‘ඇත්තමයි මං ඔයාට ආදරෙයි…’ ඒ වගේ ආදරණීය වචන පෙළක් අහන්න අපි කවුරුත් කැමැතියි. හැබැයි මේ කියන්නට යන්නේ එවැනි ආදර කතාවක චරිතයකට ජීවය දෙන අලුත් කෙනෙක් ගැනයි. ඔහු ‘ඇත්තටම මං ඔයාට ආදරෙයි’ ටෙලිනාට්‍යයේ අහිංසක ආදරණීය පෙම්වතෙක් ලෙස ඔබ හමුවට එමින් ‘උපේන්ද්‍ර’ගේ චරිතයට පණ පොවන ඉමල්ක ජයසුන්දර. මේ සූදානම ඉමල්කගේ කලා තොරතුරු ගැන ‘හාට්’ පිටුවකට අකුරු කරන්නයි.Sri Lanka Latest News
ඉතින් කොහොමද ඉමල්ක?
හොඳින් ඉන්නවා, ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙමින්.
කාටද මේ තරම් ආදරය කරන්න දඟලන්නේ?
මගේ පෞද්ගලික ජීවිතය පැත්තෙන් නම් මම තවම එහෙම කාටවත් ආදරෙයි කියලා නැහැ. හැබැයි ‘උපේන්ද්‍ර’ කියන්නේ අහිංසක පෙම්වතෙක්. ඒ ආදරය විවිධ ප්‍රශ්න සමග ගලාගෙන යන බව දැකගන්න පුළුවන් ‘ඇත්තටම මං ඔයාට ආදරෙයි’ ටෙලිනට්‍යය සමග එකතු වුණොත්.
ඔබේ ගමනට හිරු ආලෝකයක්?
ඇත්තටම ඔව්. මම මුලින්ම රඟපෑවේ ‘හිච්චි’ ටෙලිනාට්‍යයේ. පසුව ‘හිරු කුමරු ආදරේ ගෙනල්ලා’ ටෙලිනාට්‍යයේ. දැන් ‘ඇත්තටම මං ඔයාට ආදරෙයි’. මේ ටෙලිනාට්‍ය තුනම හිරු රූපවාහිනියේ විකාශය වුණේ. එකම නාලිකාවක මම රඟපාපු ටෙලිනාට්‍ය තුනම විකාශය වෙනකොට මමත් හිරුගේ දරුවෙක් කියන හැඟීම මට දැනෙනවා.
ඔබට ‘උපේන්ද්‍ර’ වෙන්න ලැබුණු අවස්ථාව ගැන කතා කළොත්?
හිරු රූපවාහිනිය හරහා ඔඩිෂන් එකක් තිබුණා ‘අපේ ගම’ පරිශ්‍රයේ. මමත් එයට සම්බන්ධ වුණා. මම හිතන්නේ ළමයි දොළොස් දෙනෙක් විතර ඒ ඔඩිෂන් එකට සහභාගි වෙලා හිටියා. මම සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වෙලා යන්න හදද්දි විරාජ් වැලිවත්ත සර් මට කතා කළා. ඔහු මට කිව්වේ පරිස්සමට ඉන්න, වැඩක් තියෙනවා කියලා. ඉතින් මගේ පෙනුමත් එක්ක විරාජ් සර් සහ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක අයියා දෙන්නම කතාබහ කරලා මාව උපේන්ද්‍ර චරිතයට තෝරාගෙන තියෙනවා. ඔය විදියට තමයි ටෙලිනාට්‍යයක ප්‍රථම වතාවට අහිංසක පෙම්වතකුගේ චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණේ.

ඉමල්කගේ හිතේ බලාපොරොත්තුවක් තිබුණද හීනය ජය ගන්න?
මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩි කාලයක් නැහැ. හැබැයි මගේ ගමන වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා. ඒ වෙනුවෙන් රංගනය හැදෑරීමට පවා ගියා. උත්සාහය මම අතහැරියෙම නැහැ. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අනෝජා වීරසිංහ මහත්මියගේ අභිනය රංගන වැඩමුළුවට සම්බන්ධ වෙන්න.
පොඩි කුතුහලයකුත් තියෙන්න ඇති නේද?
පෙම්වතාගේ චරිතය රඟපාලා නැති නිසා පොඩි කුතුහලයක් වගේම බයකුත් තිබුණා. හැබැයි ටෙලිනාට්‍යයේ ධනුෂ්ක රත්නායක අයියා ඇතුළු සියලු දෙනාගෙන් මට මාරම සහායක් ලැබුණා. ඒ වගේම ධනුෂ්ක අයියාගේ නිර්මාණවල මම රසිකයෙක්. ඒත් මම කවදාවත් හැතුවේ නැහැ ඔහුගේ ටෙලිනාට්‍යයක මට මේ විදියට රඟපාන්න ලැබේවි කියලා. ධනුෂ්ක අයියා මගේ ඉදිරි ගමනට වටිනා උපදෙස් ටිකක් දුන්නා. ඒ වගේම මතක් කරන්න ඕනේ ලසඳුනි ජයවර්ධන අක්කා මගේ රංගනය ඇතුළේ මට ගොඩක් දේවල් කියලා දුන්නා. ටෙලිනාට්‍යයේ සියලු දෙනාටම ස්තුතිය පුදකරන්න මම මෙය වටිනා අවස්ථාවක් කරගන්නවා.
ඔබේ රඟපෑම සිනමා ශාලාවක දකිනකොට මොන වගේ සිතුවිල්ලක්ද ආවේ?
පී.වී.ආර්. සිනමා ශාලාවේ ඇත්තමයි මං ඔයාට ආදරෙයි ටෙලිනාට්‍යයේ පළමු කොටස නරඹනකොට මට දැනුණේ මම චිත්‍රපටයක රඟපෑවා වගේ හැඟීමක්. මේ වගේ අත්දැකීමක් මම අත්වින්ද පළමු අවස්ථාව. ඒ වගේම හිරු ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, ටෙලිනාට්‍යයේ සියලු ශිල්පීන් සමග එකට වාඩිවෙලා අත්විඳපු ඒ මිහිරි අත්දැකීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
වසන්ත විතාරණගේ











