මගේ ඇස්වලට කඳුළු පිරුණු අවස්ථා අනන්තයි…
නිළියක වීමට කැපවීම අවශ්‍යයයි…
අටපාරක් හොඳම ටෙලි නිළියට නොමිනේට් වුණා…
සම්මානයක් කියන්නෙ ජූරියක තීන්දුවක්…
2021 අවුරුද්දේ ‘රයිගම්’ සම්මාන උළෙලේ හොඳම ටෙලිනාට්‍ය නිළිය වුණු ප්‍රවීණ රංගන ශිල්පිනී චම්පා ශ්‍රියාණිගේ පැටිකිරිය ගැන අලුතින්, නැවැත, නැවැත යමක් ලියන්නට උත්සාහ ගැනීම හිතෙන හැටියට නම් එක්තරා විහිළුවක්… එහෙමත් නැතිනම් වැඩකට නැති වැඩක්. ඇත්තටම කියනවා නම් චම්පා ශ්‍රියාණි ගැන නොදන්නේ කවුද..? දවසේ වැඩකටයුතු නිමාවන විවේකයේදී ආලින්දයේ සිනමාව තුළ අසුන් ගන්නා සුවහසක් වූ ප්‍රේක්ෂකයන් ඇයව හොඳින්ම දන්නවා.., ඒ ගැන සිත්කලු ඉඟියක්, දෙකක් දෙනවා නම්.., ‘ඉදිආප්ප ගෙදර’ කතාවේ ‘චකබ්ලාස් කෙල්ල’ එක රැයින්ම ටෙලිවිෂන් එක වටේ එක්රොක් වුණු රසික රසිකාවියන්ව පිස්සු වැට්ටුවා.., බර්ට්න් ලයිලිගේ ‘ගංගා සහ නිශ්ශංක’ කොහොම අමතක කරන්නද.., අත් ලේන්සුවෙන් දිගට තිබුණු කොණ්ඩේ ගැටගසාගෙන, නිල්පාට ඩෙනිමට උඩින් රතු ෂර්ට් බ්ලව්ස් එක ඇඳගෙන, රබර් වත්ත මැදින් නිශ්ශංක එක්ක පෙම්බස් දොඩමින් ආව ‘ගංගා’ කෙල්ලගේ චරිතය ඈ රඟපෑවේ හරිම මෘදු සොඳුරකින්… කෙල්ලො කොල්ලො ඇයට පිස්සු වැටුණු තරම ගැන කියන්න වචන ඕන නැහැ. ‘සිනා පිපෙනා ඒ වසන්තය නෙළා දෝතින් මලක්සේ’ ගීතය අදටත් කොයිතරම් නම් ජනප්‍රියයිද කියන නිදසුනම ඇති එයට සාක්ෂි දරන්න.., ඉන්ද්‍රජිත් නාවින්නයි, ශ්‍රියන්ත මෙන්ඩිසුයි මැදට වෙලා මේ සුන්දර නිළි තාරකාවිය එකගෙයි දීගයක් ගැන කියැවෙන ටෙලි කතාවකට සේන්දු වුණේ වෙනස්ම තාලෙකට. ඒ.., අකුරු සාස්තරේවත් හරියකට නොදන්න ගොඩේ අයිය – මලෝ දෙපොළකගේ සුවච කීකරු ඇඹේනියක විදියට.., තව ආල වට්ටං කතා ඕනෑ තරම්… ඒත් අනේ මෙතැනට මොකටද ඒවා.., අපි මේ සේන්දු වෙන්න හදන්නේ ‘සකර්ම’ ටෙලි කතන්දරේ දියවෙච්ච චීත්තයකුයි, හැට්ටෙකුයි ඇඳගත්ත ‘සිරියාවතී’ ගැන කතා කරන්නයි. ළගන්නාසුලු සිනහවකින් මුව සරසාගෙන ඇස් දල්වාගෙන ‘චම්පත්’ බලා හිටියේ ‘සිරියාවතී’ ගැන කතා කරන උනන්දුව හිතේ පුරවාගෙන.., ඒ උනන්දුවට හේතුව මොකක්ද කියන්න දන්නවද..? ‘සිරියාවතී’ගේ චරිතය තරම්… මෑතකදී චම්පට ප්‍රතිචාරය ලැබුණු තවත් චරිත නිරූපණයක් නැති තරමයි කියලා… හොඳම නිළි සම්මානය දෝතට ගත් මොහොතේ ඈ කිව්වේ සතුටු කඳුළක් ඇස් අග නළියද්දීමයි. ඔන්න ඉතින් හරිම නිහතමානීව මේ චරිතාංග ටෙලි නිළිය අප සමග කතාබහ ආරම්භ කෙරුවා.
