VFS ගනුදෙනුවේදී නිලධාරීන් මුදල් කමිටුව මගහැරියේ ඇයි?
VFS පිටුපස සිටින ප්‍රබල පුතාගේ නම එළියට!
නාමල් ගාව රනිල්ගේ ඔත්තුකරුවෙක්!
හර්ෂ සටන අතට ගනී
කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ මෙහෙයුම් කටයුතු වී.එෆ්.එස්. සමාගමට ලබාදීමෙන් පසුව රට ඇතුළේ මතුවුණු ආන්දෝලනය මේ වනතෙක් පහව ගොස් නැත. විපක්ෂය මේ පිළිබඳ පාර්ලිමේන්තුව ඇතුළේදීත්, ඉන් පිටතදීත් දැඩිව ප්‍රශ්න කිරීමත් සමග ආණ්ඩුව කළේ වහාම කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා වී.එෆ්.එස්. සමාගමට ලබාදී තිබූ වීසා නිකුත් කිරීමේ අයිතිය ඉන් ඉවත් කොට සුපුරුදු පරිදි එය ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැවරීමය. ආණ්ඩුව සිතන්නට ඇත්තේ එසේ කිරීමත් සමග ඒ හරහා රට තුළ මතුවූ ආන්දෝලනය අවසන් වනු ඇතැයි කියාය. නමුත් කැබිනට් මණ්ඩලයෙන් වී.එෆ්.එස්. සමාගම ඉවත් කිරීමට තීරණය කළද එම ප්‍රශ්නය අවසන් වූ බවක් දැකගන්නට නොලැබුණේ පාර්ලිමේන්තුවේ මුදල් කාරකසභාව විසින් මෙම ගනුදෙනුවේ ඇතුළාන්තය සොයාබැලීමේ වගකීම අතට ගැනීමත් සමගය. රටේ මුදල් බලය පාර්ලිමේන්තුවට පවතින බැවින් මුදල් කාරකසභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ වී.එෆ්.එස්. ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුදල් කමිටුව හමුවට කැඳවීමට පියවර ගත් බවකි. ඒ අනුව සියලු දෙනා බලා සිටියේ මුදල් කාරකසභාව හමුවේ කෙරෙන ප්‍රශ්න කිරීම් මත මෙම ගනුදෙනුව පසුපස සිටින මහමොළකරුවන් කවුරුන්ද යන්න දැකබලා ගැනීමටය. නමුත් කැඳවනු ලැබූ දිනයට තමන්ට පැමිණීමට නොහැකි බව දැන්වීම නිසා මුල් අවස්ථාවේදී ඒ ගැන දැනගැනීමට ජනතාවට තිබූ අවස්ථාව මඟහැරී ගියේය. පසුව පසුගිය අඟහරුවාදා දිනයේදී නැවත වතාවක් ඔවුන්ට මුදල් කමිටුව හමුවට පැමිණෙන ලෙස මුදල් කාරකසභාව විසින් දැනුම් දීමක් කරනු ලැබ තිබිණි.Sri Lanka Latest News
තත්ත්වය මෙසේ තිබියදී අඟහරුවාදා පෙරවරුවේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණු පණිවුඩයකින් කියැවුණේ එදින පැවැත්වෙන මුදල් කාරකසභා රැස්වීමද මගහැරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තීරණය කොට ඇති බවකි. ඔවුන් මෙම රැස්වීම මඟහැරීමට සැලසුම් කරමින් සිටින බවත්, ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් එම පණිවුඩයෙන් සජිත්ගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි. ඒ අනුව සජිත් එම පණිවුඩය ලබාදුන් තැනැත්තාට කියා සිටියේ තමන් මේ ගැන සෙවිල්ලෙන් සිටින්නම් යැයි කියාය. නමුත් සජිත් එය මුදල් කාරකසභාවේ සභාපති හර්ෂට දැනුවූවාද නැද්ද යන්න පිළිබඳ තොරතුරු නැතත් හර්ෂ එදින සවස පාර්ලිමේන්තුව හමුවේ කළ හෙළිදරව්වත් සමග මෙම නිලධාරීන් මුදල් කමිටුව හමුවට නොපැමිණෙන බව තහවුරු විය. හර්ෂ එහිදී කියා සිටියේ 2016 වසරේ සිදුකරනු ලැබ තිබූ කාර්යාල මාරුකිරීමක් හේතුවෙන් අදාළ ලිපිගොනු සොයාගැනීමට නොහැකි බව පවසමින් මෙම නිලධාරීන් මුදල් කාරකසභාව හමුවට පැමිණීමට නොහැකි බව දැනුම් දී ඇතැයි කියාය. මෙය කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක් බව පාර්ලිමේන්තුවට පෙන්වා දුන් හර්ෂ, මුදල් කාරකසභාව මගින් කැඳවීමක් කළ විට ඕනෑම අයකු ඊට සහභාගි විය යුතු බවත්, එසේ නොපැමිණි නිලධාරීන් හට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන් පසුබට නොවන බවත් පාර්ලිමේන්තුවට දැනුම්දී සිටියේය. ඒ අනුව ඉදිරි දිනෙකදී යළිත් වතාවක් මෙම නිලධාරීන් මුදල් කමිටුව හමුවට කැඳවීමට පියවර ගන්නා බවද හර්ෂ එහිදී කියා සිටියේය.
