.
යුපුන් අබේකෝන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක්ම සිදුකරමින් ක්‍රීඩාවෙන් සමුගත්තා. අමතක කරන්න බැරි කාරණය වෙන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු විදිහට මීටර් සියය වේගයෙන්ම දුවලා වාර්තා පිහිටු වූ ක්‍රීඩකයා වීම. ඔහු වඩාත් හොඳින් දක්ෂතා අතර හිටපු කාලේ මීටර් සියය තත්පර දහයකට වඩා අඩු කාලෙකින් අවසන් කරනවා. මේ දස්කම සමග ඔහු ඒ වෙනකොට මීටර සියය ධාවකයන් අතරින් ලෝකයේම හොඳම ක්‍රීඩකයන් දහදෙනා අතරට එන්න සමත් වෙනවා. ඔහු විවිධ ජාත්‍යන්තර තරගවලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වෙනවා සහ ඔහු ජාතික ධජය යටතේ ජාත්‍යන්තර පදක්කම් ලබනවා.Sri Lanka Latest News
ආසියාවේ තත්පර දහයකට වඩා අඩු කාලයකින් මීටර සියය දිවීම වාර්තා වෙන්නෙ මේ විදියට.
● සු බින්ටියන් (Su Bingtian – චීනය) තත්පර 9.83ක කාලයක් වාර්තා කරමින් ආසියානු වාර්තාවට හිමිකම් කියයි.
● ෆෙමි ඔගුනොඩ් (Femi Ogunode – කටාර්) තත්පර 9.91ක කාලයක් වාර්තා කර ඇත.
● පූරිපොල් බුන්සන් (Puripol Boonson – තායිලන්තය) තත්පර 9.94ක කාලයක් වාර්තා කර ඇත.
● රියෝටා යමාගටා (Ryota Yamagata – ජපානය) තත්පර 9.95ක කාලයක් වාර්තා කර ඇත.
● යුපුන් අබේකෝන් (Yupun Abeykoon – ශ්‍රී ලංකා) දකුණු ආසියාවෙන් පළමුවරට තත්පර 10ට අඩු (තත්පර 9.96) කාලයක් වාර්තා කළ ක්‍රීඩකයා වේ.
● ෂී ෂෙන්ජි (Xie Zhenye – චීනය) තත්පර 9.97ක කාලයක් වාර්තා කර ඇත.
● යොෂිහයිඩ් කිරියු (Yoshihide Kiryu – ජපානය) තත්පර 9.98ක කාලයක් වාර්තා කර ඇත.
● සමුවෙල් ෆ්‍රැන්සිස් (Samuel Francis – කටාර්) තත්පර 9.99ක කාලයක් වාර්තා කර ඇත.
එංගලන්තයේ බර්මිංහැම් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලේ මීටර සියය ධාවන ඉසව්ව වෙනුවෙන් යුපුන් සහභාගි වූ අතර එය ඔහු ලැබූ ඉහළම ජය ලෙස සලකන්න පුළුවන්. එහිදී මීටර් 100 පිරිමි ඉසව්ව තත්පර 10.14කින් නිමා කරමින් ඔහු ලෝකඩ පදක්කම දිනාගන්නවා.
එතකොට දැන් යුපුන් අබේකෝන්ට මොකද මේ වෙලා තියෙන්නෙ? යුපුන් දැන් ක්‍රීඩාවෙන් සමුගන්නවා. ඒ සමුගන්නෙ ඔහු විශේෂ ප්‍රකාශයක් කරලා. ඔහු තමන්ගෙ පුහුණුවීම් සඳහා යම් මුදලක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලනවා. ඒ, මාසයකට ඇමෙරිකන් ඩොලර් ලක්ෂ තුනක්. ඔහු කියන්නෙ ඒ ගැන එකඟ වෙලා හිටියා කියලා. නමුත් වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා ඔහුව දිගින් දිගටම මගහැරියා කියලා ඔහු කියනවා. ඔහු අසීරුවෙන් මේ සබඳතාව ගොඩනගා ගත්‍ත බව යුපුන් කියනවා. ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරන ප්‍රධානතම ධාවකයෙක්ට ක්‍රීඩා ඇමැති එක්ක කතා කරන්න මේ තරම්ම අසීරුද?
