ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට මේ වන විට දින කිහිපයක් ගතවී අවසන්ය. ඒ පිළිබඳ තවමත් නිශ්චිත පිළිතුරක් පොලිසියට හමුවී නැත. මේ ලියන මොහොත වන විටද 23 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගැනීමට පොලිසිය කටයුතු කර තිබේ. නමුත් මේ 23 දෙනාගෙන්ද යම් කිසිවකු වෙත සැකයක් එල්ල වී ඇද්දැයි යන්න පිළිබඳ කිසිදු සටහනක් තවමත් පොලිසිය ලබාදීමට අසමත්ය. මෙම සිදුවීමට පෙර සී.සී.ටී.වී. දර්ශන, දුරකතන සාක්ෂි ආදී බොහෝ දේ පරීක්ෂා කරමින් කටයුතු කළද මරණය සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබාදීමට කිසිවකු තවමත් සමත් වී නැත. මෝටර් රථය තුළ ගෙල සිරකර බැඳදමා සිටියදී පසුගිය 15 වැනිදා සොයාගන්නා ලද ෂාෆ්ටර් මහතා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහිදී මියගියේය. ඔහුගේ මරණය මිනීමැරුමක් බව මරණ පරීක්ෂණයේදී තහවුරු කරගෙන අවසන්ය. ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර් මහතා මරාදැමුවේ කවුද? එය තවමත් අබිරහසකි. මහ දවාලේ කොළඹ නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයකු මරාදැමීම දවස් ගණනක් යනතුරු පොලීසියට අබිරහසක් වීම අප කුතුහලයට පත්කරවන්නකි. නමුත් ඒ පිළිබඳ පරීක්ෂණ සිදුවන නිසා අප තවමත් කිසිවකුට ඇඟිල්ල දිගුකරන්නට කලබල විය යුතු නැත. කෙසේ නමුත් ෂාෆ්ටර් මහතාගේ මරණයත් සමග එහි ප්‍රධාන සැකයක් එල්ල වූයේ බ්‍රයන් තෝමස් මහතා වෙතය. නමුත් බ්‍රයන් තෝමස් මහතා කිසිම විටෙක මෙම මරණයට වගකිව යුතු බවට තවමත් කිසිදු සාක්ෂියක් ලැබී නොමැත. බ්‍රයන් තෝමස් මහතාගේ සම්බන්ධයක් සම්බන්ධයෙන් කියැවෙනාමුත් තවමත් ඔහු වෙත සාධාරණ සැකයෙන් ඔබ්බට කිසිදු සැකයක් එල්ලවී නැති බව ලියුම්කරු ඔබට නැවත තහවුරු කරන්නේ අපරාධයක් ඔප්පු වන තුරු සියලු පුද්ගලයන් නිවැරැදිකරුවන් බව නීතියේ පවතින පූර්ව නිගමනයේ සිටය. ඉන් ඔබ්බට ගොස් හෝ බ්‍රයන් තෝමස් මහතා මේ සිදුවීමට සම්බන්ධ යැයි පවසන්නට තවමත් කිසිදු නිශ්චිත සාක්ෂියක් නොමැති බව යළිත් සටහන් තබන්නේ ඔහුට මෙම මනුෂ්‍ය ඝාතනයට යම් සම්බන්ධයක් නැති නම් ඔහු යම් අපහසුතාවකට පත්වීම අසාධාරණ නිසාය.