කමිටුවට ආවේ නැත්තේ ඇයි?
හර්ෂගේ මෙම අනාවරණයත් සමග පාර්ලිමේන්තුවේ බොහෝ දෙනා කතාබහට ලක්කළ කාරණයක් වූයේ මුදල් කමිටුව මගින් අසනු ලබන ප්‍රශ්න හමුවේ පිළිතුරු දීගත නොහී මෙම නිලධාරීන් මුදල් කමිටුව මඟහැරීමට කටයුතු කොට ඇති බවකි. යම් හෙයකින් මෙම ප්‍රශ්න කිරීම් හමුවේ ගනුදෙනුව පසුපස සිටින මහමොළකරුවන් කවුරුන්ද යන්න අනාවරණ වනු ඇති බවට වූ බියෙන් ඔවුන් මෙම රැස්වීම මඟහැර ඇති බවද ඇතැමුන් කියනු දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් රටම බලාසිටින්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් සහ ආගමන නිලධාරීන් මුදල් කමිටුව හමුවට පැමිණ වී.එෆ්.එස්. ගනුදෙනුව සම්බන්ධයෙන් අසනු ලබන ප්‍රශ්නවලට ලබාදෙන පිළිතුරු කුමක්දැයි කියාය.
ප්‍රබල පුතා එළියට එයි
කෙසේ වෙතත් පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කරමින් ඊට දකුණේ ප්‍රබල දේශපාලනඥයකුගේ ප්‍රබල පුතෙකු සම්බන්ධ වී ඇති බවට අනාවරණයක් කළෙමු. එහිදී අප එම දේශපාලකයාගේ හෝ පුතාගේ නම්ගම් සඳහන් කිරීමට කටයුතු නොකළද ඉකුත් සතියේ ඔවුන් කවුරුන්ද යන්න සමාජ මාධ්‍ය හමුවේ එළියට පැමිණි ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග කීර්ති රත්නායක නමැත්තකු පවත්වා තිබූ යූටියුබ් සාකච්ඡාවක් හරහාය. මෙහිදී කීර්ති රත්නායක අනාවරණ කරන්නේ මෙම වී.එෆ්.එස්. ගනුදෙනුව පසුපස සිටින්නේ වෙන කවුරුවත් නොව, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් පසඳ යාපා අබේවර්ධන යැයි කියාය. එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් වී.එෆ්.එස්. ගනුදෙනුව සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ලවා ටිරාන් අපහසුතාවට පත්වන ප්‍රශ්න විමසනු ලැබුවේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බවද මෙම සාකච්ඡාවේදී කීර්ති රත්නායක විසින් අනාවරණ කර තිබේ. මෙම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ අප කිසිවක් නොදන්නා නමුත් දැන් මෙය මාධ්‍ය හමුවේ අනාවරණ කොට ඇති නිසා ඕනෑම අයකුට එම ප්‍රකාශ වැරැදි නම් කීර්ති රත්නායකට එරෙහිව නඩු පැවරීමේ හැකියාව පවතී. නමුත් මෙම සාකච්ඡාව සිදුකොට මේ වනවිට දින ගණනාවක් ගතවී ඇති නමුත් කිසිවකුත් තවමත් එම ප්‍රකාශ අසත්‍ය බවට ප්‍රකාශ කිරීමක් හෝ ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ප්‍රකාශයක් කිසිවකු විසින්වත් සිදුකොට නොමැත. මේ අතර, පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී මාධ්‍යවේදීන් විසින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතාගෙන් මෙම වී.එෆ්.එස්. ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් සිදුකෙරිණි. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ බන්දුල ගොතගසමින් ඊට පිළිතුරු ලබාදීමය. එහිදී ඇතැම් තැන්වලදී බන්දුල ‘මම දන්නෙ නෑ’ ‘මට මතක නෑ’ ‘හොයලා බලලා කියන්නම්’ යනාදී වශයෙන් පිළිතුරු ලබාදුන්නේ දුමින්ද සිල්වාගේ අමතක වීමේ රෝගයද කාටකාටත් සිහිපත් කරවමින්ය.
බැසිල් රනිල්ට ගිය කලක්
පොහොට්ටුවේ මහමොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණීමෙන් පසු පසුගිය සතියේ 8 වැනි වතාවටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ සාකච්ඡා පැවැත්වීමට පියවර ගත්තේය. වෙනදා නම් බැසිල් – රනිල් හමුවීම මාධ්‍යවල ප්‍රධාන පුවතක් ලෙස පළවුවත් දවස ගානේ සිදුවන මෙම හමුවීම් නිසා දැන් ඊටද මාධ්‍යවල හිමිව ඇත්තේ අඩු වටිනාකමකි. නොඑසේ නම් එම හමුවීම්වලින් පසු මාධ්‍යවල පළවන්නේ එකම පුවතකි. එනම්, බැසිල් මහ ඡන්දය පවත්වන ලෙස රනිල්ගෙන් ඉල්ලූ බවත්, රනිල් එය ප්‍රතික්ෂේප කොට ඇති බවත්ය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මුල සිටම සිටියේ පළමුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවට වූ ස්ථාවරයේය. මීට පෙර අවස්ථා කිහිපයකදීම අපද ජනාධිපතිවරයාගේ මෙම ස්ථාවරය ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කිරීමට පියවර ගත්තෙමු. ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේද ජනාධිපතිවරයාට ඉතා හිතවත් පුද්ගලයන් හතර පස් දෙනකු සහ ජනාධිපතිවරයා අතර පැවැති අතිශය රහසිගත සාකච්ඡාවකදී පළමුව පවත්වන මැතිවරණය සම්බන්ධයෙන් ගැනීමට නියමිත තීන්දුව පිළිබඳ සාකච්ඡා වී ඇති බව පැවැසේ. මෙහිදී ජනාධිපතිවරයා පළමුව ජනාධිපතිවරණය පැවැත්වීමේ ඇති වාසිය සහ පළමුව මහ මැතිවරණය පැවැත්වීමේ අවාසිය සිය හිතවතුන්ට පෙන්වා දීමට පියවර ගෙන ඇත.
මෙන්න තියෙන වාසි අවාසි
‘බැසිල් ආපු හැම වෙලාවෙම මට කියන්නේ මහ ඡන්දයක් තියන්න කියලා. හැබැයි මම තීන්දු කරලා තියෙන්නේ ඉස්සෙල්ලාම ජනාධිපතිවරණයට යන්න. මොකද ජනාධිපතිවරණයකදී ලොකුම වාසිය තියෙන්නේ උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් සුළු ජාතික ඡන්දවල. එතැනින් තමයි ජනාධිපතිවරණයේ වැඩි වාසි ගන්න පුළුවන්. මහ ඡන්දෙකට කලින් ගියොත් මේ සුළු ජාතික ඡන්ද බෙදෙනවා. සුළු පක්ෂ සීසීකඩ යනවා. ඒ ඡන්ද ටික විසිරිලා යනවා. එහෙම කළොත් ආයෙමත් මට ඒ ඡන්ද ටික ජනාධිපතිවරණයකදී එකතු කරගන්න හරි අමාරුයි. ඒ නිසයි මම මුලින්ම ජනාධිපතිවරණය තියන්න තීන්දු කරලා තියෙන්නේ. මොකද මහ ඡන්දේ තිබ්බා කියලා අපිට ඒකේ වාසියක් එන්නේ නෑ.’ යනුවෙන් එහිදී ජනාධිපතිවරයා සිය හිතවතුන්ට දැනුම් දී තිබේ.
මීට පෙර අප ‘රාජ්‍ය රහස්’ තීරයේම ජනාධිපතිවරයාගේ මෙම උපක්‍රමය පිළිබඳ කිසියම් ඉඟියක් ලබාදීමට පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ජනාධිපතිවරයා තමන්ට හිතවත් කිහිප දෙනකුටම සජබය සමග සිටින දෙමළ, මුස්ලිම් නායකයන් ගලවා තමන් වෙත රැගෙන එන ලෙසට කොන්ත්‍රාත්තුවක් බාරදී ඇති බවය. විශේෂයෙන්ම හකීම්, රිෂාඩ් සහ මනෝ ගනේෂන් සජබයෙන් ඉවත් කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසට ජනාධිපතිවරයා එහිදී සිය හිතවතුන්ට සඳහන් කොට තිබුණු බවක් අපි වාර්තා කළෙමු. ජනාධිපතිවරයා එසේ සඳහන් කොට තිබුණේම ඉදිරි ජනාධිපතිවරණයේ වාසිය මොවුන් හරහා තමන්ට ලබාගත හැකි බව වටහාගෙන තිබූ නිසාය.
බැසිල් ලෑස්ති වෙයි
ජනාධිපතිවරයා මේ ආකාරයට ඉදිරි උපාය උපක්‍රම තෝරද්දී බැසිල්ද ඕනෑම මැතිවරණයක් ඉලක්ක කරගෙන මේ දිනවල උපාය උපක්‍රම තෝරමින් සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව බැසිල් පසුගිය සතියේදී බත්තරමුල්ලෙදී පොහොට්ටුවේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ආරම්භ කිරීමට පියවර ගත්තේය. එමෙන්ම මේ වන විට බැසිල් තීන්දු කොට ඇත්තේ ලබන 26 වැනි දින ශ්‍රීමහා බෝධිය සහ රුවන්මැලිසෑය වැඳපුදාගෙන අනුරාධපුරයෙන් පොහොට්ටුවේ ඡන්ද සටන පටන් ගැනීමටය. මෙසේ බැසිල් ඡන්ද සටන ආරම්භ කරන්නේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම ඉලක්ක කරගෙනය.
