විවාහය යනු වර්තමානයේ එක්තරා ආකාරයකට ආන්දෝලනයට ලක්වුණු මාතෘකාවක් වෙලා. එහෙමත් නැත්නම් විවාහය යන්නෙහි නියම අර්ථය සැඟවී ගොස් එය තවත් එක්තරා කාරණාවක් පමණක්ය යන තත්ත්වයට පත්වෙලාද කියලත් හිතන්න සිද්ධවෙලා. එහෙම බලද්දි කලාකරුවන්ගේ ජීවිතවලදී විවාහය කියන කාරණාව දැඩි ලෙස ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්ව ඇති බවකුයි දිනපතා අහන්න දකින්න ලැබෙන තොරතුරුවලින් හෙළිවන්නේ. මේ තත්ත්වය තුළ නව පරපුර දැඩි දෝෂදර්ශනයට ලක්වෙද්දී බොහෝ ආදරණීය විවාහ ජීවිත ගත කරන කලාකරුවන්, කලාකාරියන් නැතුවාම නොවේ. ඒ අතර 90 දශකයේ යුග දිවියට පිවිසි තරු පවුල් සුවිශේෂීයිද කියලත් සිතන්න ඉඩකඩ තිබෙනවා.
ඉතින් ඒ වගේ හරිම ආදරණීය අඹු සැමි යුවලක් ගැන හාට් එකට පොඩි ඉඟියක් ලැබුණා. මේ දෙන්නාගෙ යුග දිවියට වසර විසිපහක් කියලත් අපට ආරංචි වුණා. විවිධාකාර වූ හැලහැප්පීම් සහිත ලෝකයක විවාහ වෙලා මාසෙන් දෙකෙන්, වසරෙන් දෙකෙන් වෙන්වෙලා යන බොහෝ තරු අතර එකා වගේ එකට බැඳිලා සතුට, සමගිය සපිරි යුග දිවියක් ගෙවපු ඒ ආදරණීය යුවල තමයි ජනප්‍රිය රංගන ශිල්පී කුමාර ජයකාන්ත සහ ජනප්‍රිය රංගන ශිල්පිනී නිරෝෂා හේරත්. ඉතින් මේ දෙන්නා ආයෙත් විවාහ වෙලා කියන ආරංචියත් එක්ක අපිත් ටිකක් කලබල වුණා. ඇත්තටම මොකක්ද වුණේ කියලා බලන්න අපි නිරෝෂා හේරත්ට කතා කළා.
“අනේ ඔව්. අපි දෙන්නා විවාහ වෙලා මේ වෙනකොට අවුරුදු විසිපහක් ගෙවිලා. ඉතින් මගේ යාළුවෙක්ගේ පොඩි යෝජනාවක් ආවා. ආයෙත් වෙඩින් එක දවසෙ වගේ හැඩ වෙන්න කියලා. මටත් ඒ යෝජනාවට ආශා හිතුණා. කුමාරත් කැමැති වුණා. ඉතින් අපි හරිම සරලව ලොකු වියදමක් නොකර සාමාන්‍ය විදියට තමයි මේ කටයුත්ත කළේ. ඇත්තටම ඒ අත්දැකීම හරිම සුන්දරයි. මායි කුමාරයි 1994 අවුරුද්දෙ තමයි විවාහ ජීවිතයට ඇතුළු වුණේ. එදා මාව හැඩ වැඩ කළේ හැරිස් විජේසිංහ. ෆොටෝ ගත්තෙ දයාන් විතාරණ. ඉතින් ඒ සුන්දර මතකය හරියටම වසර විසිපහකට පස්සෙත් ඒ විදියට හිතට දැනුණා කියලා හිතෙනවා.”
ඇය ඉතා ආදරණීයව ඒ සුන්දර මතකය අවදි කළා. දෙවියන් වහන්සේ කෙරේ අසීමිත ආදර භක්තියකින් කටයුතු කරන නිරෝෂා වැඩිදුරටත් පැවැසුවේ ඇයට පණ මෙන් ආදරය කරන සැමියකුත් ජීවිතය සුවඳවත් කරන්නට මල් කැකුළු තුනක් බඳු දරු පැටවුන් තුන්දෙනකුත් ලබාදුන්නේ දෙවියන්ම බවයි. ඒ නිසාම දවසින් දවස ජීවිතයේ සතුට සැනසුම පිරී ඉතිරී යන බව ඇය කියන්නේද දෙවියන් ගැන අසීමිත භක්තියකිනි.
දෙවියන්ගේ ආශීර්වාද ඇත්නම් ස්ත්‍රියකට ජීවිතය වරදින්නේ නැතැයි විශ්වාස කරන ඇගේ සුන්දර රංගනයද යළිත් ළඟදීම දකින්නට ඉඩකඩ ලැබෙන බවට පුංචි රහසක් අප සමඟ පැවැසූ ඇය තවත් නිර්මාණ ගණනාවකට ආරාධනා ලැබී ඇති බවත්, තමන්ට ආදරය කරන රසික රසිකාවියන් වෙනුවෙන් හැකි සෑම විටම රංගනය හරහා ඔවුන් හමුවට එන බවත් පැවැසුවේ හදපිරි සතුටිනි.
කාලයක් පුංචි තිරයේ නිරන්තරයෙන් නෙත ගැටුණු නිරෝෂාත්, කුමාරත් කලාව නිසාම ආදරයෙන් බැඳී යුග දිවියට පිවිසි තරු යුවලක්. එනිසාම ඔවුන්ගේ කලා දිවියටත්, ආදරබර යුග දිවියටත් ‘හාට්’ හදවතින්ම සුබපතන බව මේ මොහොතේ මතක් කළ යුතුමයි.
කුමාර රත්නායක