බ්‍රයන් තෝමස් මහතා මේ කතාවට සම්බන්ධ වන්නේ ඔහුට රුපියල් කෝටි 143කට අධික මුදලක් ෂාෆ්ටර් මහතා ලබාදුන් බව කියන කතන්දරය හරහාය. ඒ සම්බන්ධයෙන් විවිධ ගැටුම් පැවැතී ඇති අතර, එම ගැටුම්වල කෙළවරදී බ්‍රයන් තෝමස් මහතා අත්අඩංගුවට ගැනීමට පවා කටයුතු කර තිබේ. කෙසේ නමුත් දිනේෂ් ෂාෆ්ටර් යනු කවුරුන්ද යන්න දැන් අපි ඔබට කිව යුතුය. දිනේෂ් ෂාෆ්ටර් යනු ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ඔහු නීති උපාධිධරයකු බවද, බි්‍රතාන්‍යයේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයකු බවද පසුගිය දිනෙක අප විසින් ඔහු ගැන කරන ලද සොයාබැලීමේදී හඳුනාගන්නට ලැබිණි. ඔහු මෙරට මූල්‍ය වෙළෙඳපළ තුළද ඉතා කීර්තිමත් පුද්ගලයකු ලෙස කටයුතු කර ඇති අතර, මූල්‍ය වෙළෙඳපළ තුළ විශ්වසනීයත්වය තහවුරු කිරීමට ඔහු විශාල ලෙස කැපවූ බව සමහර වෙබ් අඩවි ඔහු පිළිබඳ වාර්තා කර තිබූ සටහන්වල අන්තර්ගත විය. ෂාෆ්ටර් මහතා මෙහෙයවනු ලැබූ මූල්‍ය ආයතන කිහිපයක්ම මෙරට ක්‍රියාත්මක වන අතර, ඒවා ප්‍රාථමික සහ ද්විතීයික යන වෙළෙඳපළ දෙක තුළම ක්‍රියාත්මක වී ඇති බව දැනගන්නට තිබේ.
දිනේෂ් ෂාෆ්ටර් මහතා කළමනාකරණ අධ්‍යක්ෂ ධුරය දරන එක් සමාගමක් ලෙස ෆස්ට් කැපිටල් ටේරෂරීස් පී.එල්.සී. සමාගම හඳුනාගන්නා අතර, මෙහිදී අපට ඉතා වැදගත් කතන්දරයක් ඔබට කියන්න සිදුවේ. ඒ, මෙරට දැඩි ආන්දෝලනාත්මක කතාබහකට ලක්වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ යම් සම්බන්ධයක් තිබේද යන්නය. ෂාෆ්ටර් මහතා මේ වංචාවට සම්බන්ධ නැතිමුත් ඔහු එහි ප්‍රබල සාක්ෂිකරුවකු ලෙස එක්තරා වෙබ් අඩවියක් පසුගිය දිනෙක වාර්තා කර තිබිණි. 2015 ජනවාරි මස 01 වැනිදා සිට 2016 මාර්තු 30 වැනිදා දක්වා මෙරට සිදුවූ භාණ්ඩාගාර බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් විර්ශන සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවට ඔහු ලබාදුන් සාක්ෂි තුළින් කරුණු රැසක් අනාවරණ වූ බව පසුගිය දිනෙක වාර්තා විය. දිනේෂ් ෂාෆ්ටර් මහතා මේ සම්බන්ධයෙන් ලබාදුන් ප්‍රකාශය බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ 223 වැනි පිටුවේ ඇතැයිද කියැවේ.