මේ ආකාරයට ජනාධිපතිවරණය පළමුව පැවැත්වුවහොත් පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් ඊට ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් කරනවාද, නොඑසේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙනවාද යන්න පිළිබඳ මේ වන විට පක්ෂය ඇතුළේ ඇත්තේ විශාල කතාබහකි. ධම්මික නම් දැනටමත් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇති අතර, ජනාධිපතිවරයාද තමන්ට සහාය ලබාදෙන ලෙස පොහොට්ටුවෙන් ඉල්ලීමක් කර තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවලදීද, පක්ෂය ඇතුළේ පැවැති සාකච්ඡාවලදීද බැසිල් පැහැදිලිවම දැනුම් දී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පොහොට්ටුවට හෝ රනිල්ට කිසිසේත්ම ජයග්‍රහණය කළ නොහැකි බවකි. එමෙන්ම දැනට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන්ම සිටින බවද බැසිල් මේ සෑම අවස්ථාවකදීම පැහැදිලිවම ප්‍රකාශ කොට අවසානය.
ධම්මික රනිල් එකට එයිද?
එසේ තිබියදී පසුගිය 10 වැනිදා හදිසියේම ජනාධිපතිවරයාත්, ධම්මික පෙරේරාත් එකට නෙලුම් පොකුණේ උත්සවයකට සහභාගි වී සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ, ධම්මික පෙරේරාගේ ඩී.පී. එඩියුකේෂන් ආයතනය විසින් සංවිධාන කර තිබූ උත්සවයකදීය. එම උත්සවයේදී ජනාධිපතිවරයා ධම්මිකව මහත් ඉහළින් වර්ණනා කළ ආකාරයක්ද දැකගත හැකි විය. එසේ නම් ජනාධිපති අපේක්ෂකයා නම්කිරීම කට උඩ තිබියදී හදිසියේම රනිල් සහ ධම්මික එකට උත්සවයක අසුන්ගෙන සිටියේ තවත් දේශපාලන පෙරළියක ආරම්භයක් සනිටුහන් කරමින්ද?
මෙම සිදුවීම දුටු බොහෝ දෙනා කියා තිබුණේ රනිල්ට හෝ ධම්මිකට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම හරහා පොහොට්ටුව සිදුවිය හැකි බෙදීම වළකා ගැනීමට බොහෝ දුරට ධම්මික සහ රනිල් ජනපති – අගමැති අපේක්ෂකයන් ලෙස නම්කිරීම හරහා මැතිවරණයට ඉදිරිපත් කරවීමේ යෝජනාවක් පොහොට්ටුව පැත්තෙන් ඒමට ඉඩක් ඇති බවකි. එසේ වුවහොත් නව මුහුණක් ලෙස ධම්මිකව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කොට රනිල් අගමැති අපේක්ෂකයා කොට ව්‍යවස්ථාව හරහා රනිල්ට වැඩි බලතල ලබාදීමේ යෝජනාවක්ද මේ හරහා ඉදිරිපත් වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. ධම්මික හා රනිල් එකම වේදිකාවක දැකගන්නට ලැබීම එහි පෙරහුරුවක් බව ඔවුන්ගේ මතය වී ඇත.
ධම්මිකගේ උත්තරේ
කෙසේ වෙතත් මේ ධම්මික රනිල් සුසංයෝගය පිළිබඳ ඉව වැටී තිබූ බොහෝ දෙනා ඒ පිළිබඳ බැසිල්ගෙන් සහ ධම්මිකගෙන් ඒ පිළිබඳ විමසා සිටීමට පසුගිය සතියේ කටයුතු කොට තිබිණි. එහිදී ධම්මිකගේ පැත්තෙන් ඒ පිළිබඳ විමසීමේදී පිළිතුරු ලෙස ලැබී තිබුණේ ධම්මික කිසිසේත්ම අගමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් නොවනු ඇති බවකි. ජනාධිපති අපේක්ෂකයා ලෙස ධම්මික ඉදිරිපත් වීමටත්, අගමැති අපේක්ෂකයා ලෙස රනිල්ව නම්කිරීමේ ගැටලුවක් ධම්මිකට නොමැති බවත් ඔහුගේ පැත්තෙන් කියවෙන බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. යම් හෙයකින් පොහොට්ටුව එම තීන්දුව ගතහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ තුරුම්පු අලුත් වන ආකාරයක් දැකගැනීමට තිබේ. එසේ වුවහොත් පක්ෂය ඇතුළේ බෙදීම වළක්වා ගෙන ඉදිරියට යෑමේ ඉඩකඩක් ඇති බව බොහෝ දෙනාගේ මතය වී ඇත. නමුත් රනිල් පොහොට්ටුවේ අගමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට කැමැති වේද යන්න පිළිබඳව මෙතෙක් කිසිවක් ප්‍රකාශයට පත්ව නොමැත.
ජනාධිපතිවරු 4 දෙනෙක්
මේ අතර, ජනාධිපතිවරණ ඡන්ද සටනට ඉදිරිපත්ව සිටින අලුත්ම අපේක්ෂකයා වන විජයදාස රාජපක්ෂ මහතාද මේ දිනවල පුවත් මවන්නකුගේ චරිතයට පිවිස තිබේ. පසුගිය සතියේ ශ්‍රීලනිප සභාපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු දුමින්ද දිසානායක විසින් එම පත්වීමට එරෙහිව වාරණ නියෝගයක් ඉල්ලා දිසා අධිකරණය හමුවට ගියද එම වාරණ නියෝගය ලබාදීම දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. කෙසේ වෙතත් පසුගිය සතියේ විජයදාසගේ දෙවැනි පුතාගේ මංගල්‍යය කොළඹ සුපිරි හෝටලයක පැවැති අතර, ඊට ජනාධිපතිවරුන් හතර දෙනකු එක්ව සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ, මහින්දත්, මෛත්‍රීපාලත්, ගෝඨාභයත්, රනිලුත්ය. ඔවුන් සියලු දෙනාම එකම මේසයක අසුන්ගැන්වීමටද විජයදාස කටයුතු කොට තිබිණි.
ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුගේ දියණියකගේ අත ගත් විජයදාසගේ පුතාගේ මංගල්‍යයේදී තවත් අපූරු සිදුවීමක්ද සිදුවිය. ඒ, නාමල් රාජපක්ෂ මුල් කරගෙනය. නාමල් සිටියේ රනිල්, මහින්ද, මෛත්‍රී, ගෝඨා සිටි මේසයට තරමක් ඈතින් වන්නට තිබූ මේසයකය. මෙහිදී බොහෝ දෙනා නාමල් ළඟට පැමිණ ඔහුත් සමග වත්මන් දේශපාලනය ගැන කතාකරද්දී නාමල් ඉතා දැඩිව ජනාධිපතිවරයා විවේචනය කරමින් අදහස් දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා ලෙස පත්කිරීමෙන් පසු පොහොට්ටුවට සිදුකළ අසාධාරණයන් සහ කෙනෙහිලිකම් පිළිබඳ නාමල් මෙහිදී ජනාධිපතිවරයා දෙසට අත දිගුකරමින් දොස් පැවරූ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
රනිල් නාමල්ට කියපු දේ
කෙසේ වෙතත් නාමල් සමග කතා කළ පිරිසේ සිටි අයෙක් මොහොතක් යෑමට මත්තෙන් මේ බව ජනාධිපතිවරයාගේ කනේ තැබීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ඊට පසු දිනම ජනාධිපතිවරයා නාමල්ට දුරකතන ඇමතුමක් ලබාදෙමින් පළමුව ආගිය තොරතුරු විමසා ඒ පිළිබඳ විමසා සිටීමටද පියවර ගත්තේය.
‘මොකද මේ ඔයා මට හැම තැනදිම බණිනවා කියන්නේ?’ යනුවෙන් සිනාසෙමින් ජනාධිපතිවරයා විමසද්දී නාමල්ද පුදුමයට පත්ව සිනාසෙමින්ම ඊට පිළිතුරු ලබාදීමට පියවර ගත්තේය. එහිදී නාමල් ජනාධිපතිවරයාට කියා සිටියේ පළමුව මහ මැතිවරණයකට යෑම සියල්ලන්ටම වාසිසහගත වනු ඇතැයි කියාය. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට නොහැකි බවත්, එසේ වුවහොත් පොහොට්ටුවට විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් මෙහිදී නාමල් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බවක් ආරංචිය.
කෙසේනමුත් මේ ඇමතුම ගැන දන්නා බොහෝ දෙනෙක් කියා සිටින්නේ ජනාධිපතිවරයා නාමල්ට මෙසේ කතාකොට තිබුණේ දේශපාලනය ගැන කතාකරන්නට හෝ ආගිය තොරතුරු ගැන කතාකරන්නට නොව නාමල් තැන් තැන්වලදී තමන්ට බණිනා බව නාමල්ට ඇඟවීම සඳහා යැයි කියාය. එමෙන්ම නාමල් කතාබහ කරන පිරිස් සමග තමන්ටද සම්බන්ධකම් ඇති බව පෙන්වීමට බවත්, නාමල් කියන දේ ගැන අවට සිටින ඔහුගේම හිතවතුන් තමන්ටද දැනුම් දෙන බවත් නාමල්ට ඒත්තු ගන්වන්නට යැයි කියාය.
සජබෙන් එනවා
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පුටුවේ වාඩිවූ දින සිටම ඔහුගේ පවුලේ පුවත්පත් හරහා මෙන්ම අනෙකුත් සියලු මාධ්‍ය හරහා ගෙනගිය විශාල පුවතක් වූයේ සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා සජිත් අතහැර ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටිනවා කියාය. අවස්ථා ගණනාවකදීම මෙම පුවත මාධ්‍ය ඔස්සේ පළකෙරුණු අතර, ඇතැම් අවස්ථාවලදී සජබෙන් මන්ත්‍රීවරු 30ක් 40ක් ආණ්ඩුව සමග එකතු වීමට නියමිත බවද කියවිණි. පසුගිය අයවැය අවස්ථාවේදීද ආණ්ඩුව විශාල ප්‍රචාරයක් ගෙන යමින් සජබෙන් මන්ත්‍රීවරු 30ක් පමණ අයවැයට පක්ෂව ඡන්දය දීමට සූදානමින් සිටින බව කියා සිටියේය. නමුත් කිසිදු සජබ මන්ත්‍රීවරයෙක් අයවැයට පක්ෂව ඡන්දය දුන්නේ නැත. පසුගිය මැයි දින රැලියට සජබෙන් විශාල පිරිසක් එජාප වේදිකාවට ගොඩවනු ඇති බව රංගේ බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු වැන්නවුන් කියා සිටියද කිසිවකුත් එජාප වේදිකාවට ගොඩවූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. එහිදී මැයි දිනයට එජාප වේදිකාවට ගොඩවන බවට පොරොන්දු දී තිබූ ඇතැම් සජබ මන්ත්‍රීවරුන් ඊට දින කිහිපයකට පෙර රටින් පිටවූ ආකාරයක් දැකගන්නට ලැබිණි. සමහර මන්ත්‍රීවරු රෝහල්ගත වූහ. තවත් සමහරු කියා සිටියේ තමන්ට කර ඇති ශල්‍යකර්ම තවම සුවවී නැතැයි කියාය.
කෙසේ වෙතත් සජබෙන් අච්චරක් එනවා, මෙච්චරක් එනවා යනුවෙන් කළ ප්‍රකාශ හා පළවූ පුවත් මේ වන විට අවසන් අදියර දක්වා පැමිණ ඇති බවක් පෙනී යන්නේ ජනාධිපතිවරණ උණුසුම ආරම්භ වීමත් සමගය. ආණ්ඩුව පැත්තෙන් සිතා සිටියේ පසුගිය කාලය පුරා ජනාධිපතිවරයා සමග සමීපව ඇසුරු කරමින්, ගනුදෙනු කරමින්, වරප්‍රසාද ගත් ඇතැම් සජබ පිරිස් ඉතා තීරණාත්මක අවස්ථාවකදී සජබය සහ සජිත් අතහැර ආණ්ඩුව සමග එකතු වනු ඇතැයි කියාය. අප මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අවස්ථා ගණනාවකදීම සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම එසේ ජනාධිපතිවරයා රෑට රෑට හමුවෙමින් යම් යම් ඩීල් දැමූ ආකාරයද වාර්තා කර සිටියෙමු. ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ නිල කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා හමුවූ අවස්ථා අපි මෙම තීරයේ වාර්තා කළෙමු. ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා නුවරඑළි ගිය අවස්ථාවලදී පවුල් පිටින් නුවරඑළි ගොස් ජනාධිපතිවරයා සිටි හෝටලයට යාබද හෝටල්වල නැවතී ජනාධිපතිවරයා සමග ගනුදෙනු කළ ආකාරය අපි පෙන්වා දුන්නෙමු. සමහරු බාර් ලයිසන් ලබාගැනීමට, විමධ්‍යගත අරමුදල් ලබාගැනීමට කළ රහස් සාකච්ඡා අපි ‘රාජ්‍ය රහස්’ තීරයේ පළ කළෙමු. ඒ අනුව බොහෝ දෙනා සිතා සිටියේ ජනාධිපතිවරයාගෙන් වරප්‍රසාද ගත් මේ සුලු පිරිස තීරණාත්මක අවස්ථාවකදී සජබ අතහැර ආණ්ඩුව සමග එකතු වනු ඇතැයි කියාය.
කනපිට පෙරළුණු හේතුව
නමුත් මේ තත්ත්වය කනපිට පෙරලුනේ පසුගිය මාස දෙක තුන තුළ ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් නිකුත් වුණු පිළිගත හැකි ජාත්‍යන්තර මට්ටමේ මත විමසුම් මුල්කරගෙනය. ප්‍රධාන පෙළේ කවුරුත් පිළිගන්නා එක්තරා ආයතනයක් මගින් මෙන්ම ඔත්තු සේවා මගින් සිදුකර තිබූ සියලු මත විමසුම්වලින් අනාවරණ කොට තිබුණේ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් 40% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවකි. අනුර 20%ක ප්‍රතිශතයක්ද, පොහොට්ටුව 10%ක ප්‍රතිශතයක්ද, එජාපය 5%ක ප්‍රතිශතයක්ද ලබාගනු ඇති බව එම මත විමසුම් මගින් අනාවරණ කොට තිබිණි. ඒ ප්‍රතිපලයත් සමගම සජබෙන් ආණ්ඩුව සමග ඩීල් දැමූ මන්ත්‍රී කණ්ඩායම අඩිය පසුපසට ගත් ආකාරයක් දැකගන්නට ලැබිණි.