පළමුවෙන්ම සුබ පතනවා ඔබට, ‘සිරියාවතී’ වෙනුවෙන් ලද සම්මානයට..?
ගොඩාක් ස්තුතියි ඔයගොල්ලන්ට… සම්මාන ගන්න හොඳ ටෙලි චරිත ලැබෙන්න ප්‍රේක්ෂකයන් විදියට ඔයාලගේ මනාපයත් අපට අවශ්‍යයි මං හිතන්නේ.
මේ ඔබට ලැබෙන්නටම නියමව තිබුණු සම්මානයක්..?
මේ… ඒකට මම ඔව් කියන එක නම් ටිකක් හොඳ මදියි වාගෙ නේද…
මුහුණු පොතේ පෝස්ට් කිහිපයක්ම තිබුණා… ‘සිරියාවතී’ට එය උරුම වියයුතුමයි කියා..?
ප්‍රේක්ෂකයන් මට දක්වන ඒ ළෙන්ගතුකම ගැන මට හුඟාක් සතුටුයි… ඒ වාගේම ‘සකර්ම’ ටෙලිනාට්‍යයේ ‘සිරියාවතී’ට තරම් මතක ඇති කාලෙක මම ප්‍රතිචාරය ලැබූ වෙනත් චරිත නිරූපණයක් නැහැ. ඒ නිසාම මම මේ සම්මානය දෝතට ගත්තේ මහ විශාල ආත්ම තෘප්තියකින් කියන එක මම අවංකව කියනවා. අනෙක… ‘සිරියාවතී‘ගේ රංගනයට මේ සම්මානය අතට ගන්න කලින් ප්‍රේක්ෂක ප්‍රතිචාර මට හිතාගන්න බැරි විදියට ලැබුණා. මා සමග ‘සකර්ම’ ටෙලි නිර්මාණයට එකතු වෙච්ච හැමෝම මාව අගය කළ තරම මට හිතාගන්නත් බැරි තරම්, සමහර වෙලාවට හිතුණා, ඇත්තටම මම ‘සිරියාවතී’ව ඒ තරම් හොඳට මෙහෙය වූවාදැයි කියලා.
ඔබේ සෙල්ෆෝනයට නිස්කාසුවක් තිබුණේ නැතිලු..?
අනේ දෙයියනේ… ඒක නම් සහතික ඇත්ත… මම වැඩිය ෆෝන් පාවිච්චියට කැමැති කෙනෙකුත් නෙවෙයි. අවශ්‍යම කතාබහකට කෙටි පණිවුඩ හුවමාරුවකට තමයි ෆෝන් එක තියාගෙන ඉන්නේ. කිව්වට මොනවත් හිතන්න එපා… අඳුනන්නෙ නැති නොම්මරවලට ආන්සර් කරන්නෙත් නැහැ හුඟ වෙලාවලට.
‘සකර්ම’ අධ්යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු ඒ හින්ද වෙන්නැති කිව්වේ ඔබට… ‘අනේ චම්පා අක්කා මේ දවස්වල ෆෝන් එක ආන්සර් නොකර ඉන්න එපා’ කියලා..?
