සිංහල සිනමාව මිහිරැති වසන්තයක් කළ එක් අපූර්වතම යුගයක් ලෙස 80 දශකය හඳුන්වන්නට පුළුවන. හැඩකාර නිළි කෙල්ලන් සමූහයක් සැලෝලයිට් පට තුළ තම රුව සිත්තම් කළ ඒ ස්වර්ණමය අවධියෙහි ශිරාණි නුගේරා නම් වූ ලස්සන හුරුබුහුටි නවක තාරකාවද බිහිවිය.
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අධ්‍යක්‍ෂණය කළ “මයුරිගේ කතාව” සිනමා පටය තුළින් ප්‍රේක්‍ෂක සිත්සතන්හි අනුපමේය වූ මතක සටහන් තැබූ ශිරාණි,
“අහස් මාලිගා” සහ “රැජින” චිත්‍රපට තුළ දඟකාර පෙම්වතියක ලෙස සිය රංගන හැකියාව ඔපවත් කොට තැබුවේ තරුණ සිත් අමන්දානන්දනීය ලොවක් කරා ගෙනයමිනි.
ඒ දඟකාර කෙල්ල ශිරාණි නුගේරා දැන් කෝ?
රඟපෑමෙන් ඈත්වෙලාද..?
මාධ්‍යවලින් හැංගිලාද?
ශිරාණි නුගේරාට එදවස ආදරය කළ ප්‍රේක්‍ෂකයන් බොහෝ විට විමසිලිමත්වනවා ඇත.
ඉතින් සිංහල සිනමාව වර්ණවත් කළ රංගවේදීන් සොයාගෙන යන ගමනේදී මෙවර “ශිරාණි නුගේරා” ගැන තොරතුරු හොයන්න ඈ ළඟ නවතින්නට අපට සිත්විය.
මේ දිගහැරෙන්නේ ඒ අපූරු නැවතුම හමුවේ ඈ අප හා දොඩමලු වූ සුහද ආකාරයයි.
ඉතින් ශිරාණි කොහොමද ජීවිතේ?
ජීවිතේ සුන්දරයි. හරිම සතුටින් කාලය ගෙවනවා.
ඔබ ගැන තොරතුරු අහන්නට නැහැ. මාධ්‍යවලින් සැඟවිලාද?
අයියෝ නැහැ. මොනවට හැංගෙනවද? මම කවදාවත් මාධ්‍ය මඟහැරිය කෙනෙක්වත් එයින් හැංගුණු කෙනෙක්වත් නෙවෙයි.
හැබැයි, ඒ වගේම මාධ්‍ය සමඟ කතාබහේදී මම බොහොම පරෙස්සම් වෙනවා.
මෙතැනදී කිවයුතු තවත් කාරණයක් වන්නේ, සමහර මාධ්‍යයන් තෝරාගත් පිරිසක් පමණයි හඹා යන්නේ. නවකයන් පමණයි ඔවුන් ඒ සඳහා තෝරා ගන්නේ.
ඒ ගැන ඔබට යම් කනගාටුවක් දැනෙනවාද?
කොහෙත්ම නැහැ. එවන් සිතුවිලි මා තුළ නැහැ. අනෙක මම කිසිම දවසක මාධ්‍ය පසුපසවත් ජනප්‍රියත්වය පසුපසවත් හඹා ගිය කෙනෙක් නෙවෙයි.
ලැබෙන දේ කොපමණද මම ඒ තුළ සතුටු වුණා, සෑහීමකට පත්වුණා.
රඟපෑම සඳහා චිත්‍රපට භාරගන්නේ නැද්ද?
භාරගන්නවා, හොඳ චිත්‍රපටයක් නම්. ඒ චරිතය මට සුදුසු නම් එයට හවුල් වෙනවා. පසුගිය දවස් ගෙවුණේද චිත්‍රපට කිහිපයක රඟපෑම සඳහායි. මේ දවස්වලත් මම අලුත්ම චිත්‍රපටයක ෂූටින්වලට සහභාගි වෙනවා.
චිත්‍රපටය ගැන තොරතුරු ටිකක් කියමුද?
එය ගාමිණී හේවාවිතාරණගේ අධ්‍යක්‍ෂණයක්. “අංගනාවෝ” නමින් නිර්මාණය වන එහි මම අම්මා කෙනකුගේ චරිතය රඟපානවා.
ඔබ සිනමාවට පය තැබුවේ ස්වර්ණමය යුගයකයි?
ඇත්තෙන්ම ඔව්. ඒ ගැන කියන්නට වචන නැති තරම්. චිත්‍රපට හැදුණේ සීමාවක් නැතිවයි. අලුත් නළු නිළියන් පොකුරු ගණන් බිහි වුණා. නවකයන්ට වගේම ප්‍රවීණයන්ටත් චිත්‍රපටවලට දින දීම සඳහා ලොකු තරගයක් කරන්න සිද්ධ වුණා.
කොයි අධ්‍යක්‍ෂවරයගේ, කොයි චිත්‍රපටයේද රඟපාන්නේ කියා තීරණයක් ගන්න බැරිව දෙගිඩියාවට පත්ව හිටපු ඒ යුගය ඇත්තෙන්ම කියනවා නම් හරිම අමරණීයයි.
දඟකාර චරිත රඟපෑ ඔබටත් ඒ කාලේ ප්‍රේක්‍ෂකයන් උමතු වුණාද?
මම දඟකාර චරිත විතරක් නෙවෙයි අහිංසක ගැමි චරිතද කළා. ප්‍රේක්‍ෂකයන් ඒ සියල්ලට ඇලුම් කළා.
