“මේ වැඬේ සිද්ධවෙන්නෙ පිළියන්දල – මොරටුව පාරේ. පුළුවන් නම් එන්න.” ඔය තොරතුරු ලැබුණෙ ලංකාවේ ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකුගෙන්.
ඒ අපි කලින් කරපු ඉල්ලීමකට අනුව. පරක්කු කරන්න වෙලාවක් නැහැ. පිළියන්දලින් ටුක් ටුක් එකකට ගොඩවෙච්ච මම ඒකේ රියැදුරු මල්ලිට තැන කිව්වා. විනාඩි දහයෙන් මම අදාළ තැනින් බස්සවපු ටුක් ටුක් එක ආපහු ගියා. මං ටිකක් විපරමින් වටපිට බැලුවා. කන්ද මුදුනෙ තිබුණෙ දේව මන්දිරයක්. හරිම නිස්කලංක තැනක් වගේ පෙනුණට ඇතුළෙ ලොකු කලබලයක්. මං ඉක්මනට එතැනට කිට්ටු වුණා.
“තමුසෙ ඊයෙ කිව්වෙ පහන පත්තුකරන්න මාවත් එක්කගෙන එනවා කියලා. ඇයි දාලා ආවේ…?”
“මොන පහනද? පහන බැරිනම් ළිප හරි පත්තු කරගන්නවකො අපේ ගෙදර ගිහින්….”
දෙයියෝ සාක්කි. අර රූපවාහිනියෙ නිතරම දකින දෙන්නෙක් ඇතුළෙ ලොකු අවනඩුවකට පැටලිලා. මේ දෙන්නා මෙතැන පැටලෙද්දී වටේම කට්ටිය බලාගෙන ඉන්නවා.
එතැන බලාගෙන ඉන්න හොඳ තැනක් නෙවෙයි වගේ. මං තවත් ටිකක් එහාට ඇවිදගෙන ගියා. එතැනත් දෙන්නෙක් ලොකු කතාවක්. හොඳට දැකල පුරුදු මුහුණු දෙකක් නිසා මං තවත් ටිකක් විපරමෙන් ළං වෙලා බැලුවා. ඔව් එක්කෙනෙක් ගිහාන් ප්‍රනාන්දු. අනෙක් කෙනා ජගත් චමිල. මෙතැන නම් සිද්ධවෙන්නෙ එසේ මෙසේ කටයුත්තක් නෙවේ වගේ. ලංකාවේ සුපිරි තරුත් ඇවිත් ඉන්නෙ නිකම්ම වෙන්න බැහැනෙ.
මං ඊළඟට ගියේ එතැනින් එහා පැත්තේ තිබුණු කොටසට. මා ඉදිරියට පැමිණි රුවැත්තියක් ආඩම්බරයක් නැතිව හිනාවුණා. ඇය සුරංගා රණවක. ඒ අතරේ කට්ටියටම තේ පැන් සංග්‍රහයකුත් පිරිනැමුණා. කලින් වතාවේ හෝගාලා රණ්ඩුවට පැටළුණු දෙන්නත් හිනාවෙවී තේ බොන්න එකතු වුණා.
එමි මාස්ටර් රංගන වැඩමුළුව හරහා කට්ටිය එකතු කරගෙන මොකක්දෝ අමුතු වැඩක් කරන්න යන කසුකුසුවකුත් එක තැනකින් ඇහුණා. මහන්සි වෙන තරමට වාසි ගොඩයි. එහෙම කතාවකුත් ඇහුණා. ඔන්න ඔය කතා අතරේ ආයෙත් කලබලයක්. ඒ කියන්නේ අර මධුරියි, සයුරුයි කියන දෙන්නා ආයෙත් පැටලිලාවත්ද, නැත්නම් වෙන පටලැවිල්ලක්ද? ඇත්තටම ඊළඟට මොනව වෙයිද? කලබල වෙන්න එපා. කිසි ප්‍රශ්නයක් නෑ. මම මේ ඉන්නේ ‘නෝ පාකිං’ දර්ශන තලයේ. ඉතින් ඔබ පුංචි තිරයෙන් දකින රූපරාමු කිහිපයක් වෙනුවෙන් ටෙලිනාට්‍යයක කාර්ය මණ්ඩලය කොතරම් වෙහෙසක් ගන්නවාද යන්න ඔබට නොපෙනුණාට එය වචනයෙන් කිව නොහැකි අති විශාල කාර්යභාරයකැයි මේ මොහොතේ ලියා තබමින් ‘නෝ පාකිං’ දර්ශන තලය ‘හාට්’ එකේ අපට විවර කරදුන් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස සහෝදරයාටත් ස්තුති කරමින් ආපසු එන්නයි මගේ මේ සූදානම.
වසන්ත විතාරණගේ