ඔව්… ප්‍රියන්ත මට බොහොම ගරුසරු ඇතුව ඒ ඉල්ලීම කළේ ‘සකර්ම’ විකාශනය වෙන්න ගත්ත දා ඉඳන්ම එයට ලැබුණු ප්‍රතිචාර අසීමිත නිසයි. ‘සකර්ම’ කතන්දරයේ ‘සිරියාවතී’ට කතා කරන්න එය නරඹන ප්රේක්ෂකයනට තිබුණු උනන්දුව ඇත්තෙන්ම පුදුමාකාරයි. ඒ කතා කළ අය අතර බොහෝ කලක සිට මට ප්‍රිය කළ මට සමීප ප්‍රේක්ෂක පිරිස් වාගෙම කතෝලික පියතුමන්ලා, හාමුදුරුවරු, ප්‍රින්සිපල්ලා, සාහිත්‍ය ගුරුවරුද හිටියා… සමහර ස්වාමීන්වහන්සේලා මට කියා හිටියා ‘සකර්ම’ කියන්නේ සංසාරයේ එන යම් ධර්මයක් වැනි දෙයක් කියලා. සාහිත්‍ය ගුරුවරුන් මා සමග ඒ ගැන බොහෝ වේලාවක් සමහරදාට කතා කරනවා.
ඔවුන්ගෙන් එක් අයෙක් මට දවසක් කිව්වා… ‘සකර්ම’ නාට්‍යයේ ‘සිරියාවතී’ කියන අම්මගේ චරිතය ‘ගෙදර බුදුන් අම්මා’ කියන අර්ථය අපූරුවට පිළිබිඹු කරනවා කියලා. තවත් අය කිව්වා.., ‘සිරියාවතී’ බත උයනකොට, දරුවො පස්සෙ දුවන කොට ඔවුනට ඔවුන්ගේ පවුලේ සහෝදර සහෝදරියෝ හත්අට දෙනාව බලා කියාගත්ත අම්මලාව මතක් වෙලා ඉතාම සංවේදී වුණා කියලා. ඒ විදියට හැඟීම්බරව ඒ අය කතා කරන කොට මගේ හිත කීරිගැහුණු අවස්ථා… මගේ ඇස්වලට කඳුළු පිරුණු අවස්ථා අනන්තයි.
ටිකක් හිතලා බලන්න.., ස්වාධීන රූපවාහිනියට කතා කරලා මගේ සෙල්ෆෝන් නොම්මරය ඉල්ලගෙන මා එක්ක ‘සිරියාවතී’ ගැන කතා කරන්න ‘සකර්ම’ ගැන ආවර්ජනයක යෙදෙන්න ඔවුනට තිබුණු වුවමනාව කොයිතරම් විශේෂද..? එක දවසක්ද… දවස් දෙකක්ද… නැහැ, ආරම්භයේ ඉඳන්ම ‘සකර්ම’ නිමාවන තුරුම ඔවුන් ‘සිරියාවතී’ සමග ඉතාම ආධ්‍යාත්මිකව බැඳී සිටියා. ඒ නිසයි මම කිව්වේ, මේ තරමට ප්‍රතිචාරය ලැබුණු ගුණාත්මක මට්ටමේ නිර්මාණයක් මගේ ටෙලිනාට්‍ය කලාවේ මෑතකදී තිබුණේ නැහැ කියලා.
‘සිරියාවතී’ට සම්මානයක් ෂුවර්’ කියලා ඔබට එතැනදී දැනිලා තිබුණා..?
අයියෝ නැහැ… කවදාවත්ම එහෙම නම් හිතුවේ නැහැ. අටපාරක් හොඳම ටෙලි නිළියට නොමිනේට් වෙලා තිබුණත්, ඒ එක අවස්ථාවකවත් එහෙම හිතුණෙ නැහැ.
ඒ මොකද මම චරිතයක් රඟපාන කොට ඒකට සම්මානයක් ලැබෙන්න ඕනෑය කියන අරමුණ හෝ බලාපොරොත්තු මත රඟපාන්නෙ නැහැ. ඉතාම විශිෂ්ටව මම ඒ චරිතය රඟපැවා කියලා සම්මානයක් නොලැබුණාය කියලා දුක්වෙන්නෙත් නැහැ.
සම්මානයක් කියන්නෙ ජූරියක තීන්දුවක්… ඒ වාගෙම සම්මාන උළෙලවල් දෙකක් ගත්තොත් එතැන ජූරි දෙකක අදහස් තියෙනවා. නිදසුනක් විදියට ගත්තොත් සම්මාන උළෙලවල් දෙකක් ගත්තොත්, ඒ උළෙලවල් දෙකේම ‘සකර්ම’ ටෙලිනාට්‍යය තිබුණොත් හොඳම නිළි සම්මානය මට ඒ අවස්ථා දෙකෙහිම ලැබෙයි කියලා හිතන්න බැහැ. එක් ජූරියක පිරිස ‘සකර්ම’ ටෙලිනාට්‍යයේ ‘සිරියාවතී’ව හොඳම නිළිය විදියට තෝරන කොට අනෙක් ජූරියෙ අය ඒ සඳහා වෙන නිළියකව තෝරන්න පුළුවනි.
අන්න ඒ නිසා සම්මානයක් ලැබුණෙ නැතිය කියා හිතට කනස්සල්ලක් ඇතිකර ගැනීම බොහොම හිස් දෙයක්. කිහිපදෙනෙකු අතර සිදුවන මත ගැටුමක අවසාන ප්‍රතිඵලය ඒ ඒ අයගේ මනාපයන් සහ ඔවුන්ගේ රුචිකත්වය අනුව සිදුවන දෙයක්. සම්මාන උළෙලවල් දෙකක් සඳහා එකම නිර්මාණ පෙළ ඉදිරිපත්ව තිබුණත් හොඳම නළු – නිළි දෙපළ සඳහා සම්මාන උළෙලවල් දෙකේදී වෙනමමම කලා ශිල්පීන් සම්මාන ගන්නේද ඒ නිසා වෙන්න ඇති.
හතඅට වතාවක් නොමිනේට් වෙලත් හොඳම නිළි සම්මානය නොලැබුණාට දුකක් නැතිය කියලා ඔබ කීවේ අවංකවමද..?
ඔව්… ඒක ‘හාට්’ ටැබ්ලොයිඩ් එකට හද පතුලින්ම කී කතාවක්. මම චරිත නිරූපණයකදී කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ. ලැබෙන චරිතයක් තුළින් සම්මානයක් කවදාවත් බලාපොරොත්තු වුණේද නැහැ.
ඔබට ඕනෑ වුණේ ප්‍රේක්ෂක ප්‍රතිචාර, ඔවුන්ගේ අවධානය සහ තැකීම..?
සත්තකින්ම එයට මම මුල්තැන දෙනවා. ඒ වාගෙම චරිතයකට ප්‍රවිෂ්ට වෙද්දි මම කැපවීම ඉතාම තදින් සිතට ගන්නවා. නිර්මාණකරු ඉදිරිපිට නම්‍යශීලී වෙනවා. ඔහු හෝ ඇය සාර්ථක චරිත නිරූපණයක් සඳහා යදින්නේ මොනවද..? මම එය නොමදව ලබා දෙනවා.
සියල්ල නිමාවෙදි මම හිතන්නෙ මොනවද… එය මගේ හිතට එකඟව සිදුවුණාද, නිර්මාණකරු එයින් සෑහීමකට පත්වුණාද… නරඹන ප්‍රේක්ෂකයාට කියන්නට අවශ්‍ය දේ පැහැදිලිව චරිතයෙන් කියැවුණාද, ඔවුන් අතරට මම සාර්ථකව ගියාද යන කාරණා ගැන තමයි මම වෙහෙස වුණේ. ඒ වෙහෙස තුළ සම්මානයක අනුරුවක් තිබුණේ නැහැ.