ඒ ළෙන්ගතුකම නිසා සමහර දෙනා මාව හොයාගෙන ගෙදරටම ආවා. ගේට්ටුව ගාව රැකගෙන හිටියා. කතාබහ කරන්න මම එළියට බහිනකල් බලාගෙන හිටියා.
එය ඔබට මානසික පීඩාවක් වුණාද?
එය මානසික පීඩාවක් වන්නේ අප දක්වන ප්‍රතිචාරය අනුවයි. මම ඉතාම කරුණාවෙන් ඔවුන්ට කරුණු කාරණා පැහැදිලි කර දුන්නා.
ඒ වගේම, ප්‍රේක්‍ෂකයන් සිනමා ශිල්පීන් වෙත ආකර්ෂණය වන්නේ ඔවුන් කෙරෙහි තිබෙන ඇල්ම නිසයි. ප්‍රේක්‍ෂකයන් නැති සිනමාවක් කොයින්ද? අපව ජනප්‍රිය කරවීමේ ගෞරවය හිමිවන්න ඕනෑ ඔවුන්ටයි.
ඔබ කළ චරිතයන් තුළ සුවිශේෂීව ඔබේ සිත්ගත් චරිතයක් තිබුණද?
මා කළ සෑම චරිතයක්ම වාගේ මට සුවිශේෂියි. ඒ වගේම ඒ හැම චරිතයකටම මම ආදරෙයි.
හැබැයි, ගාමිණී හේවාවිතාරණ අධ්‍යක්‍ෂණය කළ තිරගත වීමට නියමිත “දූ දරුවෝ” චිත්‍රපටයේ චරිතය ගැන නම් විශේෂ හැඟීමක් මා තුළ තිබෙන බව මට දැනෙනවා. මමයි ශ්‍රියානි අමරසේනයි එහි අක්කා සහ නංගි ලෙස රඟපානවා. වයසින් අප දෙදෙනා අතර තිබෙන පරතරය වගේම ඒ චිත්‍රපටයට තේමා වූ කතා පුවතද හරිම අපූරුයි.
ප්‍රේක්‍ෂක සිත් තුළ ඔබ තවමත් ජීවත් වන බව ඔබට හැඟෙනවාද?
මට එහෙම හිතෙනවා. මොකද? අදටත් මඟතොටදී ඔවුන් මට දක්වන ප්‍රතිචාරය හරිම උණුසුම්. ඇත්තෙන්ම අවුරුදු ගණනක් ගිහිල්ලත් ඔවුන්ට අපව මතක තිබීම ගැන හිතට දැනෙන සතුට කිව නොහැකි තරම්මයි.
සිනමා නිළියක ලෙස ඔබ ඔබ ගැන තෘප්තිමත්ද?
අනිවාර්යයෙන්ම මම මා ගැන තෘප්තිමත්… සිනමාව වෙනුවෙන් මා කළ මෙහෙවර සහ ඉන් ලැබුණු දේ ගැන සතුටට පත්විය හැකි අවස්ථා මට තිබෙනවා.
විශේෂයෙන් හොඳ අධ්‍යක්‍ෂවරු යටතේ මගේ රංගන ජීවිතය මුවහත් වීම, 1982 නැඟී එන නිළිය ලෙස සරසවි සම්මාන ලැබීම, සිනමාවේ ප්‍රවීණත්වයට පත් සෑම නළුවකු සහ නිළියක සමඟම රඟපෑමට වාසනාව ලැබීම සහ පාරට බැස්සම තවමත් ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයට බඳුන් වීම යන කාරණයන් ගැන මම වඩාත් සතුටු වන බව මෙහිදී කිව යුතුයි.
60, 70 සහ 80 දශකයන්හි වසන්තයක් ලෙස ඔබ දුටු සිනමාව අද ගිම්හානයක හුදෙකලා වෙලා නේද?
ඇත්තටම විශාල කනගාටුවක් දැනෙනවා. චිත්‍රපට හැදෙන්නේ නැහැ. හැදුණු චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ පහසුකම් නැහැ. චිත්‍රපට බලන්නට ඒ කාලේ පවුල්පිටින් ගිය ප්‍රේක්‍ෂකයන් අද දකින්නත් නැහැ. හිතාගන්නට බැරි ව්‍යසනයකට සිනමා කර්මාන්තය ගොදුරු වෙලා.
එයට හේතුව අන්තර්ජාලය සහ රූපවාහිනිය මිනිස් සිත් ආක්‍රමණය කිරීමද?
එයද එක් හේතුවක් ලෙස දැක්විය හැකියි. ඒ වගේම තවත් හේතු තිබෙනවා. ප්‍රධානම කාරණය සියල්ල කඩාවැටෙන්නට ඉඩදී වගකිවයුත්තන් බලා සිටීමයි.
පැහැදිලිව කියනවා නම් හොඳ අධ්‍යක්‍ෂවරු, හොඳ රංගවේදීන් තවමත් අපට ඉන්නවා. නමුත් ගැටලුව තියෙන්නේ හොඳ නිර්මාණ කරන්න ඒ අයට පහසුකම් නැහැ. එලෙසම චිත්‍රපට පෙන්වන්න සිනමා ශාලාවල පවා ඇතැම් විට පහසුකම් නැහැ.
නවකයන් වෙනුවෙන් යමක් කියනවා නම්?
හොඳ නවකයන් අපට සිටිනවා. ඉතාම දයාවෙන් ඔවුන්ට කියන්න තියෙන දේවල් බොහොමයි. කෙටියෙන් එක් දෙයක් කියන්නම්. ප්‍රේක්‍ෂකයන්ට මතක හිටින යමක් තිළිණ කරන්න උත්සාහ කරන්න. එවිට කිසිවිටෙකත් ඔවුන්ට ඔබ අමතක නොවනු ඇත.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු