ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා…
සහාය අධ්යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’, ‘රාජිනි’, ‘කෝඩුකාරී’, ‘නෝ පාකින්’, ‘සිත නිදි නෑ‘ වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසකට අධ්යක්ෂවරයෙක්. ඔහු නමින් තිළිණ බොරලැස්සයි. ටෙලිනාට්‍යයෙන් ඇරඹි ඔහුගේ ගමනේ නව ආරම්භය ලෙස සිනමාවටත් පියවර තබා තිබෙනවා. ඒ තමයි ‘මං හොයන්නේ ප්‍රේමයක්’ සිනමා පටය. ඔහුගේ ඒ කුලුඳුල් සිනමා නිර්මාණය තිරගත වීමට තිබෙන මේ මොහොතේ, නිර්මාණයේ තොරතුරු බෙදාහදා ගැනීමට අද ‘මව්රට’ ‘හාට්’ අපි ඔහුව කතාබහට එක් කරගත්තා.Sri Lanka Latest News
ඔබ සොයන්නෙත් ප්‍රේමයක්ද?
මම නෙමෙයි ඇත්තටම ප්‍රේමය හොයන්නේ. මම හිතනවා විවාහ අවිවාහක හැම මනුස්සයෙක්ම ප්‍රේමය හොයනවා. අපි ඉන්න බැඳීම් ඇතුළේ සමහර විට හම්බවෙලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්. ඒ හරිම ප්‍රේමය හොයාගෙන මිනිස්සු ජීවිතේ අන්තිම හුස්ම වෙනකන් යනවා.
‘මං හොයන්නේ ප්‍රේමයක්’ ඔබේ කුලුඳුල් චිත්‍රපටය?
ඔව්, මගේ කුලුඳුල් සිනමා නිර්මාණය ‘මං හොයන්නේ ප්‍රේමයක්’.
චිත්‍රපටයේ තේමාව?
චිත්‍රපටයේ මුල සිට අවසානය දක්වාම ආදරය විතරමයි තියෙන්නේ. කලින් කිව්වා වගේ ඇත්තටම අපිට හම්බවෙලා තියෙන්නේ හරිම ආදරයද, කොහොමද හරිම ආදරය අපි හොයාගන්නේ, කාන්තාවද පිරිමියාද ආදරය රැකගන්නේ වගේ මාතෘකා වටා තමයි මුළු කතාවම ගලාගෙන යන්නේ.
නිර්මාණය පසුපස දායකත්වය ගැන මතක් කළොත්?
නිෂ්පාදනය යූ.එස්.වයි. අජිත් කුමාර, පිටපත අනෝමා විජේවර්ධන, සහාය අධ්‍යක්ෂණය ප්‍රදීප් මානවඩුගේ, සංගීතය තිළිණ තාරක, කලා අධ්‍යක්ෂණය කසුන් සංජය, අංගරචනය බුවනෙක රණවක, කැමරා අධ්‍යක්ෂණය ඇඩම්ස්, සංස්කරණය දිනෙල්ක, නිෂ්පාදන කළමනාකරණය සහන් වර්ණකුලසූරිය වගේ විශාල පිරිසක් මේ නිර්මාණ කර්තව්‍යයට දායකත්වය දෙනවා.

චිත්‍රපටයේ චරිතවලට රංගනයෙන් එක්වන්නේ කවුද?
දර්ශන් තවරාජා ප්‍රධාන නළුවා විදිහටත් අභිලාෂි සන්තුෂ්කි ප්‍රධාන නිළිය විදිහටත් කටයුතු කරනවා. ඒ වගේම අනුරාධ මල්ලවආරච්චි, නිල්මිණි තෙන්නකෝන්, අජිත් වීරසිංහ වැනි ප්‍රවීණයන් හා නවකයන් යන දෙපිරිසම රංගනයෙන් දායක වෙනවා.
රූගත කිරීම් සිදුවූයේ කොහේද?
කොළඹ සහ ගාල්ල ප්‍රදේශවලත් විදේශ රූගත කිරීම් තායිලන්තයේත් සිදුකළා.
චිත්‍රපටය ප්‍රේක්ෂකාගාරයට භාරකරන්න බලාපොරොත්තු වෙන්නේ කවදාද?
අගෝස්තු අවසානයේ හෝ සැප්තැම්බර් මුල ලංකාවේ ප්‍රේක්ෂකයින්ට බලාගන්න පුළුවන්.
ඉදිරියේදි ටෙලිනාට්‍යවලට වඩා වැඩි ඉඩක් සිනමාවට වෙන් වෙයිද?
මගේ වෘත්තිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය. මම ටෙලිනාට්‍ය කරන එක නවත්වන්නේ නැහැ. වර්ෂයකට එක චිත්‍රපටයක් හෝ කිරීමේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
ප්‍රේක්ෂක ඇරයුම?
‘මං හොයන්නේ ප්‍රේමයක්’ සිනමා පටය ප්‍රේක්ෂක සිතුම් පැතුම් ගැන හිතලා ඔවුන්ට සාධාරණයක් කරන නිර්මාණයක් වේවි කියලා හිතනවා. මගේ මේ නිර්මාණය නරඹලා ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳ හෝ නරක ඕනෙ දෙයක් කියන්න. මම ඒ දේවල් ආදරයෙන් පිළිගෙන ඉදිරි නිර්මාණයකදි ඒ වැරදි හදාගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. ඔයාලා ලාංකීය සිනමාව වෙනුවෙන් සිනමාපටයක් බලන එක තමයි අපිට තියෙන ලොකුම දායකත්වය. අපේ වර්තමාන වැඩිහිටි පිරිස ආදරය දැනට වඩා සුන්දරව විඳපු අය. චිත්‍රපටය නරඹද්දි ඒ දවස්වල ඔවුන් විඳපු ඒ ආදරය සුන්දර අතීතාවර්ජනයක් වෙයි කියලා හිතනවා. ප්‍රේක්ෂකයන් ඉතාම ආදරයෙන් වැලඳ ගන්න ආදරණීය කතාවක් වේවි කියලා හිතනවා.
තිළිණ, ඔබේ සිනමාවේ දැක්ම මොකක්ද?
ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයෙක් විදිහට මිනිස්සුන්ව සතුටින් තියන්න ඕනෙ කියන තේමාව ඇතුළේ තමයි මම ඉන්නේ. ‘මං හොයන්නේ ප්‍රේමයක්’ චිත්‍රපටය උදාහරණයක් විදිහට ගත්තොත් ෆිල්ම් එක බලලා සතුටින් සිනමා ශාලාවෙන් පිටව යයි කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා.
ඉදිරි නිර්මාණ කටයුතු?
රවීන් කනිෂ්ක සහ නෙත්මි රොෂෙල් ප්‍රධාන රංගනයෙන් එක් වන අලුත් ටෙලි නිර්මාණයක් එන්න තියෙනවා දෙරණ නාලිකාවේ. ‘හත්වැනි මනාලි’ කියලා නාට්‍යයක්.
පවුලේ විස්තර?
දුවලා තුන් දෙනයි, පුතයි, බිරිඳයි එක්ක සාමාන්‍ය විදිහට ජීවිතේ ගෙවෙනවා.
විශේෂයෙන් ස්තුති කළ යුතු පිරිසක් ඔබට ඇති?
මගේ මව ආදරයෙන් මතක් කරන්න ඕනෙ. ඇය මගේ හැම නිර්මාණයක්ම බලලා සතුටු වෙනවා. ඇයගේ ආශීර්වාදයත් මට තියෙනවා. මාව ක්ෂේත්රයට ගෙනාපු දේවින්ද කෝංගහගේ අයියා, දෙරණ නාලිකාවේ සභාපතිතුමා, නියෝජ්‍ය සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා, මාධව මඩවල මහතා, ශර්මිලා ධර්මරාසා මහත්මිය, ඒ වගේම මගේ ගමනට මහඟු රුකුලක් වූ මගේ නිෂ්පාදක ජානක සිරිවර්ධන මහත්මයා ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.