සල්ලි දෙන නොදෙන එක ඒ අයගෙ වැඩක්. ඒත් අපිට පුදුම දේ ඇයි ඔහු ක්‍රීඩා ඇමැති එක්ක කතා කරන්න ඔය තරම අසීරු නම් ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති මුණ නොගැහෙන්නේ? ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති කියන්නෙ ක්‍රීඩකයෙක්. ඔහු ලංකාවෙ නම ජාත්‍යන්තරයේ ඔසවා තැබූ අයෙක්. ජාත්‍යන්තර මට්ටමේ ධාවකයෙක් වුණු ඔහුට තවත් ධාවකයෙක්ගෙ ප්‍රශ්නය නොතේරෙන්න බෑ. එක්කෝ ඔහු ඇමැතිකම ගත්තට පස්සෙ තමන්ගෙ කුලකයේ උන්ව අමතක කරලා. එහෙම නැත්නම් ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති ඉන්නෙ නමට විතරයි. ඒ මනුස්සයට ආණ්ඩුවෙ කිසිම තීරණයකට මැදිහත් වෙන්න බලයක් නෑ. සරලවම කිව්වොත් ඒ මනුස්සයා කියන දෙයක් ඇමැති ගණන් ගන්නෙ නෑ.
ඇත්තටම රටක වෙන්න ඕනේ ක්‍රීඩකයො ආරක්ෂා කරන එක. ඉල්ලන ගානක් දෙනවා කියන එක නෙමේ. දාන ඕනෙම කොන්දේසියකට එකඟ වෙන එකත් නෙමේ. ඒත් ජාත්‍යන්තර මට්ටමට ගිය ක්‍රීඩකයො අපිට දහස් ගානක් නෑ. ආසියා ක්‍රීඩාවලින් පිටට යන්න පුළුවන් එවුන් ඉන්නෙ තුන් හතර දෙනයි. ඒ කීපදෙනා රැකගන්න එක ජාතික වගකීමක්. මේ විදියට ජාත්‍යන්තර මට්‍ටමේ ක්‍රීඩකයෝ සමුගෙන ගිය අවස්ථා ඕනෙ තරම් තියෙනවා.
ඒ අයට මේ වගේ කතා තියෙනවා. හැබැයි ක්‍රීඩකයොම ක්‍රීඩකයන්ට උදව් නොකරන මේ වගේ කණ්ඩායමක් එක්ක යුපුන්ලා සමුගන්න එක සාධාරණයි. මීට වසර ගානකට කලින් යුපුන් ගැන කතන්දර කියලා සමාජ මාධ්‍ය පණිවුඩ තියපු අය අද ආණ්ඩුවේ ලොකු පුටුවල ඉන්නවා. අන්න එයාලත් මේ නාඩගම් බලාගෙන ඇති. කරන කොට එහෙමයි කියන කොට මෙහෙමයි න්‍යායෙ වැඩ හැමදාම අලුතෙන් කෙරෙනවා. ඒත් ඉතින් එහෙම කියලා පුදුම වෙලා වැඩක් නෑ. දේශපාලකයො කොයි එකත් ඔහොම තමයි.
හැබැයි එකක්. ලංකාවෙ වගේ රටකට ඔය වගේ ලොකු ගානක් මාසෙට වියදම් කරන්න පුළුවන්ද? යුපුන්ගෙ වයසත් එක්ක එහෙම වියදමකින් වැඩක් වෙනවද කියන එකෙත් ඇත්තක් නැත්තෙමත් නෑ.

ජීවන පහන් තිළිණ