ඉරාන්ගේ කාර්යාලයේ සාකච්ඡාවක්
කෙසේ වෙතත් ජනාධිපතිවරණ උණුසුම ඇඟට දැනෙන්නට පටන් ගැනීමත් සමග ආණ්ඩුව සමග ඩීල් දමාගෙන සිටි මේ සජබ කණ්ඩායම හට දිගින් දිගටම පණිවුඩ ලැබෙන්නට පටන්ගෙන තිබුණේ, ‘දැන් වෙලාව හරි… රනිල් එක්ක එකතු වෙන්න ලෑස්ති වෙන්න…’ යැයි කියාය. මේ බලපෑම ආණ්ඩුව පැත්තෙන් එන්න එන්න වැඩිවීමත් සමග සජබ මන්ත්‍රී කණ්ඩායමක් පසුගිය සතියේදී ඉරාන් වික්‍රමරත්න මහතාගේ පොල්හේන්ගොඩ පිහිටි කාර්යාලයේ හමුවීමට පියවර ගත්හ. මෙම සාකච්ඡාව සඳහා සජබ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනු ලැබුවේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධනය. සාකච්ඡා සඳහා ආරාධනා ලැබුණු පිරිස අතර හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, රාජිත සේනාරත්න, ජේ.සී. අලවතුවල, අජිත් මාන්නප්පෙරුම, රෝහිණී කවිරත්න, මයන්ත දිසානායක යන අය වූහ. සාකච්ඡාවට ආරාධනා කරද්දීම ඇතැම් මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවේ යටි අරමුණ කුමක්ද කියා පැහැදිලි වූ නමුත් අරාධනාවට අනුව ඊට සහභාගි වී සිටිය නොහැකි නිසා ඊට එක්වූ මන්ත්‍රී කණ්ඩායමක්ද මෙහි නොසිටියා නොවේ.
මීට මාස එකහමාරකට පමණ ඉහතදී මේ ආකාරයටම එක්තරා ප්‍රකට ව්‍යාපාරිකයකුගේ නිවෙසේ මෙවැනිම සාකච්ඡාවක් සංවිධාන කළ සජබ මන්ත්‍රීවරයකු ඊට සජිත්ට පමණක් නොව ජනාධිපතිවරයාටද ආරාධනා කිරීමට පියවර ගත් බවක් අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළෙමු. ඒ, ජනාධිපති හා සජිත් අතර සම්බන්ධයක් ගොඩනැගීම සඳහා බව පෙන්වා දුන් අප ඊට සජබ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කළ බව සඳහන් කළෙමු. අවසානයේදී සජිත් එම සාකච්ඡාවට එක් නොවූ බවද, ඊට එක්ව සිටියේ ආරාධනා කළ මන්ත්‍රීවරයාගේ ඥාතීන් වූ ජේ.සී අලවතුවල හා සුජිත් සංජය පෙරේරා පමණක් බවද අපි එහිදී වාර්තා කර සිටියෙමු.
හර්ෂලා තද තැනක
කෙසේ වෙතත් ඉරාන්ගේ නිවෙසේ පැවැති සාකච්ඡාවට ආරාධනා කළ සියලු මන්ත්‍රීවරුන් එක්ව සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. ආණ්ඩුව සමග එක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හමුව පැවැත්වුණද මෙහිදී දැකගන්නට ලැබුණු හොඳම දෙය වූයේ හර්ෂ – ඉරාන් – කබීර් යන තිදෙනාම ඉතා දැඩිව ජනාධිපතිවරයා සමග එක්ව දේශපාලනය කළ නොහැකි බව කියා සිටීමයි.
‘රනිල් එක්ක එකතු වෙලා අපිට දේශපාලනය කරන්න බෑ. ආණ්ඩු කරන්නත් බෑ. අපි ගිය ඡන්දෙදී මිනිස්සුන්ට කියපු දේවල් තියෙනවා. රනිල් එක්ක බෑ කියලා තමයි අපි එතැනින් එළියට බැහැලා සජබය හැදුවේ. ඉතින් අපිට ආපහු ගිහින් රනිල් එක්ක එකතු වෙලා ආණ්ඩු කරන්න බෑ…’ යනුවෙන් හරෂ – ඉරාන් – කබීර් පැහැදිලිවම පෙන්වා දෙද්දී රාජිත, අජිත් මාන්නප්පෙරුම වැනි දෙතුන් දෙනකු පමණක් ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කළ යුතු බවට අදහස් දැක්වූ බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාව පවත්වා පැය 2ක් යෑමට මත්තෙන් එහි සියලු තොරතුරු සජිත්ගේ කනට වැටිණි. නමුත් සජිත් ඒ කිසිවකින් කලබලයට පත්වූයේ නැත. කාගෙන්වත් ඒ පිළිබඳ අහන්න ගියේත් නැත. නමුත් ඊට පසු දිනම උදේ කබීර් පැමිණ සජිත් හමුවී මෙවැනි සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදී මේ මේ කරුණු සාකච්ඡා වූ බවත්, මේ මේ අය මේ මේ අදහස් ප්‍රකාශ කළ බවත් සජිත්ට දැනුම් දී සිටියේය.
