ලෝචනා මෙවර සිරස අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබීම ගැන ඔබේ අදහස දැනගන්න කැමැතියි? Sri Lanka Latest News
ඇත්තටම නිහතමානී සතුටක් මට තියෙන්නේ මෙවර සිරස අවුරුදු කුමරිය ලෙස කිරුළු පලඳින්න ලැබීම පිළිබඳව. මේ කිරුළ මගේ ජීවිතයේ තිබුණු ලොකු හීනයක් අද මම හැබෑ කරගෙන තියෙනවා. ඒ වගේම මගේ අම්මාගේ ආශාවක්. ඒ ආශාව මේ විදියට ඉෂ්ට කරන්න ලැබීම තවත් සතුටට කාරණයක් විදියට මම දකිනවා.
මේ ලැබුණු කිරුළ සමග ලෝචනාගේ ඉදිරි සැලසුම් මොනවද?
‘සිරස Glow & Lovely වසන්ත කුමරිය 2026’ මම මෙතෙක් ආ ගමනට වටිනා ආභරණයක් විදියටයි මම දකින්නේ. ඉදිරියේදී නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම රංගන ක්ෂේත්‍රයෙන් දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

මේ තරගය සඳහා සූදානම් වුණු විදියට ගැන සඳහන් කළොත්?
මම මේ විදියට රූපවාහිනී නාලිකාවක අවුරුදු කුමරිය තරගයකට සම්බන්ධ වුණු පළමු අවස්ථාව තමයි මේ. ඒ මුල් අවස්ථාවේදිම ජයග්‍රහණය කරන්න ලැබුණේ මම හොඳ සූදානමකින් තරගයට ඉදිරිපත් වුණු නිසයි. 2024 වර්ෂයේ රජරට රූ සොබා අවුරුදු කුමරිය ලෙස මම ජයග්‍රහණය කළා. වසර ගණනාවක් පැවැති සිරස වසන්ත කුමරිය තරගය පිළිබඳ හොඳට අධ්‍යයනය කරලා තමයි මම මෙවර තරගයට ඉදිරිපත් වුණේ.
රංගන ශිල්පිනියක් වීමටද මේ තරම් කැපවුණේ?
අද කාලේ කලා ක්ෂේත්‍රයට යොමුවෙන්න අපහසුකම් තියෙනවා. ඒත් මම උත්සාහ කළේ මේ වගේ ජයග්‍රහණයක් සමග මේ ක්ෂේත්‍රයට යොමුවෙන්න. ඉතින් මගේ ඊළඟ බලාපොරොත්තුව නිරූපණ ක්ෂේත්‍රයට ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග සඳහා ඉදිරිපත් වෙන්න.
එතකොට ලෝචනාගේ ගම් පළාත?
මම අනුරාධපුරේ. පාසල් ගියේ මුලින්ම අනුරාධපුර ඩී.එස්. සේනානායක විද්‍යාලයට. උසස් පෙළ සඳහා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ජාතික පාසලේ අධ්‍යාපනය හැදෑරුවා.
පවුලේ තොරතුරුත් දැනගන්න කැමැතියි?
මගේ ජීවිතයේ මට තියෙන ලොකුම හයිය මගේ පවුල. අම්මා, තාත්තා, අයියා, අක්කා සහ මම. මගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙක් ඉන්නවා. මගේ පවුල කලාවට ගොඩක් ළෙන්ගතුයි. තාත්තා ජාතික තරුණ සේවා සභාවේ සංගීත උපදේශකවරයෙක්. අක්කා සංගීත විශාරදවරියක් ලෙස කටයුතු කරනවා.
ලබපු ජයග්‍රහණයත් සමග නිර්මාණ සඳහා ආරාධනා ලැබුණා නේද?
ඔව්. දැනටමත් වෙළෙඳ දැන්වීම්, ටෙලිනාට්‍ය, චිත්‍රපට වගේම නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකටයුතු සඳහා ආරාධනා ලැබුණා. සුදුසු නිර්මාණයක් තෝරාගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.
අනාගත සැලසුම් කොහොමද ලෝචනාගේ?
මම මේ වනවිටත් අධ්‍යාපන කටයුතු සඳහා යොමුවෙමින් ඉන්නේ. ඒ වැඩකටයුතුත් හරියට කරගෙන මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.
