ඔයා ‘සිඳු’ ටෙලි නාට්‍යය බැලුවද? හුඟක් අයගෙන් මේ ප්‍රශ්නෙ ඇහුවොත් ලැබෙන උත්තරේ ‘ඔව්’ කියන එක. ලංකාවේ වැඩිම පිරිසක් නරඹපු ටෙලි නාට්‍ය අතරින් එකක් තමයි ‘සිඳු’ කියලා කියන්නේ. කාලයත් එක්ක සමහරුන්ට මේ ටෙලිනාට්‍යය මඟහැරුණත් අඩුම තරමේ එක වතාවක් දෙකක්වත් නරඹපු නැති කෙනෙක් මං හිතන්නේ නෑ ලංකාවේ ඇති කියලා. ‘සිඳු’ කියලා කියන්නේ ඒ තරම්ම ජනප්‍රිය ටෙලිනාට්‍යයක්.(Sri Lanka Latest News)
‘සිඳු’ ටෙලිනාට්‍යයට මිනිස්සු ආදරේ කළා. ‘සිඳු’ මිනිස්සු අතරට මේ තරම් යන්න හේතුව වුණේ සෝරත පොඩි හාමුදුරුවෝ. ඇත්තම කතාව ඒක. සෝරත පොඩි හාමුදුරුවන්ගේ දඟකාර වැඩ, දඟකාර කතන්දර, හුරතල් දේවලට මිනිස්සු හරි ආසා වුණා. මොකද, මෙච්චර කාලෙකට ඒ වගේ දඟ පොඩි හාමුදුරු කෙනෙක් ගැන අපට අහන්න දකින්නවත් ලැබිලා තිබුණේ නැති නිසා. කොහොම හරි මේ පුංචි දඟයාගේ දස්කම් විස්කම් එක්ක ‘සිඳු’ මිනිස්සු අතරට යද්දී සෝරත පොඩි හාමුදුරුවෝ මුළු රටේම ප්‍රසිද්ධ කෙනෙක් බවට පත්වුණා. හැබැයි ඉතින් සෝරත පොඩි හාමුදුරුවෝ කියන්නේ නළුවෙක්නේ. පොඩි හාමුදුරුවන්ට තිබුණු ප්‍රශ්නෙ වුණෙත් ඒක.
පොඩි හාමුදුරුවෝ, පොඩි හාමුදුරුවෝ විදියට මුළු රටේම ආදරේ දිනාගත්තට හාමුදුරු කෙනෙක් නොවී සිවුර නැතුව සාමාන්‍ය ඇඳුමක් ඇඳලා පාර තොටේ යන එනකොට සෝරත පොඩි හාමුදුරුවෝ මිනිස්සුන්ට දැකලා පුරුදු හැබැයි නුහුරු කෙනෙක් වුණා. මොකද සෝරත පොඩි හාමුදුරුවෝ ජීවත් වුණේ ගිහියෙක් විදියටනේ. කොහොම වුණත් අවුරුදු ගානක් සෝරත පොඩි හාමුදුරුවන්ට සිද්ධ වෙලා තිබුණා තමන්ගේ චරිතේ වෙනුවෙන් සිවුරක් ඇඳගෙන ඉන්න.
ලංකාවේ ගොඩක් භික්ෂුන්වහන්සේලාට තමන්ගේ චරිතේ වෙනුවෙන් සිවුර ඇඳගෙන ඉන්න එක කරන්න බැරි වෙලා තියෙනවනේ. සමහර අය චරිතේ වෙනුවෙන් සිවුර ඇඳගෙන හිටියට සිවුර ගලවලා දාලා තමයි සාමාන්‍ය ගමන් බිමන් පවා යන්නේ. ඇත්තටම සෝරත පොඩි හාමුදුරුවෝ කළේ රඟපෑමක් වුණාට අනෙක් හාමුදුරුවරු නිල වශයෙන් කරන රඟපෑම නෙවෙයි. පුදුමය කියන්නේ සෝරත පොඩි හාමුදුරුවන්ටත් වඩා හොඳට රඟපාන භික්ෂුන්වහන්සේලා අපේ පන්සල්වල ඉන්නවා.