රූගත කිරීම්වලදී ප්‍රියන්ත ප්‍රනාන්දු ඔබේ නිදහස් අදහස් මත රඟන්නට ඔබට ඉඩ දුන්නද..?
එහෙම නිදහසක් මම ඔහුගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. මාව චරිත නිරූපණයන් සඳහා තෝරාගත් කිසිම නිර්මාණකරුවකුගෙන් මම මට රිසිසේ රඟන නිදහස බලාපොරොත්තු වන්නේ නැහැ. මම හැමදාමත් කැමැති වුණේ මාව මෙහෙයවන නිර්මාණකරුවකුටයි. මම හෝ වෙනත් නිළියක වේවා… අප කොයිතරම් රඟපාන්න දක්ෂ වුණත් ඒ දක්ෂකම් වටහාගෙන අපව මෙහෙයවන හොඳ නිර්මාණකරුවකු අපට අවශ්‍ය වෙනවා. ඒ මෙහෙයවීම තුළ තමයි අප තුළ සිටින චරිතාංග නිළිය මතු වන්නේ. ඒ මතුවීම තුළ අපෙන් සිදුවන යම් අතපසුවීම් නිවැරැදිකර අපව ඉහළ රංගනයක් කරා ගෙනයන්නේ ඔහුගේ හෝ ඇයගේ ඒ මෙහෙයවීම තමයි.
ප්‍රියන්ත ප්‍රනාන්දු ඉදිරියේ ඔබ අතින් යම් අතපසුවීම් සිදුවුණාද..?
ඔව්… මා අතින් එවැනි අතපසුවීම් සිදුවුණා. ප්‍රියන්ත තරුණ, නවක අධ්යක්ෂවරයෙක්. හැබැයි ඔහු හරිම නිර්මාණශීලියි. මම ප්‍රියන්ත ගැන පළමුව පැහැදුණේ ‘ඉලන්දාරි හැන්දෑව’ ටෙලි කතාවෙනුයි. ‘සකර්ම’ නිෂ්පාදක චන්දන ලියන ගුණවර්ධන ‘සිරියාවතී’ වෙනුවෙන් මා සොයා එනවිට මෙහි අධ්‍යක්ෂණය ප්‍රියන්තගෙයි කියන විට මම සතුටට පත්වුණා. ඔහුගේ තිරපිටපතද හරිම අංගසම්පූර්ණව තිබුණා. මුල සිට මැද, අග, අවසානය දක්වාම එය හරිම තාත්විකව විහිද ගිහින් තිබුණා.
තිර පිටපතින්ම ඔබ ‘සිරියාවතී’ ඇලුම් කළ බවයි හැඟෙන්නේ..?
ඔව්… ඒ හැඟීම හරියටම හරි. අනෙක ‘සකර්ම’ ලෙස නිර්මාණය වී තිබුණේ මම ඉතාම ආශාවෙන් කියවපු ශාන්ති දිසානායකගේ ‘පරඬැල්’ කෘතියයි. එහි වඩාත්ම පිළිබිඹු වන ‘සිරියාවතී’ගේ සහ ‘කිරිපුතා’ගේ චරිතවලට ඉතා තදින් ඇලුම් කළා.
නවකයකු වූ ප්‍රියන්ත නම් වූ විශිෂ්ට නිර්මාණකරු ප්‍රවීණයකු වූ ඔබව මෙහෙය වූ ආකාරය ගැන අහන්න ආසයි..?
ඒ ගැන කියන්නත් හරිම ප්‍රශංසනීයයි. ඔහු හරිම අපූර්වත්වයෙන් පිරි නිර්මාණකරුවෙක්. මාව විතරක් නෙවෙයි, ‘සකර්ම’ නාට්‍යයේ හැම අයකුටම ඔහු වෙහෙස වූ ආකාරය හරිම අලංකාරයි.
