උතුරු ඉන්දියානු සිනමා වසන්තය තුළ තුරුනු සිත්සතන් කුල්මත් කළ සරාගී නිළි රැජින “කන්ගනා රනවුත්” මේ දිනවල තවත් අපූර්වතම මෙහෙයුමක් සඳහා තම රංගනය දියත් කරමින් සිටියි.සරල කෙල්ලක ලෙස සේම අතිදක්‍ෂ රංගනවේදිනිය ලෙසද ප්‍රචලිත මේ සිනමා නිළිය, ඉතා දැවැන්ත සිනමා නිර්මාණයක් ලෙසින් රූ ගතකිරීම් ආරම්භකොට තිබෙන “ජයලලිතා ජයරාම්ගේ” ආන්දෝලනාත්මක චරිතයට මේ දිනවල පණපොවමින් සිටින්නීය.
වෙනත් චිත්‍රපට මෙන් කන්ගනාට මෙය පහසු නොවේ. 32 හැවිරිදි, සිහින් සිරුරකින් හෙබි ඇය මේ ඇතුළු වන්නට තනන්නේ යෝධ ගැහැනියකගේ සද්ධන්ත ප්‍රතිරූපයකටය.
සුවිශේෂී වේෂ නිරූපණයක් මේ සඳහා අවශ්‍ය බව “තලයිවි” අධ්‍යක්‍ෂණ ඒ. එල්. විරෙයි, නිෂ්පාදක විෂ්ණු ඉන්දුරී සහ තිර නාටකයට පණ පෙවූ ආර්. ඩී. විජේන්ද්‍ර මෙන්ම රංජන් අරෝරාද ඒකමතිකව තීරණය කළා. දහසකුත් එකක් ප්‍රවීණ වේෂ නිරූපණ ශිල්පීන් ඉන්දියාවේ සිටියද ජයලලිතාගේ දැවැන්ත සිරුරට කන්ගනා වැනි සියුමැලි ලලනාවකගේ රුව අනුගත කිරීම ඒ තරම් ලෙහෙසි පහසු නොවන බව ඔවුනට ඒත්තු ගියේ අසුරු සැණිනි. තව සිතන්න හෝ කියන්නට වචන නාස්ති නොකළ ඔවුහු හොලිවුඞ් සිනමා පාරාදීසයේ නොමැකෙන නමක් තබා ඇති ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පී ජේසන් කොලින්ස් ඒ සඳහා තෝරා ගත්හ. “හන්ගර් ගේම්ස්” සහ “බ්ලේඞ් රනර්”හි දස්කම් පෙන්වූ ජේසන්ට කන්ගනාව ජයලලිතා සේ වෙස්ගැන්වීම ඒ තරම් අපහසු නොවන බව ඔවුන්ට වැටහී ගියේ ඔහු හා කළ පළමු කතාබහේදීය.
නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය සඳහා ඔවුන් එසේ සැරසෙන විට කන්ගනා “ජයලලිතාව” අධ්‍යක්‍ෂණය කිරීමේ කාර්යය අරඹා තිබිණි. ජයලලිතාගේ කතා විලාසය, හඬ උච්චාරණය, පියවර තබන කාලය, අඳින – පලඳින සහ නිතර සාරිපොට සකසන ආකාරය, මඳහස, නයන විලාසය ඉගෙන ගැනීමට කන්ගනා බොහෝ ඩීවීඩී පට නැරැඹුවාය.
වොයිස් ටෙස්ටින් සඳහා සහභාගි වූවාය. දමිළ බස වඩාත් ප්‍රගුණ කළාය. මුම්බායි නර්තන පන්තිවලට සහභාගි වූවාය. තලයිවි සිනමා පටය වෙනුවෙන් මූලිකව පැවැත්වෙන වැඩමුළුවලට නොකඩවා සහභාගි වූවාය. උසස් ගණයේ චිත්‍රපට කිහිපයක්ද කන්ගනා ලෝභකමකින් තොරව ඇය අතහැර දැමුවේ “ජයලලිතා ජයරාම්”ගේ චරිතයට තිබූ ආශාව නිසාය.
