පහුගිය කාලයක් තිස්සේ අපි ‘අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති’ කියන වාක්‍යය කරේ තියාගෙන දුර ගියා. ත්‍රීවීල්වල පිටිපස්සේ මේ වචන ටික අලවගත්තා. බස්වල ඉස්සරහා පැත්තේ අලවගත්තා. වාහනවල එක එක පැතිවල අලවගත්තා. මුහුණු පොතේ විවිධ තැන්වල මේ වචන ටික එල්ලලා එල්ලලා බැරිම තැන සමහර තරුණ තරුණියෝ ඇඟේ පච්ච කොටාගත්තා.Sri Lanka Latest News
දැන් ඒ කාලේ ඉවරයි. දැන් අලුතින් පටන් අරන් තියෙන්නේ ‘සත්‍යය බොහොම කටුකයි, ඒත් කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා’ කියන එක. ඔව්, සත්‍යය බොහොම කටුකයි. අපිට කටුක සත්‍යය බාරගන්නම වෙනවා. අද වෙනකොට ලංකාවේ ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ අපිට කියන්න වෙලා තියෙන්නෙත් එහෙම. මේ ලිපිය ලියන දවස වෙනකොට ලංකාවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 78,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්‍යාවත් 56 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්, පාසල් ශිෂ්‍යයන් ඇතුළු 56 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. 56 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීම ලංකාවේ මේ කාලේ සිද්ධ වෙච්ච ස්වභාවික ව්‍යසන කිසිවකින් සිද්ධ වුණු මරණ ප්‍රමාණයට වඩා වැඩියි. අපිට මේ මරණ එක තැනක නොවෙච්ච නිසා, එක ගමක සිදු නොවෙච්ච නිසා, එකට පෙට්ටි ටික පෝලිමට තිබ්බේ නැති නිසා ලොකු අමාරුවක් නැහැ. නමුත් මතක තියාගන්න ඕනේ, මේ වෙනකොට මේ රෝගීන් 78,000න් 52.76%ක් වාර්තා වෙලා තියෙන්නේ බස්නාහිර පළාතෙන්. ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල තමයි වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ඉන්නේ. දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 160කට වඩා අධික ප්‍රමාණයක් ඩෙංගු අධි අවදානම් කලාප බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම රෝහල් සියල්ලේම පාහේ ධාරිතාව ඉක්මවා ගිහිල්ලා, දැන් රෝහලක රෝගියෙක් නතර කරගන්න බැරි තත්ත්වයට පත්වෙලා තියෙනවා. රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් තමන්ගේ රෝහල්වල දැන් රෝගීන් නතර කරගන්න බැරි තැනට ඇවිල්ලා.
ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් ත්‍රිවිධ හමුදාව, පළාත් පාලන ආයතන විවිධ උපක්‍රම සහිතව ඩෙංගු මර්දනය සඳහා කටයුතු කරමින් ඉන්නවා. ප්‍රශ්නය තියෙන්නේ ඇත්තටම ඩෙංගු අධි අවදානම් තත්ත්වයට පත්වෙලා, රෝහල්වල ධාරිතාව ඉක්මවා ගිහිල්ලා, රෝහල්වල ඩෙංගු රෝගීන් තවදුරටත් නවත්වාගන්න බැරි තැනට ආවට පස්සේ, ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගියාට පස්සේ, ඩෙංගු මරණ 50 පැන්නට පස්සේ තමයි අපිට මතක් වෙන්නේ ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වෙන්න.
අපි වත්ත සුද්ද කරන්නේ, කැලෑ එළිකරන්නේ, තැන් තැන්වල තියෙන කුණු අයින් කරන්නේ මෙන්න මේ තත්ත්වයට පත්වුණාට පස්සේ. ඒකට රජයට විතරක් චෝදනා කරලා වැඩක් නැහැ. ඇත්තටම රජයට චෝදනාවක් තියෙනවා. රජය තමයි මේ වැඩේට මූලිකත්වය ගන්න ඕනේ. ඒගොල්ලෝ මේ වැඩේ පටන් ගන්නෙත් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගියා කියලා රෝහල් මගින් නිවේදනය කළාට පස්සේ. හැබැයි රජයටවත් පී.එච්.අයි. මහත්වරුන්ටවත් කියලා වැඩක් නැහැ ඩෙංගු හැදෙන්නේ අපිට නම්, අපේ නිවාස වටා සුද්ද කරගැනීම අපිට හරි පහසුයි. මොකද සාමාන්‍යයෙන් අද නිවසක වටපිටාව කියලා කියන්නේ පර්චස් 20 – 30 නිවාස තමයි අපිට තියෙන්නේ. සාමාන්‍යයෙන් වැඩිම වුණොත් අක්කර ගණනක ඉඩකඩම් තියෙන්නේ නගරයෙන් පිටස්තරව. ප්‍රධාන නගරවල ජීවත් වෙන අපිට තියෙන්නේ මේ පර්චස් 10 – 15 සුද්ධ කරගන්නෙ නැතුව අපි කාටවත් චෝදනා කරලා වැඩක් නැහැ.