උමාලි වැනි තරුණ කලාකාරිනියකගේ අඩුපාඩු වාගේම මා වැනි වයසින් මුහුකුරා ගිය අයකුගේ ද අඩුපාඩු ප්‍රියන්ත පෙන්වූ ආකාරය හරිම ආචාරශීලීයි. එහෙම නෙවෙයි චම්පා අක්කා… මේ සීන් එක මෙහෙම වුණා නම් හොඳයි කියා ඔහු කලින් රූගත කළ දර්ශන මට පෙන්වන ගමන මගේ අත්වැරැද්ද ඉතාම සංයමයෙන් පෙන්වා දුන්නා.
මම ඔහුගෙන් ඉගෙන ගත් දේද බොහොමයි.
‘සිරියාවතී’ වෙනුවෙන් මා ගත් සම්මානය මට විතරක්ම හිමි වූවක් නෙවෙයි. එය ප්‍රියන්තට සහ මගේ චරිතය සාර්ථකව ගොඩනඟා ගන්නට පසුබිම සකසා දුන් ‘සකර්ම’හී සෑම රංගන ශිල්පියෙකුට සහ ශිල්පිනියකටම හිමිවිය යුතුයි. ඒ වාගේම… යම් චරිතයක් සාර්ථකව නිරූපණය කිරීමට එහි රඟන අනෙකුත් සහාය කලා ශිල්පීන්ගේ එකමුතු බව සහ සුහද බව අවශ්‍යයයි. සරලව කියනව නම් කණ්ඩායම් හැඟීම අවශ්‍යයි. ‘සකර්ම’ නාට්‍ය කණ්ඩායම තුළ මට එය නොඅඩුව ලැබුණාය කිව්වොත් එය වඩාත් නිවැරැදියි.
නිෂ්පාදකගේ ඉඳන් ටී බෝයි දක්වාම හැමෝම මා සමග එකමුතුව සිටියා. මගේ වැඩිමහලු බවට ඔවුන් ගරු කළා. ඒ වාගේම මම ඔවුනට වඩා වයසින් වැඩිය කියා මාව අපහසුවට පත් කළේද නැහැ. විශේෂයෙන්ම උමාලි මා සමග හුඟාක් සමීප වුණා. රූගත කිරීමකට යන හැම උදේකම ඈ ගියේ මගේ දෙපා වැඳලයි. ඒ සිදුවීම් තුළ මම හරිම හැඟීම්බර වුණා…
ඔබ රංගනයෙන් මඳක් ඈත්ව සිටි කෙනෙක්… ‘සිරියාවතී’ට ප්‍රවිෂ්ට වීමේදී යම් නුහුරක් දැනුණේ නැද්ද..?
දැනුණා… හොඳටම දැනුණා… කොයිතරම් සාර්ථක මේක්-අප් එකක් දුන්නත්, ‘පරඬැල්’ නමින් පොත කියවා තිබුණට ‘සිරියාවතී’ වෙත පියවර මනින කොට මම යම් තරමක තිගැස්මකට බඳුන් වුණා. හැබැයි… ඒ ඉතාම සුළු මොහොතකට පමණයි. ඉන්පස්සෙ මට ‘චම්පා ශ්‍රියාණි’ කියන රංගන ශිල්පිනියව සොයාගන්න පුළුවන් වුණා. ඒ සොයා ගැනීම තුළ ප්‍රියන්ත ප්‍රනාන්දු නම් නිර්මාණකරු හරි අගේට ඇයව මෙහෙය වන විට මට ‘සිරියාවතී’ව දැනෙන්න ගත්තා. ස්වාධීන රූපවාහිනියේ ‘සකර්ම’ විකාශනය වෙන්නටත් පළමුව මා සමග එයට එක්වූ හැමෝම මගේ චරිත නිරූපණය ගැන මහ ඉහළින් කතා කළා. මම දන්න හැටියට එහෙම කියන කරන අය හරිම අඩුයි.
