යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නිසා අපහාස වින්දා…
ඕනෑම චරිතයක් කිසි බයක් සැකක් නැතුව හරියට කරන සුවිශේෂී රංගන ශිල්පිනියක් ගැන තමයි ඔබට අප මේ කියන්නේ. රඟපෑමට විතරක් නෙමේ හඬකැවීමට වගේම නැටුමට දක්ෂ දනුෂ්කා ජයරත්න සමගයි මේ කතාබහ. පසුගිය කාලේ ඇය කළ සුවිශේෂී රංගනයක් වෙනුවෙන් විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඇයව විවේචනයට ලක්කළා. ඉතින් ඒ සියල්ලට ඇය මුහුණදුන්නේ කොහොමද කියලා ඇයගෙන් අප ඇහුවා…
ඇඳිරිනීතිය නිසා මේ දවස්වල දනුෂ්කා ගෙදරට වෙලා ඇති නේද?
එහෙම කියලත් නැහැ. බාරගත්තු ටෙලිනාට්‍ය කිහිපයකම වැඩ කරගෙන යනවා. එයට අමතරව හඬකැවීම් කටයුතුත් කරගෙන යන අතර ගෙදර වැඩකටයුතුත් කරගන්නවා.
ඒ කියන්නේ කාර්යබහුල ජීවිතයක්ද මේ ගෙවෙන්නේ?
එහෙමත් කියලා නැහැ. වැඩ තියෙන වෙලාවට වැඩ කරනවා. අනිත් වෙලාවට ගෙදරට වෙලා විවේකීව මගේ වැඩකටයුතු කරගන්නවා.
එහෙනම් කියමුකො බලන්න මේ දවස්වල ඒ තරම් කාර්යබහුල ඇයි කියලා?
‘ඉන්ටනැෂනල්’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් සඳහා සම්බන්ධ වෙනවා. එයට අමතරව ‘අග්‍රා, මුතු අහුර’ ටෙලිනාට්‍යවල හඬකවනවා.
දනුෂ්කාට වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ හඬකැවීම්වලටද එහෙමත් නැත්නම් ටෙලිනාට්‍ය සඳහාද?
එහෙමයි කියලා විශේෂයක් නැහැ. විවිධ අයගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙනවා.
හැබැයි ඉතින් ඔය සුන්දර ප්‍රතිචාර අතර ඔබට විවේචනය කරන අවස්ථාත් තිබෙනවා නේද?
හොඳ, නරක දෙකටම මට මුහුණදීලා පුරුදුයි. සිඳු ටෙලිනාට්‍යයේ මගේ මන්ත්‍ර ගුරුකම් නිසා ගොඩක් අපහාස විඳින්න මට සිද්ධවුණා. එය ගැන මම පෞද්ගලිකවම දුක්වෙනවා. සමහරු මට පණුවො ගහපන් කියලා ප්‍රතිචාර දක්වලා තිබුණා. ඇයි ඒ තරම් මිනිසුන් මෝඩ. බලන්න බැරි නම් එය නොබලා ඉන්න එක තමයි හොඳ. මම කරන්නේ මගේ රඟපෑම. එවැනි දේවල් කියන එක වැරැදියි. ‘සිඳු’ ටෙලිනාට්‍ය ගැන විවේචනය කරන එක වෙනම දෙයක්. නමුත් ශිල්පීන්ට අපහාස කරන එක වැරැදියි.
ඒ කියන්නේ ඔබ නැවැත ‘සිඳු’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ නැතිද?
මම එහෙම කරන්නේ ඇයි. මට ආරාධනා කළොත් මම මගේ රඟපෑමට සාධාරණයක් කරනවා. මට මොන තරම් නින්දා අපහාස කළත් මම ඒ චරිතය අත්හරින්නේ නැහැ. ඉදිරියේදීත් මම නැවැත ‘සිඳු’ එකේ රඟපාවි.
පසුගිය කාලේ එක්තරා නිර්මාණයක අපි ඔබගේ සුවිශේෂී රංගනයක් දැක්කා?
ඔබ ඔය කියන්නේ ‘ක්ලික්’ ටෙලිනාට්‍ය ගැන වෙන්න ඇති. ඒ සැරපරුෂ චරිතය ගැන ගොඩදෙනෙක් කතාබහ කළා. එහෙම ගැහැනු මේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා පිරිමි අය ඉදිරියේ චණ්ඩි පාට් දාගෙන ඉන්න එවැනි ගැහැනු චරිත. එවැනි චරිත තුළ හොඳ, නරක දෙකම තිබෙනවා. එහෙම වීමට හේතුව හොයන්නේ නැහැ කවුරුත්.
එවැනි චරිත ජීවමාන කිරීමට විශේෂ චරිත අනුකරණය කළාද?
මම කිසිම කෙනෙක් අනුකරණය කරලා රඟපෑවේ නැහැ. නමුත් එදිනෙදා සමාජයේ අපට හමුවෙන විවිධ චරිත සමඟ ගනුදෙනු කිරීමේ ආශාවක් මට තිබෙනවා. එය මට විතරක් නෙමේ මේ ක්ෂේත්‍රයට සමබන්ධ ඕනෙම ශිල්පිනියක් කරන දෙයක්. මම කිසිම රංගන පාසලක හැදෑරීමක් කරලා රඟපාන්න ආපු කෙනෙක් නෙමේ.
සැබෑ ජීවිතයේ දනුෂ්කා ඒ තරම් දරුණු නැහැ නේද?
අවශ්‍යතාවය අනුව තමයි ඉතින්. මගේ හිත ගොඩාක් නිවුණු කෙනෙක්. අනෙකාගේ දුක මගේ කියලා කටයුතු කරන කෙනෙක් මම.
එහෙම තව කෙනෙක්ගේ ජීවිතයට හව්හරණක් වෙන්න ගිහින් වැරදුණු අවස්ථා ඇති නේද?
අපෝ ඕනෑ තරම් ප්‍රශ්නවලට මුහුණදීලා තියෙනවා. ඒ දේවල් මෙහෙමයි කියලා කියන්න බැහැ. හැබැයි ඒ හැම ප්‍රශ්නයකටම ශක්තිමත්ව මුහුණදීලා නැගිටපු ගැහැනියක් මම.
ඉස්සර නටපු නැටිලි දැන් නටන්න කැමැති නැතිද?
ඉස්සර මම පන්ති පවත්වලා නැටුම් පුහුණු කළා. ඒත් දැන් නටන්න බැහැ. එහෙම කාලෙක ඉඳලා ඒ වැඩකටයුතු නොකරපු නිසා මමත් දැන් මහත් වෙලා. ඉතින් දැන් ඉස්සර වගේ මට නටන්න බැහැ.
වසන්ත විතාරණගේ












