මාධ්‍යවේදිනියක වෙන්නට සිහින දැකපු නුරානි තෙන්නකෝන් කාලයත් එක්කම පුංචි තිරේ තරුවක් වෙලා. මේ දිනවල ඇය ඔබට හමුවන්නේ සියත නාලිකාවේ විකාශය වන “ඉත්තෝ” ටෙලි නාට්‍යයේ “ධරණි දුනුවිල” චරිතයෙන්. නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පිනියක් වූ ඇය හාට් සමඟ දොඩමළු වුණේ මේ විදියට.
ධරණි ඔය තරම් දේශපාලනයට විරුද්ධ ඇයි?
මම සැබෑ ජීවිතයේදීත් එහෙමයි. මම හිතුවේ නැහැ සැබෑ ජීවිතයේ විදියට චරිතයක් මට රඟපාන්න ලැබෙයි කියලා. මට ධරණි දුනුවිල චරිතය හොඳට කරන්න ලැබුණෙත් මගේ සැබෑ ස්වරූපයත් එක්ක. ධරණිගෙ චරිතයේ හැටියට ඇගේ පවුල් පසුබිම වැඩිපුර දේශපාලනයත් එක්ක තමයි ගනුදෙනුව. ඉතින් ඒ දේශපාලන පවුලට විරුද්ධව ධරණි කටයුතු කරනවා.
හැබැයි ඔබ රඟපෑ අනෙකුත් නිර්මාණවලට මේ තරම් ප්‍රතිචාර නොලැබෙන්න විශේෂ හේතුවක් බලපාන්න ඇති?
ඔව්. එයට හේතුව ඒ චරිතවල මම මටම අඳුනගන්න බැරි වුණා. හුස්මක් තරමට, ඔබ නිසා ටෙලිනාට්‍යවල මගේ වයසට වඩා එහා පෙනුමකින් තමයි මට චරිත නිරූපණය කරන්න ලැබුණේ. ක්වීන් ටෙලිනාට්‍යයේ පාසල් චරිතයක් කළා.
ඔබ රඟපෑ අව් කඳුළු ටෙලිනාට්‍යය විකාශය නොවී මේ තරම් ජනප්‍රියත්වයක් ලැබුවේ කොහොමද?
මම කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණේ ප්‍රදීප් මානවඩුගේ අයියා හරහා තමයි. ඔහුගේ දැනහැඳුනුම්කම මත මම තිළිණ බොරලැස්ස අයියාගේ අව් කඳුළු ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. ඒ මගේ පළමු ටෙලිනාට්‍යය. ටෙලිනාට්‍යය විකාශය නොවුණත් ඒ හරහා මට රවීන්ද්‍ර විජේරත්න අයියාව දැනහඳුන ගන්න ලැබුණා. ඉතින් ඔය විදියට නිර්මාණයෙන් නිර්මාණයට මම සම්බන්ධ වුණා.
දසුන් නිශාන්ගේ ආදරයට නුරානි විරුද්ධ වුණේ ඇයි?
ඔහු අද ජීවතුන් අතර නැහැ. ඇත්තටම කිව්වොත් හොඳ සහෝදරයෙක්. දසුන් අයියා ආදරය කරන පෙම්වතියගේ යහළුවෙක් විදියට මට රඟපාන්න ලැබුණේ. ඉතින් මමත් තවත් මිතුරියන් කිහිපදෙනකුත් අව් කඳුළු ටෙලිනාට්‍යයේ දසුන් අයියාගේ ආදරයට විරුද්ධ වුණා.
සරසවියේදී හමුවුණු ශ්‍රියන්ත මෙන්ඩිස් පළකළ අනාවැකිය අද සැබෑවෙලා නේද?
ඒ කතාව මටත් හිතාගන්න බැහැ. ශ්‍රියන්ත මෙන්ඩිස් අයියා සරසවියේදී මාව දැකලා මගෙන් විස්තර ඇහුවා. ඉතින් මම ගැන විස්තර කිව්වා. ඔහු මගේ නම අහලා කිව්වා මම අනාවැකියක් කියලා තියෙනවා. ඒක හරිගියා, මේ මම කියන දෙවැනි අනාවැකිය. ඔයා දවසක ලංකාවේ ජනප්‍රිය වෙනවා කියලා. ඉතින් ඔහු හරහා තමයි මට උදයකාන්ත වර්ණසූරියගේ ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණේ.
“හිතට හොරා” ගීතය රචනා කළේ සැබෑ ජීවිතයට ළංවුණු ආදරය ගැනද?
අනේ නැහැ. ඒ දවස්වල හිතට දැනුණු විදියට මම පදවැල් ගෙතුවා. ඒ තිබුණු මානසික මට්ටම නෙවේනේ දැන් තියෙන්නේ. තවත් ගීතයක් මම රචනා කළා. අඬන සින්දු මම ලියන්නේ නැහැ. නුදුරු දිනයකදී ඒ සින්දු රස විඳින්න පුළුවන් වෙයි.
ෂූටිං යනකොට ප්‍රේම කුරුල්ලා පස්සෙන්මයි නේද?
මට ඔහුගෙන් ලැබෙන්නේ ලොකු සහායක්. මගේ හැම වැඩකදීම මම එක්ක ඔහු ඉන්නවා. ඉතින් මට බයකුත් නැහැ. මගේ මවුපියන්ට බයකුත් නැහැ. මම එක්ක ඔහු ඉන්න නිසා.
ජනප්‍රිය නිසා දේශපාලනයට එන්නත් සූදානමින් ඇති නේද?
අපෝ නැහැ. මම දේශපාලනයට කැමැති නැහැ. අද මේ වෙනකම් මම ඡන්දයක් දාලවත් නැහැ. මම කිසිම පක්‍ෂයකට කඬේ යන්නෙත් නැහැ. මම කතා කරන්න අකැමැතිම දෙයක් තමයි දේශපාලනය ගැන. ධනය, බලය, එක්ක කවුරු ආවත් වෙනස් වෙනවා.
වසන්ත විතාරණගේ