‘සිරියාවතී’ගේ රංගනයෙන් පසු නැවැත චරිතයකට ප්‍රවිෂ්ට වෙන්න කොයිතරම් කාලයක් යයිද..?
චරිත දෙකකට ඇරැයුම් ලැබුණා. එකක් බාරගත්තා. එහි රූගත කිරීම් මැයිවලට යෙදී තියෙනවා. අනෙක් නිර්මාණය තුළ මම තවම සිටින්නේ දෙගිඩියාවෙන්.
ඔබ චරිත තෝර ගන්නේ පස්මහ බැලුම් බලා..?
ඔව්… හේතු කිහිපයක් මතයි ඒ.., ප්‍රධානම හේතුව මගේ ජීවිතයේ පළමු තැන මගේ දරු පවුල කියන හැඟීම නිසයි.
ඒ පස්මහ බැලුම් අතර ‘සිරියාවතී’ට කලකට පසු ප්‍රවිෂ්ට වුණේ..?
‘සිරියාවතී’ වෙනුවෙන් මාව ප්‍රවිෂ්ට කරවන්න එහි නිෂ්පාදක චන්දන ලියන ගුණවර්ධන සුහද මෙහෙවරක යෙදුණා. ‘චම්පා ශ්‍රියාණි,’ ‘සිරියාවතී’ වීමේ පළමු ගෞරවය ඔහුට හිමිවිය යුතුයි.
කියන්නට අවැසි තව යමක් තියෙනවද ඔබට ‘සිරියාවතී’ ගැන..?
‘සිරියාවතී’ට රඟන්නට දුර බැහැරක ගිහින් සිටින මොහොතේ සිදුවූ යම් සංසිද්ධියක් මගේ හිතේ කෙටී තියෙනවා. මාධ්‍යයකට මම එය කියන පළමු වතාවයි මේ.
එදා ‘සකර්ම’ එකේ අවසාන රූගත කිරීම් තිබුණු දවස, මගෙයි, උමාලිගෙයි දර්ශන කිහිපයක් තිබුණේ… උදේ ඉඳන්ම හිතට හරි නැති ගතියක් තිබුණා. අනෙක් හැමෝටමත් ඒක දැනුණා. මටත් පැහැදිලි කරගන්න බැරි දෙයක්…
ඔහොම ඉන්න අතර හැමදේම ඉවරයක් වෙලා මම නවාතැනට ගිහිල්ලත් පැත්ත ගහලා හිටියා. ඒ අතර ෆෝන් එක අරන් බලන කොට ලොකු දූගෙන් මිස් කෝල් හතරක්, පහක්.., තිගැස්මෙන් වාගේ මම කෝල් එකක් ගත්තා… එතකොටයි මගේ මහත්තයා කිව්වේ අම්මා නැතිවෙලා කියලා. අම්මා වයසයි. හිටියෙත් අසනීපයෙන්. ඒත් මගේ ළඟ හිටපු මං බලා කියාගත්ත අම්මා මම එයා ළඟ නැති වෙලාවේ එහෙම යන්න ගියාම… හිතට හරිම සංතාපයක් දැනුණා. මොනවා කරන්නද..? ජීවිතය කියන්නේ ඒක තමයි.
නවකයන්ට පණිවුඩයක් දෙමුද කතාබහ අවසන් කරන්න..?
දක්ෂ චරිතාංග නිළියක වීමට කැපවීම අවශ්‍යයයි. හෙමින් ගමන සාර්ථකයි. වැඩ මහ ගොඩක් එකපාර බදා නොගෙන හොඳ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයාගේ සිතට මතක හිටින යමක නිරත වෙන්න උත්සාහ කරන්න.
-දමයන්ති රේණුකා ප්‍රනාන්දු