2015 පෙබරවාරි මස 27 වැනි දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට පෙර රජයට අවශ්‍යව තිබූ කිසිදු මුදල් අවශ්‍යතාවක් හෝ මිල සංවේදී තොරතුරක් පිළිබඳ තමාට දැනුමක් නොතිබූ බව ෂාෆ්ටර් මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ. තමා ඒ පිළිබඳ දැනුවත් වූයේ රජයේ මුදල් අවශ්‍යතාව පිළිබඳ කැඳවූ විවෘත වෙන්දේසියෙන් බවද ෂාෆ්ටර් මහතා ප්‍රකාශ කර තිබේ. ෂාෆ්ටර් මහතා 2015 පෙබරවාරි මස 27 වැනි දින බැඳුම්කර අලෙවියේදී ෆස්ට් කැපිටල් ටේරෂරීස් පී.එල්.සී.හි ප්‍රධාන අලෙවි නියෝජිතව සිටි සුහිනි හිමල්කා ප්‍රනාන්දු මහත්මිය හරහා ලන්සු තබා ඇත. මෙහිදී බැඳුම්කර වෙන්දේසියේදී සිදුවූ අසාමාන්‍ය සිදුවීම් දෙකක් ගැන තමන්ට හැඟීගිය බව ෂාෆ්ටර් මහතා කොමිසම හමුවේ සඳහන් කොට තිබේ. ඉන් එකක් වන්නේ වෙන්දේසියේ වටිනාකමට වඩා 10 ගුණයකින් යුතු ලන්සු කැඳවා තිබීමත්, එය පිළිගත් ලන්සු ප්‍රමාණයත්, ඉදිරිපත් කළ මුදලත් අතර විශාල අගයක් බව ඔහු සඳහන් කර තිබේ. අනෙක් කරුණ වූයේ සඵල පොලී අනුපාතිකය එකල වෙළෙඳපොළේ පැවැති පොලී අනුපාතිකයට වඩා ඉහළ අගයක පැවැතීමයි. මෙම සිදුවීම පෙර නොවූවිරූ ඒවා බවත්, ඒ නිසා තමන් කම්පනයට පත්වූ බවත්, එවක නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ අවධානයට මෙය යොමුකළ බවත් ෂාෆ්ටර් මහතා මෙම සාක්ෂිවලට සඳහන් කර ඇතැයි දැනගන්නට ලැබේ. ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර් මහතා බැඳුම්කර විමර්ශන පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ප්‍රබල සාක්ෂිකරුවෙකි.
දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පියා චන්ද්‍රා ෂාෆ්ටර් මහතාය. චන්ද්‍රා ෂාෆ්ටර් මහතා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ව්‍යාපාරිකයෙක් සහ ක්‍රිකට් පරිපාලකයෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය. එසේම ඔහු ප්‍රකට ව්‍යාපාරිකයකු ලෙස ශ්‍රී ලංකාවට ජීවිත රක්ෂණය හඳුන්වා දීමේ පුරෝගාමියා බවද ඇතැම් තැන්වල සඳහන්ව තිබේ. 1930 අප්‍රේල් 30 වැනිදා උපන් චන්ද්‍රා ෂාෆ්ටර් දකුණත් වේග පන්දු යවන්නකු ලෙස සිය ක්‍රිකට් දිවිය ආරම්භ කර තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ පළමු ශ්‍රේණියේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ක්‍රීඩකයකු වන අතර, එහිදී තරග කිහිපයකට ක්‍රීඩා කරමින් පන්දු යවන්නකු ලෙස දස්කම් දක්වා ඇත්තෙකි. ඉන් පසුව චන්ද්‍රා ෂාෆ්ටර් මහතා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට එක්වූ අතර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලයේ පූර්ව සාමාජිකයකු ලෙසද කාලයක් කටයුතු කර තිබේ. ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි චන්ද්‍රා ෂාෆ්ටර්ගේ අඩිපාරේ යමින් ඔහුගේ පුතුන්ද යම් ආකාරයට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළී ඇති බව ඇතැම් තැන්වල සඳහන්ව තිබේ. ඒ අනුව සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරමින් චන්ද්‍රා ෂාෆ්ටර් මහතා ජීවිත රක්ෂණයේ පුරෝගාමියකු ලෙස කටයුතු කළ අතර, ඔහුගේ දක්ෂා මත ලංකාවේ ජීවිත රක්ෂණ ක්‍රමවේදය නගාසිටුවීමට හැකි වූ බවද ඔසේම ඔහු විසින් ගොඩනගන ලද ව්‍යාපාර ඉතා ඉහළ තලයකට ගෙන ඒමට හැකි වූ බවද ඇතැම් තැන්වල සඳහන්ව ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තවත් යම් තොරතුරු ප්‍රමාණයක් අප වෙත වාර්තා වී තිබේ. එම වාර්තාවලට අනුව දිනේෂ් ෂාෆ්ටර් මහතා නිවෙසින් පිටව ඇත්තේ පස්වරු 1.55ටය. කොළඹ 07 මල් පාරේ පිහිටි නිවෙසින් පස්වරු 1.55ට පිටත් වන ෂාෆ්ටර් මහතා මලලසේකර මාවතේ පිහිටි අවන්හලකට ඇතුළු වූ බව මේ වන විට හඳුනාගෙන තිබේ. ඉන් අනතුරුව ෂාෆ්ටර් මහතාගේ දුරකතනයට පස්වරු 2.15 පමණ වන විට ඔහුගේ බිරිය විසින් ‘ඔබ දැන්ම පැමිණෙනවාදැ’යි වට්ස්ඇප් පණිවුඩයක් යවා තිබේ. ඉන් අනතුරුව වට්ස්ඇප් සංවාදයක් සිදුවන අතර, ඒ ‘ඔබ පැමිණෙන තුරු සිටිනවා’ යැයි ප.ව. 2.42ට බ්‍රයන් තෝමස් මහතාට ලැබුණු වට්ස්ඇප් පණිවුඩයෙන් ඇරැඹි සංවාදයයි. මෙයට පිළිතුරු ලෙස බ්‍රයන් තෝමස් මහතා, ‘මට තේරෙන්නේ නෑ ඔබ කියන්නේ මොකක්ද කියා’ යනුවෙන් පිළිතුරක් ලබාදී ඇති අතර, ‘මට ඔයා හම්බවෙන්න හේතුවක් නෑ. ඔයා දන්නවා දෙසැම්බර් 24 ඔයා මට මොකක්ද කළේ කියලා’ යනුවෙන් ඔහු පිළිතුරු ලබාදී තිබේ. එම වට්ස්ඇප් පණිවුඩයට පිළිතුරක් ලෙස නැවතත්, ‘ඔයා කිව්ව විදියට මම මැසේජ් ඔක්කොම ඩිලීට් කළා’ යනුවෙන් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දුරකතනයෙන් බ්‍රයන් තෝමස් මහතාට පණිවුඩයක් ලැබී තිබේ. ඊට පිළිතුරක් ලෙස බ්‍රයන් තෝමස් මහතා, ‘මම ඔයාට කවද්ද කිව්වේ මැසේජ් ඩිලීට් කරන්න කියලා’ යනුවෙන් පිළිතුරක් ලබාදී ඇති අතර, මේ සිදුවීම සිදුව ඇත්තේ පස්වරු 2.41ට පමණය. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ආයතනයේ සේවය කළ විධායක නිලධාරියකු දිනේෂ් ෂාෆ්ටර්ව සොයාගන්නේ පස්වරු 3.30ට පමණ වන අතර, ඔහුව රෝහල වෙත රැගෙන යන තුරුම කිසිදු තොරතුරක් පොලීසියට හෝ වෙනත් අයකුට වාර්තා කර නැත. මේ සිදුවීම සිදුවන අවස්ථාවේදී බොරැල්ල කනත්තේ අවසන් කටයුතු සිදුකරමින් සිටි මරණ ගණන 6කි. මෙසේ අවමංගල්‍ය උත්සව හයක් පැවැත්වෙන අතරතුර දිනේෂ් ෂාෆ්ටර් මහතා මේ තුළ පහරදීමට ලක්ව ඇති අතර, ඔහුව රෝහලට රැගෙන යෑම සිදුකර ඇත්තේ ඔහුගේම රථයෙනි. ඒ අනුව මෙහි යම්කිසි ගැටලුකාරී තැන් කිහිපයක් ඇතැයි අපට හැඟෙන කාරණයයි.
