙලා හිටියා. ඊයේ පෙරේදා තමයි මේ විදියටවත් කතාබහකට එන්න පුංචි විවේකයක් ලැබුණේ.
අපට කියන්නකො ඉතින් ඔය තරමට ගොඩගැහුණු වැඩ මොනවද කියලා?
සෝනු මන්දාරා ටෙලිඩ්‍රාමා එකේ රූගතකිරීම් එක දිගටම වැටුණා. ඒ අතර මගේ අලුත්ම ෆිල්ම් දෙකක්ම තිරගත වීමට ආසන්න නිසා ඒවායේ ප්‍රවර්ධන කටයුතුවලට සහාය දෙන්න එහාට මෙහාට දුවනවා. තවත් අලුත්ම චිත්‍රපටයක ෂූටින් ඉවර වුණේ ඒ අතරමයි. ආයෙම අලුත්ම ටෙලිඩ්‍රාමා එකක ෂූටින් හෙට අනිද්දම ආරම්භ වීමට නියමිතව තියෙනවා.
වැඩ ගොඩක් කියන්නේ ඉතින් නිළියකට වාසනාවක් එහෙම නේද රොෂෙල්?
ඔව්. ඇත්තටම මම හරිම වාසනාවන්තයි කියලා මටත් හිතෙනවා. රංගන කලාවට ඇවිදින් අවුරුදු 7යි. ඒ අවුරුදු 7ට චිත්‍රපට 7කට රඟපාලත් අහවරයි. ටෙලි සිනමාවට එන හැම නිළියකගෙම හීනය වෙන්නේ සිනමාවට පිවිසෙන එකයි. මම එහෙමට ඒ ගැන හීන දැක්කේ නැහැ. හැබැයි ටෙලි තිරයට ඇවිදින් අවුරුද්දක් යන්නත් කලින් මට චිත්‍රපට දෙකකටම ඇග්‍රිමන්ට් සයින් කළා.
‘ආදරණීය ප්‍රාර්ථනා’ චිත්‍රපටයේ ඔබ රඟපෑ චරිතය හොඳම නිළිය සඳහා නොමිනේට් වුණා?
ඔව්නේ. ඒක මට හිතාගන්නවත් බැරිවුණා. ඒ වගේම නොමිනේට් වෙනවා කියන්නෙත් ඉතින් සම්මානයක් ලැබුණා හා සමානයි කියන එක තමයි.
‘සෝනු මන්දාරා’ නිසා පාරේ බැහැලා යන්නත් බැරි තරමට රොෂෙල් මන්දාරාගේ කැරැක්ටර් එක හිට් වෙලාලු නේද?
හිතාගන්නත් බැරි තරමටයි ප්‍රතිචාර එන්නේ. අපේ ප්‍රේක්ෂකයෝ අපට ඒ තරමට ආදරෙයිද කියලා වෙලාවකට පුදුමත් හිතෙනවා.
‘සෝනු මන්දාරා’ ඒ තරමට ජනප්‍රිය වෙන්න හේතු වුණේ මන්දාරාගේ සංවේදී රංගනයද?
එහෙම කියන්න බැහැ. ‘සෝනු මන්දාරා’ ටෙලියේ මුළු කෲ එකම මේ ජනප්‍රියත්වයට දායකත්වය දෙනවා මම. දර්ශන් අයියා ඇතුළු රංගන ශිල්පීන්, තිරරචනය, අධ්‍යක්ෂණය ඒ හැම දේම මේ ජනප්‍රියත්වයට උරදුන්නා. එතකොට නුවරඑළිය පැත්තේ ලස්සන ලොකේෂන්ස්, අනෙක මේක පවුලේ හැමෝටම එකට වාඩිවෙලා බලන්න පුළුවන් විදියේ කතාවක් නිසාත් සෝනු මන්දාරා හැමෝම අතරට ගියා. විශේෂයෙන් අපේ කණ්ඩායමේ එකමුතුකමත් මේ සාර්ථකත්වයට තවත් හේතුවක් වුණා.

ඔබ තිරපිටපත් භාරගන්නේ යම් සීමාවක් ඇතුවලු?
අනිවාර්යයෙන් ඒක මගේ ප්‍රතිපත්තියක්. නිර්මාණයකට ඇතුළත් වෙන දර්ශන, ඇඳුම් පැලඳුම් ගැන වගේම කතාව ගැන පවා හිතලයි මම තීරණ ගන්නේ.
ඒක ඔබේ පියා විසින් දැමූ නීතියක්ද රොෂෙල්?
නීතියක් නෙවෙයි. යම් නිර්මාණයකට ආරාධනා ලැබුණාම මම මගේ පවුලේ අය එක්ක කතාබහ කරනවා. අදහස් ගන්නවා.
තාත්තා කැමැති වුණේ නැහැ ඔබ නිළියක් වෙනවට. සහාය දුන්නේ අම්මා විතරයි නේද?
අම්මාගේ ලොකුම හීනයක් වුණේ මම නිළියක් වෙනවා බලන්නයි. පුංචි කෙල්ලක කාලේ ටීවී එකේ ටෙලිඩ්‍රාමා බලනකොට අම්මගේ හීනෙත් එක්ක මගේ හිත කොනකත් පුංචියට වගේ ඒ ආශාව තිබුණා. හැබැයි මම ඒ ආශාව හිත කොනක තියාගෙන මගේ අධ්‍යාපන කටයුතු හමාර කළා.
ඉන් පස්සේ ඔබ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරි තරගෙට යනවා?
ඔව්. ඒක මගේ හිතේ තිබුණු ලොකුම හීනයක් වගේම ආශාවක් වුණා.
තාත්තා එතැනදිත් කැමැත්ත දුන්නේ නැහැ?
අමාරුවෙන් මම කැමැත්ත ගත්තා කියන්නකෝ. හැබැයි තාත්තා කොන්දේසියක් දානවා රඟපාන්න යන්න බැහැ කියලා. ඔන්න ජාතික රූපවාහිනියේ 2019 අවුරුදු කුමාරි විදියට මම කිරුළු දරනවා. ඉන් පස්සේ මගේ පළමුවැනි ටීවී ප්‍රේග්‍රෑම් එක විදියට නුගසෙවණට සහභාගි වෙනවා. එතැනදී පළමු ටෙලියට ආරාධනා ලැබෙනවා අරුණ ජයවර්ධන සහ අංජලී බුදවත්ත යන ප්‍රවීණයන්ගෙන්.
තාත්තාගේ කැමැත්ත ගන්න ලොකු සටනක් කරන්න වෙනවා?
සටන ජයගත්තේ අරුණ ජයවර්ධන අයියයි අංජලී අක්කයි මැදිහත් වෙලා කරුණු කාරණා වටහා දීලා තාත්තාගේ හිත හදපු නිසයි. ‘සක්කාරං’ ටෙලිඩ්‍රාමා එක නිර්මාණය වුණේ අන්න ඒ විදියටයි. මමත් එම අලංකාර නිර්මාණය තුළ හාහාපුරා කියලා රංගනයට පියවර තිබ්බා.
නොසිතූ ලෙස දිගින් දිගටම එතැන් පටන් ආරාධනා ආවා…?
තෝරාගැනීම් කළේ ඉතා සීමාසහිතවයි. දොඩම් ගොඩ එකපාරම බදාගන්නා කලාවට මම මනාප නොවන නිසා හොඳ නිර්මාණ, මට ගැළපෙන නිර්මාණ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මතක හිටින යමක් කරන්න පුළුවන් සහ සාධාරණ යමක් කරන්න පුළුවන් චරිත පමණක් භාරගන්න මම පරිස්සම් වුණා.
ඒ පරිස්සම මත ඔබ ඉතා අගනා ප්‍රතිරූපයක් ගොඩනගා ගත්තා?
අහිංසක ආඩම්බර හැඟීමක් හිතට දැනෙනවා මම අද ඉන්න තැන ගැන. ඒ තැන මට හිමිවුණේ අහඹු වාසනාවක් ලෙසයි.
තාත්තාගේ ප්‍රතිචාරය කොහොමද අද දූ ඉන්න ඒ වාසනාවන්ත අහම්බය ගැන?
තාත්තා මාව හොඳින්ම දන්නවා. මගේ සීමාව කොතැනද, මොකක්ද කියන කාරණය මම හොඳින්ම වටහාගෙනයි මේ ගමන යන්නේ. ඒ නිසා පවුලේ හැමෝගෙම ආදරය සහාය මට ලැබෙනවා. මගේ පවුල කියන්නේ මගේ ජීවිතේ වැදගත්ම කොටසක්. ඔවුන් තමයි මගේ හැම දේම.
අද ඉන්න තැන ගැන ඔබ බොහොම තෘප්තිමත්?
අනිවාර්යයෙන්ම. පසුතැවීම් වැරැදීම් කලකිරීම් නැති ඒ ගමන් මග දිහා ආපහු හැරිලා බලනකොට දැනෙන සතුට අප්‍රමාණයි. නෙත්මි රොෂෙල් හරිම ලකී. එච්චරයි.
මල්මි කෞෂල්‍යා