ඒ අයත් කරන්නේ චරිතයක් කියලා අපිට දැනගන්න ලැබෙන්නේ ඒ අයව ඇසුරු කළොත් විතරයි. හැබැයි තමන්ගේ චරිතය හරියට කරලා භික්ෂුන්වහන්සේ නමකගෙන් ඉටුවන යුතුකම ටක්කෙටම ඉටුකරන භික්ෂුන්වහන්සේලාත් ලංකාවේ ඕනෙ තරම් ඉන්නවා. ඒ නිසා මේවා අපි කියන කරන දේවලින් 100% කියලා කිසි කෙනෙක්ව මැනගන්න යන්න එපා. මොකද, එහෙම මැනගන්න ගියාම ඔබේ අතිනුත්, මගේ අතිනුත් අපි දෙන්නගෙම අතින් සිදුවෙන්නේ විශාල වරදක් වෙන්න පුළුවන්. කලබලේට දේවල් හිතන්න ගියාම. කොහොම වුණත් සෝරත පොඩි හාමුදුරුවන්ගේ කතන්දරය මුළු රටම දන්නකොට මෙන්න හදිස්සියේම සෝරත පොඩි හාමුදුරුවෝ ගැන වෙනස් කතාවක් අපට අහන්න ලැබුණා.
ඒ තමයි සෝරත පොඩි හාමුදුරුවෝ පැවිදි වෙලා කියන එක. සෝරත පොඩි හාමුදුරුවෝ පැවිදි වෙලා කිව්වම ඒක නිකං විහිළු කතාවක් වගේනේ. මොකද සෝරත පොඩි හාමුදුරුවෝ කොහොමත් ඉන්නේ මහණ වෙලානේ. හැබැයි මේ කතාව මෙන්න මෙහෙම කිව්වොත්? ‘සෝරත පොඩි හාමුදුරුවෝ ඇත්තටම මහණ වෙලා’ කියලා. අන්න එහෙම කිව්වම නම් අපට කට ඇරෙනවා. ඇස් උඩ යනවා. මොකද චරිතයක් කරපු පමණින් මේ වගේ බැරෑරුම් රාජකාරියක් භාරගන්න මේ පුංචි කොලු පැංචට පුළුවන් වුණාද කියන එක.
ඒ විතරක් නෙවෙයි මේ කතාව අස්සේ කියැවෙනවා සෝරත පොඩි හාමුදුරුවෝ විතරක් නෙවෙයි සෝරත පොඩි හාමුදුරුවන්ගේ සහෝදරයත් මේ වෙනකොට මහණ වෙලා මහණදම් පුරමින් ඉන්නේ කියලා. ඒ නිසා කතන්දරේ ඉතා සුවිශේෂ එකක්. ඒ නිසා අපි මේ ගැන හොයන්න සහ ලියන්න තීරණය කළා. සෝරත පොඩි හාමුදුරුවන්ගේ කතාව. මෙච්චර කල් අපි සෝරත පොඩි හාමුදුරුවන් ගැන ලිව්වට, ලිව්වේ සෝරත පොඩි හාමුදුරුවෝ කියන ටෙලි නාට්‍ය චරිතය ගැන. හැබැයි දැන් අපි ලියන්න හදන්නේ සෝරත පොඩි හාමුදුරුවෝ කියන ටෙලි නාට්‍ය චරිතය ගැන නෙවෙයි. සෝරත පොඩි හාමුදුරුවෝ කියන ඇත්ත ජීවිතේ චරිතේ ගැන. ඔබ ඒ කතාව කියවන්න, අර කතාවටත් වඩා ආසා වෙයි කියලා අපට හිතෙනවා.
