මගේ හීනය ඉවරයි කියලා හිතුවේ… චූටි පුතා මට වාසනාව අරගෙන ආවා…!
ටෙලිනාට්‍ය රැසක චරිත ජීවමාන කරමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් විනූ කාලයක් නිර්මාණ තුළින් අපට දැකගන්න ලැබුණේ නැහැ. ඒත් ඒ නිහඬ බව බිඳිමින් ඇය ගැන බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි රසිකයින්ගෙන් ඇයට සුබපැතුම් ගලාගෙන ආවා. ඒ වෙන කිසිම දේකට නෙවෙයි, පසුගියදා පැවැති සුමති සම්මාන උළෙලේදී ඇය නැගී එන නිළිය ලෙස සම්මානයට පාත්‍ර වීම නිසයි. ඉතින් වැඩි සද්දයක් නැතිව හිටිය විනූ පෙරේරා සමග ඒ ගැන මේ විදියට කතාබහ කරන්න අපි හිතුවා.Sri Lanka Latest News
විනූ බඹරේ වැල්ලෙත් කැරකුණා එහෙනම්?
හොඳටම කැරකුණා. මේ දවස්වල ඒ වෙනුවෙන් සුබපැතුම් ගලාගෙන එන කාලවකවානුවක්. මමත් ගොඩක් සතුටින් මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගේ සුබපැතුම් භාරගන්නවා.
මේ ලැබුණු සම්මානය ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන නම් කියන්න වචන නැති තරම්. නොසිතූ නිමේෂයක ලැබුණු සම්මානයක්. මගේ චූටි පුතා මට වාසනාව අරගෙන ආවා. මේ ලැබුණු සම්මානය මට දෙවැනි දරුවෙක් හා සමානයි. ඒ තරම් වටිනා ඇගයීමක්. නැගී එන නිළියට මාව නිර්දේශ වෙලා කියලා දැනගත්ත එකම මට ලොකු සතුටක්. සුමති සම්මාන උළෙල කියන්නේ ලංකාවේ තියෙන සම්මාන උළෙල අතරින් ප්‍රධානම සම්මාන උළෙලක්. ඉතින් මට ඒ වෙලාවේ හිතුණේ මේ වගේ සම්මාන උළෙලකට නිර්දේශ වීමත් ඇති කියලා මට ඉදිරියේදී වැඩ කරගන්න. මම මේ ක්ෂේත්‍රයේ අවුරුදු 5ක් විතර වැඩ කළා. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් තමයි මේ.
මේ ලබපු අගැයීමත් සමග ඔබ නැවත ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවද?
මට දැන් පුතෙක් ඉන්නවා. මාස 8යි දැන් එයාට. පුතා ලැබෙන කාලයත් සමග මම ක්ෂේත්‍රයෙන් ටික කාලයක් ඈත්වෙලා හිටියේ. මම හිතුවා මගේ හීනය ඉවරයි කියලා. මේ ක්ෂේත්‍රය ගැන මම කලකිරීමකින් හිටියේ. මොකද අඩු තරමින් මම ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්වත් මම ගැන ඇහුවේ නැහැ. මේ ගෙවුණු කාලය තුළ මම ගොඩක් දේවල් තේරුම් අරගෙන පවුලේ අය සමග සතුටින් කාලය ගතකළා. හැබැයි කලා ජීවිතය ගැන හිතනකොට මම දුක්බරව තමයි හිටියේ. දැන් ඉතින් ඉදිරියේදී නිර්මාණවලට ආරාධනා ආවොත් සම්බන්ධ වෙනවා.

මල්කාන්ති චරිතය මේ තරම් අගැයීමට ලක්වෙන්න හේතුව ඔබට දැනුණේ කොහොමද?
‘බඹරෙක් ඇවිත්’ ටෙලිනාට්‍යය මගේ රංගන ජීවිතය වෙනස් කරපු නිර්මාණයක්. කාලයක් රඟපෑවේ පෙම්වතියගේ චරිත. මේ චරිතය 1960 ගණන්වල චරිතයක් නිසා මට ඒ ගැන ගොඩක් හොයලා බලන්න සිදුවුණා. චරිත් අබේසිංහ තමයි ‘බඹරෙක් ඇවිත්’ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ. මට කතා කරන්නේ චරිත් අයියා ‘සංසාරි’ ටෙලිනාට්‍යයේ මම රඟපානවා දැකලා. මම චරිතෙට වඩා බය වුණේ චරිත් අයියා සමග වැඩ කරන්න. මම කැමැතිම රංගන ශිල්පියෙක් චරිත් අයියා. බඹරෙක් ඇවිත් ටෙලිනාට්‍යයට දැවැන්ත පිරිසක් සම්බන්ධ වෙන නිසා මම බය වුණා. මම අයියගෙන් ඇහුවේ එකම දෙයයි. මට මේ චරිතය කරන්න පුළුවන් වෙයිද කියලා විතරයි මම ඇහුවේ.
මේ වගේ චරිත රඟපානකොට වටින් පිටින් චරිත කපන්න උත්සාහ කරන සිදුවීම් තියෙනවා?
ඔව්. චරිත් අයිට කියලා තිබුණා අපි වගේ අලුත් අය ගත්තොත් වැඩේ කරගෙන යන්න අමාරු වෙයි කියලා. ඒත් චරිත් අයියා මාව විශ්වාස කරලා මල්කාන්ති චරිතයට තෝරාගත්තා.
මේ කාලවකවානුවේ විනූට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්නත් සිදුවුණා?
‘බඹරෙක් ඇවිත්’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් පළමු ෂෙඩියුල් එක අවසන් කරලා ගෙදර ඉන්න කාලවකවානුවේ මගේ තාත්තා රිය අනතුරකට ලක්වෙලා නැතිවෙනවා. ඊට දින කිහිපයකට පස්සේ මමත් රිය අනතුරකින් තුවාල වෙලා ගෙදර හිටියේ. ඔය වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා මම මානසිකව වැටිලා හිටියේ.
වසන්ත විතාරණගේ