මගේ නම කියන විට මට හිතාගන්න බැරි වුණා…! පොඩිම තැන ඉඳලා ආවේ…! කිසිම කෙනෙක් අමතක කරන්නේ නැහැ…! අඩුපාඩු හදාගෙන ගොඩක් මහන්සි වුණා…! විශ්ව චතුරංග – සිරස අවුරුදු කුමරා I
විශ්ව ඉතින් කොහොමද?
හොඳින් ඉන්නවා.
මේ දිනවල විශ්වට ඇරයුම් ගලාගෙන එන අවධියක් වෙලා වගෙයි?
සිරස අවුරුදු කුමාර කිරුළ දිනාගත්තට පස්සේ විවිධ උත්සවවලින් සහ ප්‍රසංග සඳහා ඇරයුම් එනවා. මේ දිනවල ඒ වැඩකටයුතු සඳහා සම්බන්ධ වෙනවා.

සිරස අවුරුදු කුමරා ජයග්‍රහණය ලබාගැනීමට ඔබ සූදානම් වුණු විදිය දැනගන්න කැමැතියි.
මම 2025 සිරස අවුරුදු කුමරා තරගයට ඉදිරිපත් වුණා අම්මගේ ඉල්ලීම පරිදි. ගිය අවුරුද්දේ ඒ තරගයේ අවසන් විසිපස් දෙනාට මාව තේරිලා එතැනින් එහාට යෑමට මට තරග කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. එදාම මම හිතාගත්තා ලබන වසරේ මේ තරගය වෙනුවෙන් මම ඉදිරිපත් වෙනවා කියලා. එහෙම හිතාගෙන තමයි මම ඒ තරගයෙන් ඉවත් වුණේ. ඉතින් මගේ ඒ බලාපොරොත්තුවත් සමග අඩුපාඩු හදාගෙන ගොඩක් මහන්සි වෙලා 2026 අවුරුදු කුමරා තරගයට ඉදිරිපත් වුණා.
අවසාන අදියරේ තරග ප්‍රතිඵල කියන මොහොතේ විශ්ව දෑස් පියාගෙන සිටින අයුරු අපි දැක්කා?
ඔව්. ඒ අවස්ථාවේ මම ඇස් වහගෙන හිටියේ. මේ තරගය වෙනුවෙන් වුණු මහන්සිය ගැන මම මෙනෙහි කරගත්තා. අඩු තරමේ මගේ නම කියන විට මට හිතාගන්න බැරි වුණා. නැවත නිවේදකයා මගේ අංකය කියනකොට තමයි මට දැනුණේ මට කිරුළ හිමිවෙලා කියලා. මට හිතාගන්න බැරි වුණු අවස්ථාවක් ඒ මොහොත නම්.
ඉතින් මේ ලබපු ජයග්‍රහණයත් සමග විශ්වගේ හිතේ බලාපොරොත්තුවක් ඇති?
සිනමාවෙන් නොමැකෙන නාමයක් සටහන් කරන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් මම උපරිම කැපවෙලා කලා ක්ෂේත්‍රයෙන් ඉදිරියට යනවා කොහොම හරි. එයට අවස්ථාවක් ලැබෙනකම් බලාගෙන ඉන්නවා.
විශ්වගේ ගම් පළාත කොහෙද?
මම මොරටුව ලක්ෂපතියේ.
එතකොට පාසල් ගියේ?
මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට.
ජනප්‍රිය වෙන්න වෙන්න අද කාලේ ගොඩ දෙනෙක්ට මුල අමතක වෙන බවක් අපි දකිනවා?
ජනප්‍රිය විතරක් නෙවෙයි තනතුරු හරහා ඉහළට යද්දිත් ගොඩ දෙනෙක්ට මුල මතක නැහැ. හැබැයි මම පොඩිම තැනක ඉඳලා ආවේ. ඒ නිසා මට ශක්තියක් වුණු කිසිම කෙනෙක් මම අමතක කරන්නේ නැහැ. කොච්චර උඩට ගියත් මුල ශක්තිමත් මගේ.
වසන්ත විතාරණගේ