මේ පොඩ්ඩගේ නම කවීෂ් විහඟ. කවීෂ් තමයි මේ විදියට සසුන්ගත වුණේ. කවීෂ් අවුරුදු 05ක් මේ චරිතය නිරූපණය කරපු බව තමයි කියන්නේ. කවීෂ් මහණ වෙන්නේ මාතලේදී. මාතලේ මාවතපොළ පෙතිගේපිටිය රජමහා විහාරස්ථානයේදී තමයි කවීෂ් මහණවෙන්නේ. පසුගිය 19 වැනිදා කවීෂ් ශාසනයට ඇතුළු වෙනවා. කවීෂ් වයස අවුරුදු 05දී තමයි සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය නිරූපණය කරන්න පටන් ගන්නේ. කොහොම නමුත් අද වෙද්දී කවීෂ්ව හඳුන්වන්න තියෙන සෑබෑම නම කවීෂ් විහඟ නෙවෙයි.
සෝරත පොඩි හාමුදුරුවෝ කියන නමත් නෙවෙයි. පිළියන්දල සමිද්ධිරතන පොඩි හාමුදුරුවෝ කියන නමින් තමයි උන්වහන්සේව හඳුන්වන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේක පුංචි කාලේම ගත්ත තීරණයක්ද එහෙම නැතුව වෙනත් තීරණයක්ද, සමාජ ජාලවල කියන විදියේ තීරණයක්ද කියන එක දන්නේ කවීෂ් සහ ඔහුගේ පවුලේ අය විතරයි. මේකෙ තියෙන වැදගත්කම තමයි කවීෂ්ගේ සහෝදරයෙක් මීට කලින් සසුන්ගත වෙලා. කවීෂ්ට හිටපු එකම සහෝදරයා ඔහු. දැන් කොහොම හරි ඔන්න කවීෂ්ලගෙ ගෙදර හිටපු පැටව් දෙන්නම මේ වෙද්දී සසුනට ඇතුළු වෙලා කියලයි අපට ලියන්න සිද්ධ වෙන්නේ.
පුංචි කාලේ පුංචි දරුවෝ මේ විදියට මහණ වෙන්නේ මොකක් නිසාද කියන එක අපට තේරෙන්නේ නෑ. කොහොම නමුත් අවුරුදු 05ක් තිස්සේ ඇඳගෙන හිටපු සිවුර, සාමාන්‍ය ඇඳුමකට වඩා තමන්ට වඩාත් ගැළපෙනවා කියලා සමහර විට කවීෂ් හිතන්න ඇති. මොකද පුංචි දරුවෝ මීට කලින් මහණ වෙන්නේ තවත් කවුරු හරි ඇඳගෙන ඉන්න සිවුරක් දැකලා, ඒ සිවුර ලස්සනයි කියලා හිතාගෙන. හැබැයි කවීෂ් චීවරයේ බර ගැන දන්නවා. චීවරය දරද්දී කොච්චර අපහසුද කියන එක දන්නවා.
හැබැයි කොහොම වෙතත් කවීෂ්ට අමතක කරන්න බැරි කාරණයක් තියෙනවා. ඒ කියන්නේ සිඳු ටෙලි නාට්‍යයේ ෂූටින් අතරතුරේදී සිවුර ඇඳගෙන ඉඳලා ගලවලා තියලා වෙන ඇඳුමක් ඇඳගෙන ගෙදර ගියා වගේ ආයේ කවීෂ්ට කවදාවත් සිවුර ගලවලා වෙනත් ඇඳුමක් ඇඳගෙන ගෙදර යන්න වෙන්නේ නෑ. ඒක මතක තියාගෙන රටටත්, ශාසනයටත් සේවයක් කරමින් යහපත් භික්ෂුවක් ලෙස කවීෂ් කටයුතු කළොත් ඒක ඉතා හොඳ දෙයක් වෙයි කියලයි අපේ නම් විශ්වාසය.
ජීවන පහන් තිළිණ