“ජයලලිතා ජයරාම් මැතිනියනි. ඉතින් මම සූදානම්. නොඅඩමානවම මෙය මගේ සිනමා ජීවිතයේ ‘සුබවාදී සන්ධිස්ථානයක්’ බව නිසැකය.”
කලයිවි සිනමා පටයෙහි අතිවිශිෂ්ට වූ කණ්ඩායම සමඟ ලොස් ඇන්ජලිස් බලා පිටත්වීමට නියමිතව තිබියදී කන්ගනා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තැබුවාය.
“අප සමඟ සතුටින් වැඩකටයුතු කිරීමට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබට හෝ ජයලලිතා මැතිනියට අගෞරවයක් නොවන්නට සහතික වන්නට වගබලා ගනිමි.”
කලයිවි අධ්‍යක්‍ෂ ඒ.එල්. විරෙයිද එවැනි ප්‍රතිචාරයක් එයට දක්වා තිබුණේ ඉතා නිහතමානීවය.
ලොස් ඇන්ජලිස්හි සුවිශේෂ චිත්‍රාගාරයක ජේසන් කොලින්ස් ඊට දින කිහිපයකට පසු තංගනාගේ රූ සපුව ජයලලිතා ජයරාම්ට සමගාමීව වෙස් ගන්වමින් තිබුණේ ඉතා සියුම් ලෙසය. කෘත්‍රිම බුද්ධියක් ලෙස විද්‍යානුකූලව දැකිය හැකි මෙම වෙස්ගැන්වීමේදී සමට අහිතකර නොවන සුවිශේෂ මැලියම් විශේෂයක් භාවිත කෙරිණි. මේ සිදුවෙමින් පවතින්නේ තම සිරුර කේන්ද්‍ර කොටගෙන යැයි නොදැනෙන තාලෙට වාගේ “කන්ගනා රනවුත්” නිසොල්මන්ව සිටියාය.
රූගතකිරීම් සිදුවන අතරතුර ජයලලිතාගේ රුව අංග හතරකට ඒ ඒ වයස් කාණ්ඩ අනුව එකිනෙකට වෙනස්ව පෙනෙන ආකාරයට වෙස්ගැන්වීම සිදුවීමට නියමිතව තිබිණි.
පළමු වෙස්ගැන්වීමේදී කන්ගනාගේ සහෝදරිය, රන්ගෝලි බන්දෙල්ද එතැන සිටියාය. සියලු විශේෂ අවස්ථා කැමරාවට හසුකරගත් ඇය සිය ට්විටර් ගිණුමෙහි එය මුදාහැරියාය.
“දක්‍ෂ චරිතාංග නිළියක වීම සිතන තරම් පහසු නැත. කන්ගනා තම සාර්ථකත්වය උදෙසා බොහෝ දේ දරාගන්නා අයෙකි. සාමාන්‍ය කෙනෙකු තම හුස්ම හිරවීමට යන බව දැන නොසන්සුන් වන්නේද කන්ගනා එවැනි තැනකදීද ඉතා සන්සුන්ව බලා සිටින්නට තරම් සංයමයෙන් පිරුණු කෙනෙකි.”
ජයලලිතාගේ රුව තමා තුළ සාර්ථකව නිරූපණය කිරීම සඳහා වේශ නිරූපණ ශිල්පියාට කන්ගනා දුන් සහාය අති විශිෂ්ටය. ඇගේ හුස්ම නතර වී ඇත්දැයි සිතෙන තරමට ඇතැම් මොහොතක කන්ගනා නිසොල්මන්ව සිටියාය.
සත්තකින්ම කියනවා නම් මෙහි ප්‍රතිඵලය නුදුරු දිනයක තිරගත වන විට එය “කන්ගනා රනවුත්” ගැන මවිතයටත්, සතුටටත් පත්වන බව නිසැකය.
රන්ගෝලි බන්දෙල් තම සහෝදරියගේ සේයාරූ පෙළ පාමුල එවැනි සාඩම්බර සටහනක් තැබුවේ සෙනෙහෙබරිනි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු