ආශාවරි හරහා ඔබ අප දුටු රුවැත්තිය ගැනයි මේ කතාව. පසුගිය කාලේ ඇය ගැන අන්තර්ජාල ඔස්සේ විවිධ කටකතා පැතුරුණා. නමුත් ඇය ඒ සියල්ල ජය ගනිමින් සිනමාවෙන් ඉදිරි ගමන් ආවා. ඒ ඇයගේ තිබුණු නිර්භීත ආත්ම ශක්තිය නිසයි. ඉතින් ඇය වෙන කවුරුත් නොව ඕෂදි හිමාෂා. ඇය කාලෙකට පස්සේ අපිත් එක්ක කතාබහට එකතු වුණේ මේ විදියට.
කොහොමද ඉතින් ඕෂදි
සතුටින් ඉන්නවා. මේ දවස්වල ගෙදරට වෙලා පවුලෙ අයත් සමඟ සතුටින් ඉන්නවා. වැඩිය එළියට යන්නේ නැහැ. මොකද මහත්තයා ගුවන් සේවය කටයුතු කරන නිසා නිරෝධානයේ ඉන්නේ අපි හැමෝම.
දුව ලැබුණාට පස්සේ නිර්මාණ කටයුතුවලින් ඈත් වෙන්නද අදහස?
නිර්මාණවලින් ඈත් වෙන්න මගේ කිසිම අදහසක් නැහැ. දැනටමත් නිර්මාණවල නිරත වෙලා ඉන්නේ. ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ මම දැන් නිර්මාණවලට සම්බන්ධ වෙන්නෙ නැහැ කියලා තමයි. පසුගිය දවස්වල ක්‍ෂේත්‍රයේ අපි කාටවත් වැඩ තිබුණේ නැහැ. දැන් ඉතින් වැඩකටයුතු කරගෙන යනවා.
ඔබව අපි මුලින්ම දැක්කේ මියුසික් වීඩියෝ හරහා. එය ගැන කතා කළොත්?
‘ආශාවරි’ මියුසික් වීඩියෝව හරහා තමයි මුලින්ම රඟපෑමට සම්බන්ධ වුණේ. ඒ හරහා හොඳ ජනප්‍රියතාවක් ලැබුණා. ඉන්පසු මියුසික් වීඩියෝ ගණනාවකින් ආරාධනා ලැබුණා. තෝරා බේරාගෙන තමයි සම්බන්ධ වුණේ.
මියුසික් වීඩියෝවල ඔබ අඩනිරුවත් වීම ගැන ලොකු කතාබහ ඇති වුණා?
ඔව්. ‘ආශාවරි’ මියුසික් වීඩියෝ එක ගැන ලොකු කතාබහකට ලක්වුණා. මම අඩ නිරුවත් රඟපෑවේ නැහැ. මම ඇඳුමක් ඇඳගෙන රඟපෑවේ. අඩනිරුවත් කියන්නේ එක්කෝ උඩුකය, එහෙමත් නැත්නම් යටිකය නිරුවත් වෙන්න ඕනෑ. මම එහෙම රඟපෑමක් කළේ නැහැ. විවිධ කටකතා පැතුරුණත් මම වැරැදි දෙයක් කළේ නැහැ කියලා දන්නවා. නිර්මාණයට මගෙන් විය යුතු සාධාරණයක් තමයි මම කළේ.
ඔබ මියුසික් වීඩියෝවලට ලොකු මිලක් අය කරනවා කියන්නේ ඇත්තද?
අනෙකුත් රංගන ශිල්පීන් එක්ක මම සසඳන්න යන්නේ නැහැ. එය අඩුද, වැඩිද කියලා මම හොයන්න යන්නේ නැහැ. නමුත් මම එක්ක නිර්මාණවල වැඩ කරපු අය දන්නවා මම චරිතයට කරන කැපවීම ගැන. ඒ කැපවීමට ඔවුන් මට සාධාරණ මුදලක් ගෙවනවා.
ඔබව මේ තරමට මියුසික් වීඩියෝ සඳහා තෝරා ගැනීමට විශේෂ හේතුව?
සමහරවිට ඔවුන් හොයනා චරිතයට මාව ගැළපෙනවා ඇති. එහෙමත් නැතිනම් ප්‍රේක්‍ෂක ආදරය ගෞරවයයි. ඔවුන්ගේ වැඩි කැමැත්ත නිසා මාව තෝරා ගන්නවා වෙන්නත් පුළුවන්. ජනතාවගේ ආදරය නැතිනම් අපිට මේ ක්‍ෂේත්‍රයේ ඉදිරියට වැඩ කරන්න බැහැ. ඔවුන්ගේ ආදරය නිසා තමයි අපි තවමත් වැඩ කරගෙන යන්නේ. ඔවුන් වෙනුවෙන් මම නිර්මාණවලට උපරිම කැප වෙනවා.
සිනමාවට පැමිණීම නිසා මියුසික් වීඩියෝවල රඟපෑම අතහැරියාද?
එහෙම අත්හැරීමක් නැහැ. දැනටමත් මියුසික් වීඩියෝ දෙකකට ආරාධනා ලැබුණා. ‘ඉවසියද මන්දා’ මියුසික් වීඩියෝ එකේ දෙවැනි මියුසික් එකට සහ තවත් මියුසික් වීඩියෝ එකකට. චිත්‍රපට තුනකට විතර සම්බන්ධ වුණා. දැනට දෙකක් තිරගත වුණා. ඉදිරියේදී තවත් එක් චිත්‍රපටයක් තිරගත වෙයි.
දැන් මවක් නිසා විලාසිතා ඉස්සර වගේ කරන්න බැහැ නේද?
එහෙම දෙයක් නැහැ. මම නිරූපිකාවක් විදියට කටයුතු කරන නිසා එක එක විලාසිතා කරනවා. මේ ක්‍ෂේත්‍රයේ වැඩ කටයුතු කරන නිසා විලාසිතා අනිවාර්යයෙන් කළයුතුයි කියලා මම හිතනවා. මගේ විලාසිතාවලට කිසිම කෙනෙක්ගෙන් තහනමක් නැහැ.
වසන්ත විතාරණගේ