දිනේෂ් ෂාෆ්ටර් මහතා පිළිබඳ තවත් විශේෂ කාරණයක් අපට දැනගන්නට ලැබිණි. ඒ, පහුගිය නවවැනිදාවක ඇතිවූ ජනතා අරගලයේදී ඔහුගේ නිවෙසට ඉදිරිපිටින් තරුණයන් දිවයන විට ඒ සියලු තරුණයන්ට සිය නිවෙසට ඇතුළු වන්නට පහසු වන ලෙස ගේට්ටු හැර තබා ඔවුන්ව බේරාගන්නට කටයුතු කිරීමය. ඒ අරගලයේදී පලායමින් සිටි තරුණයන්ට පොලිසිය පහර දෙද්දී ෂාෆ්ටර් මහතා සිය නිවෙසේ දොර විවෘත කළා යැයි එක්තරා තැනක සඳහන්ව තිබුණේය. මල්පාරේ පිහිටි සිය සුඛෝපභෝගී නිවෙසට ඇතුළු වන්නට ඉඩ දී, ඒ සියලු තරුණයන් බේරාගත් ෂාෆ්ටර් මහතාගේ කතාන්දරයයි. ඒ කතා සියල්ල සත්‍ය නම් අද ෂාෆ්ටර් මහතා යනු ශ්‍රී ලංකාවේ ඉතා සුවිශේෂ පුද්ගලයෙකි. එසේම ෂාෆ්ටර් මහතා යනු ඉතා සංවේදී රහස් විශාල ප්‍රමාණයක් දැන සිටින්නෙකනි. මේ සියල්ලටම ඔබ්බෙන් ගොස් මැදහත්ව බලා සිටින්නකු ලෙස මැදහත්ව නරඹද්දී දිනේෂ් ෂාෆ්ටර් වැනි ඉහළ තලයේ ව්‍යාපාරිකයෙක් මෙසේ හුදෙකලාව සිය මෝටර් රථය පදවාගෙන ගියේ ඇයිද යන්න ප්‍රශ්නයකි. එසේම යම් කිසිවකුගේ බලපෑමක් තිබුණද, නොතිබුණද, ඔහුට තමන්ගේ රථය මේ ආකාරයෙන් බොරැල්ල කනත්ත තුළට පදවාගෙන යන්නට තිබූ අවශ්‍යතාව කුමක්දැයි අපට පැහැදිලි නැත. එසේම ෂාෆ්ටර් මහතා සොයාගැනීමත්, ෂාෆ්ටර් මහතා සොයා යෑමත්, ෂාෆ්ටර් මහතාගේ අතුරුදන් වීමත් ඉතා සංවේදී කාරණාය. සාමාන්‍යයෙන් මේ මට්ටමේ ව්‍යාපාරිකයකුගේ දුරකතනය පැයක් හෝ දෙකක් ක්‍රියා විරහිතව තිබීම කලබල වන්නට තරම් කාරණාවක් දැයි අපට තේරෙන්නේ නැත. එසේම මේ ආකාරයෙන් දුරකතනය ක්‍රියා විරහිතව තිබූ පමණින් ඔහුව සොයාගෙන එන්නට කෙනකු පිටත් කර යැවීමද යම් ආකාරයකින් පුදුමසහගතය. මේ සියලු කාරණා දෙස උපේක්ෂාවෙන් බලා සිටින විට අපට දැනෙන වැදගත්ම කාරණය වන්නේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සහ මෙම සිදුවීමම යම් කිසි බරපතළ ප්‍රහේළිකාගත කාරණාවක් බවයි. මේ සියල්ලටම පිළිතුරු සෙවිය යුතුය. පොලිසිය දෑස් දල්වා බලා සිටින විට මහ දවාලේ මනුෂ්‍යයකු ඝාතනය කිරීම වඩාත් අපකීර්තියට පත්කරන්නේ ශ්‍රී ලංකාවේ පොලිසියයි. ඒ පිළිබඳ යළි යළිත් සොයා බලා වහාම ප්‍රතිඵලයක් දැනගන්නට සලස්වන ලෙස අපි ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටිමු.
ජීවන පහන් තිළිණ