රඟපානවා නම් මෙන්න රඟපෑම්… කාලෙකට පස්සේ ලංකාවේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ එක හුස්මට බලන, සුපිරිම රංගනයක් පුංචි තිරයෙන් දැකගන්න ලැබෙනවා. ඒ වෙන කාගෙන්වත් නෙවෙයි, රංගන ශිල්පිනී හිමාලි සයුරංගිගෙන්. රොෂාන් රවීන්ද්‍රගේ ‘නටත් අයෙක් සුරා මතින්’ ටෙලිනාට්‍යයේ ‘නන්දි’ ගේ චරිතයට පණ පොවමින්, මේ දිනවල රටේම ගෘහණියන්ගේ, කාන්තාවන්ගේ ඇත්තම වේදනාව ඇස් දෙකට කඳුළු එන තරමටම තාත්විකව හිමාලි ප්‍රතිනිර්මාණය කරනවා. මේ සුවිශේෂී රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් හිමාලි, ‘මව්රට’ ‘හාට්’ සමග ළෙන්ගතු වුණේ ඇගේ ඒ අලුත්ම කලා තොරතුරු ඔබ සමග බෙදාගන්නයි.Sri Lanka Latest News
මේ දිනවල හිමාලිගේ රංගනය ගැන ගොඩ දෙනෙක් සතුටට පත්වෙනවා. ඔබේ ඒ රංගනය ඔවුන් කතාබහ කරන මාතෘකාවක් බවට පත්වෙලා?
ඇත්තටම මට ඒ ගැන ගොඩක් සතුටුයි. රොෂාන් රවීන්ද්‍ර අධ්‍යක්ෂණය කරන ‘නටත් අයෙක් සුරා මතින්’ ටෙලිනාට්‍යය ජනතාවගේ ආදරණීය නිර්මාණයක් බවට පත්වෙලා. ඒ තරමට ඒ සියලු චරිත ප්‍රේක්ෂකයන් වැලඳගෙන හමාරයි. ඒ නිසාම මම ඒ රඟපාන ‘නන්දි’ චරිතය මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගේ හදවතේ චරිතයක් බවට පත්වෙලා. මම හිතුවාටත් වඩා ප්‍රේක්ෂකයන්ගේ ආදරය වැඩි වැඩියෙන් ලැබෙනවා. ගොඩක් සතුටුයි. ප්‍රේක්ෂකයන් මේ නිර්මාණය වැලඳගෙන තිබෙන එක ගැන. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ආදරයට සියලු දෙනාටම මම හදවතින්ම ස්තුති කරනවා.
‘නටත් අයෙක් සුරා මතින්’ ඔබට දැනුණු විදිය කොහොමද?
රොෂාන් රවීන්ද්‍රගේ දෙවැනි නිර්මාණය තමයි මේ නිර්මාණය. ‘නන්දි’ චරිතයට මට ආරාධනා කරලා ගොඩක් කල්. කිසිම අඩුපාඩුවක් නැතිව කරපු නිර්මාණයක්. ඉතාමත් හොඳ සැලසුමක් තිබුණා. මෙහෙම නිර්මාණ කරනවා අඩුයි. සමහර නිර්මාණවල ලොකේෂන් ප්‍රශ්න. තිරපිටපත් ප්‍රශ්න. කෑම බීම ප්‍රශ්න. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. මේ වගේ පිළිවෙළකට වැඩක් කරනකොට අපිට වුණත් වැඩ කරන්න ලොකු පහසුවක් දැනෙනවා. මම කාලෙකින් මේ වගේ හොඳ නිර්මාණයකට සම්බන්ධ වුණේ. නන්දි චරිතයට මගේ මහන්සිය 500%ක් දැම්මා. ඒ තරමට මටම දැනුණු චරිතයක්. අපිට චරිතය දැනෙනවා කියන්නේ ඉතින් ඒ චරිතය බලන ප්‍රේක්ෂක ජනතාවට දැනෙනවා වැඩියි.
අධ්‍යක්ෂවරයා සමග ප්‍රධාන චරිතය රඟපාන එකත් ඒ තරම් පහසු දෙයක් නෙවෙයි නේද?
රොෂාන් තමයි මගේ සැමියා විදියට රඟපාන්නේ. ඔහු සමග මම මේ විදියේ චරිතයක් රඟපාන පළමු අවස්ථාව තමයි මේ. නන්දිගේ චරිතය වෙනුවෙන් මගේ පැත්තෙන් උපරිම සහාය ලබාදුන්නා. මගේ ඇඟටම කාවැදුණු චරිතයක් නන්දි. රොෂාන් මා සමඟ රඟපාන ගමන් මාව හැදුවා. රොෂාන් රවීන්ද්‍ර රංගනයට වගේම අධ්‍යක්ෂණයටත් වටිනා සම්පතක් විදියටයි මම දකින්නේ. ගොඩක් සතුටුයි ඔහු සමග මේ විදියට වැඩ කරන්න ලැබුණු එකට.

ජීවිතවලට කතාකරන චරිතයක් බවට නන්දි පත්වෙලා?
මේ කාලේ 100%ක් වටිනා චරිතයක් නන්දි. සමාජයට ලොකු පණිවුඩයක් දෙනවා. විශේෂයෙන්ම කාන්තාවන් මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. කම්පනයට පත්වෙන අයගේ සිතුවිලි තමයි චරිතය හරහා නිරූපණය කරන්නේ. නන්දි වගේ ප්‍රශ්නවලට මුහුණපාන කාන්තාවන් මේ රටේ ඕනෑ තරම් ඉන්නවා. ඔවුන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ හැම ප්‍රශ්නයක්ම දරාගෙන පවුල් ජීවිතය රැකගන්න. බේබදුකම නිසා පවුල් බිඳවැටීම් කොපමණ සිදුවෙනවද?
හිමාලිට පුංචි තිරයේ වගේම සිනමාවෙන් දුර ගමනක් යන්න පුළුවන් කෙනෙක්?
ඇත්තටම ඔව්. මේ වනවිට මම චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ දිනවල ‘කොටු’ සිනමා නිර්මාණයට සම්බන්ධ වෙලා ඉන්නවා. මගේ බලාපොරොත්තුවත් සිනමාව තමයි. නමුත් ලැබුණු අවස්ථා නම් අඩුයි. එහෙම වෙන්න හේතුව මොකක්ද කියන්න නම් මම දන්නේ නැහැ.
වෘත්තීය රංගන ශිල්පිනියක් වශයෙන් වැඩකරන නිසා චරිත තෝරා බේරාගැනීමක් කිරීම අපහසු ඇති?
ඔව්. එහෙම වර්ගීකරණයක් කරන්න මට අපහසුයි. මෙගා කියලා මම සම්බන්ධ නොවී ඉන්නේ නැහැ. මට කරන්න පුළුවන් දෙයක් නම් මම අනිවාර්යයෙන් භාරගන්නවා. නිර්මාණ ප්‍රතික්ෂේප කිරීම මම කරනවා වැඩියි. ලොකු කාර්යබහුලත්වයක ඉන්න මම කැමැති නැහැ. හැබැයි හොඳ නිර්මාණ පිටපතක් නම් මම කාලවේලාව හදාගෙන සම්බන්ධ වෙනවා.
වසන්ත විතාරණගේ