අපි දැක්කා තැනක ලියලා තියෙනවා ‘අපි බය ඩෙංගු රෝගයට නෙමෙයි, අපි බය පී.එච්.අයි. මහත්වරුන්ට, අපි බය දඩ ගහනවාට’ කියලා. ඩෙංගුවලින් මිනිස්සු මියයාම වාර්තා වෙන අතරතුරෙත් අපි තැඹිලි කෝම්බ දානවා, සැමන් ටින් එක දානවා, යෝගට් කෝප්ප තැන් තැන්වල දානවා. මේ සියල්ලෙන්ම පීඩාවට පත්වෙන්නේ, රෝගී වෙන්නේ, ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ ඔබ, මම සහ අපේ පරම්පරාවේ අපේ දරුවන්. මේ මියයන්නේ අපිත් එක්ක එදිනෙදා ජීවත් වෙච්ච මිනිස්සු. හදිසි අනතුරක් සිද්ධ වෙලා නෙමෙයි, භයානක රෝගයක් හැදිලා නෙමෙයි, වසංගතයකට මුහුණ දීලා නෙමෙයි. මදුරුවෙක් කාලා ඒ රෝගය සුව කරගන්න බැරුව, නිසි ප්‍රතිකාර නැතුව, රෝහල්වල ඉඩ නැතුව මේ අය මියයනවා. කොවිඩ් වසංගතය හා සමානවම භයානක තත්ත්වයක තමයි අපි ඉන්නේ. විවිධ උණ රෝග පැතිරෙන අතරතුරේ ඩෙංගු අධි අවදානම් තත්ත්වයත් එක්ක උසස් පෙළ තියන්නත් ලෑස්ති වෙලා. හෙට අනිද්දා උසස් පෙළ තියෙනවා. එතකොට මේ සම්බන්ධව අධිකරණ තීන්දුවක් නොදුන්නොත් තවදුරටත් මේ භයානක තත්ත්වයක් තියෙන රට ඇතුළේ විභාග තියන්න අපිට පුළුවන්ද? අධි අවදානම් ඩෙංගු රෝගීන් වාර්තා වෙන කලාපවල මේ විදියට විභාග පවත්වන්න පුළුවන්ද?
ඉතා නරකම කාරණය වෙන්නේ ලංකාවේ පුද්ගලික රෝහල් විශාල ප්‍රමාණයක අද රෝගියෙක් නතර කරන්න බැහැ කාමරයක. ඒකට හේතුව සියලු කාමර පිරී ඉතිරි ගිහිල්ලා. ඒ නිසා අපි ඩෙංගුවලින් ආරක්ෂා වෙන්න අපිට පොලිසියෙන් ඇවිල්ලා මතක් කරනකල්, පී.එච්.අයි. මහත්වරු ඇවිල්ලා කියනකල්, ආණ්ඩුවෙන් ඇවිල්ලා කියනකල් ඉන්න ඕනේ නෑ. අපේ ගේ වටේ තියෙන ප්ලාස්ටික් බෝතල් ටික, අපේ ගේ වටේ තියෙන මදුරුවෝ හැදෙන්න පුළුවන් තැන් ටික, අපේ ගේ වටේ තියෙන තැඹිලි කෝම්බ ටික අයින් කරගන්න, ස්ලැබ් එකේ වතුර රැඳෙනවා නම් ඒකට පියවරක් ගන්න මේවා අපිට අමුතුවෙන් අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නෙමෙයි.
මේ ලියුම්කරුට මතකයි පුංචිම කාලේ ඉස්කෝලේ මේ සම්බන්ධ පෝස්ටර් ඇඳපු හැටි. ඒ පෝස්ටර් කටවුට් විදියට අල්ලගෙන පෝලිමේ පෙළපාළි ගිය හැටි. විශ්වවිද්‍යාල කාලේ ඩෙංගු අධි අවදානම පිළිබඳ දේශන පවත්වපු හැටි. අද විශ්වවිද්‍යාල වහලා, විශ්වවිද්‍යාල ඇතුළේ මදුරු දැල් දාගෙන ශිෂ්‍යයෝ ඉන්නවා අපිට පේනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මියගිහිල්ලා. හැබැයි තාමත් ඩෙංගු තියෙනවා. ඩෙංගුවලින් මිදෙන්න විකල්පයක් හදන්න කිසිම ආණ්ඩුවකට, කිසිම බලධාරියකුට, කිසිම දේශපාලන කණ්ඩායමකට පුළුවන්කමක් ලැබිලා නැහැ.
හැබැයි අපිට ඒගොල්ලන්ට චෝදනා කරන්න බැරි, ඩෙංගු හැදෙන්නේ අපිට නම්, අපේ ගෙදර ඉන්න හතර පස් දෙනාව ඩෙංගුවලින් ආරක්ෂා කරගන්නවත් අපි ගාව උපක්‍රමයක් නැත්නම් අපි කොහොමද තව කෙනෙකුට චෝදනා කරන්නේ? අපේ ඇහේ තියෙන පොල් පරාලය පේන්නේ නැතුව අනුන්ගේ ඇහේ තියෙන රොඩු හොයන්න අපිට බැහැ. ඒ නිසා ඩෙංගු කියන අධි අවදානමෙන් මිදෙන්න අපි ඔක්කොම එකතු වෙමු. 78,000 ලක්ෂයක් වෙනකම්, 56, 100ක් වෙනකම් බලන් ඉන්නෙ නැතුව අපි පුළුවන් තරම් එකතු වෙලා මේ වැඩේ අපේ වැඩක් කියලා හිතාගෙන කරමු.

ජීවන පහන් තිළිණ