රාජිතත් ඇවිත්
කබීර් පමණක් නොව සාකච්ඡාවට සහභාගි වී ජනාධිපතිවරයා සමග එකට යා යුතු බවට දැඩි ස්ථාවරයක සිටි රාජිත පවා ඊට පසුදින පැමිණ සජිත් හමුවීමට පියවර ගත්තේය. ඒ වනවිට සාකච්ඡාවේ සිටි බොහෝ දෙනා ආණ්ඩුවට එකතු නොවන බවත්, යනවා නම් යන්නේ ජනාධිපතිවරයා සමග ලොකු ලොකු ඩීල් දැමූ කිහිප දෙනකු පමණක් බවත් වැටහී ගොස් තිබුණු නිසා සජිත්, රාජිත සමග කතා කළේම ආණ්ඩුවට ගියාට කමක් නෑ යන ස්ථාවරයේ සිටය.
‘රාජිත ඔයා ආණ්ඩුවට යනවා නම් යන්න. ඒකට කමක් නෑ. හැබැයි ඉන්නවා නම් පක්ෂය ඇතුළේ ඉන්න විදියට ඉන්න’ යනුවෙන් එහිදී සජිත් රාජිතට කියා සිටියේ ඒ නිසාමය. අනෙක එසේ පැවැසීමට සජිත්ට තවත් හේතුවක් වී තිබිණි. ඒ, පසුගිය දවසක රාජිත රවී කරුණානායක සමග එකට වාඩිවී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම නිසාය. එහිදී සජිත්ට දිගින් දිගටම ලැබී තිබුණු දුරකතන ඇමතුම්වලින් කියැවුණේ එජාපයෙන් මන්ත්‍රීවරුන් ඉවත්ව සජබය නිර්මාණය කළේ බැඳුම්කර වංචාව ඇතුළු චෝදනා රැසක් එජාප ප්‍රධානීන්ට එල්ල වීම නිසා බවත්, නැවතත් ඒ චෝදනාවන්ට ලක්වූ පිරිස් සමග දේශපාලනය කරන්නේ නම් එජාපයේත්, සජබයේත් වෙනසක් නැති බවත්ය. එම නිසා වහාම රාජිතට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, රාජිතට ආණ්ඩුවට යෑමට අවශ්‍ය නම් යෑමට ඉඩහරින ලෙසත් සජිත්ට කතා කළ ඒ සියලු දෙනා දැනුම් දී සිටියහ.
ඒ අනුව සජිත් අවශ්‍ය නම් ආණ්ඩුවට යන ලෙසට රාජිතට කියා සිටියද රාජිත එහිදී සජිත්ට කියා සිටියේ මාර කතාවකි.
‘අපොයි මම ආණ්ඩුවට යන්නෙ නෑ. මම කියන්නේ යූ.ඇන්.පී. එකයි, සජබයයි එකතු වෙන්න ඕනෙ කියලා විතරයි. එහෙම එකතු වෙන්නේ නැතිනම් මම ඔබතුමා වෙනුවෙන් රට වටේ ගිහින් ජනාධිපති පුටුවේ වාඩිකරවන්න වැඩ කරනවා… ’යන්න රාජිත එහිදී සජිත්ට කී කතාවය.
මයන්තට ලොකු තැනක්
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට එක්ව සිටි මයන්ත දිසානායක සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ කරුණක් මතක් කළ යුතුව තිබේ. ඒ, ඒ වන විටත් මයන්ත හා සජිත් අතර විශේෂ සාච්ඡා වට ගණනාවක් පැවැත්වී තිබීම සම්බන්ධයෙනි. මෙම සාකච්ඡාවලදී මයන්ත සජිත්ගෙන් ඉල්ලා තිබුණේ තම පියා සංවිධායක ධුරය දැරූ නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණෙන ලෙසට තමන්ට විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ලැබී ඇති බවත්, හැකි නම් තමන්ට සිය පියා තරග කළ ආසනය ලබාදෙන ලෙසත්ය. මයන්තගේ එම ඉල්ලීමට කන් දුන් සජිත් අවසානයේදී තීන්දු කළේ දැනට මයන්ත සංවිධායක ධුරය දරන නුවර කුණ්ඩසාලෙන් ඔහුව ඉවත් කොට නුවරඑළිය ඔහුට ලබාදීමටය. එපමණක් නොව නුවරඑළිය දිස්ත්‍රික් නායකත්වයද මයන්තට ලබාදීමට සජිත් තීන්දු කිරීමද විශේෂ සිදුවීමක් විය.
මන්ත්‍රී රැස්වීම රත්වෙයි
මේ අතර, පසුගිය සඳුදා පැවැති සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද ඉරාන්ගේ ගෙදර පැවැති රැස්වීම පිළිබඳවත්, කාවින්ද ජයවර්ධනගේ ආරාධනාවෙන් මෙම රැස්වීම පැවැත්වී ඇති බවටත් වූ තොරතුර සම්බන්ධයෙන් යම් කතාබහක් මතුවිය. මෙහිදී මන්ත්‍රීවරුන් බොහෝ දෙනා චෝදනා කර සිටියේ කාවින්ද ආණ්ඩුවෙන් වරප්‍රසාද රැසක් ගෙන ඇතැයි කියාය.
‘මේ මීටිමේදී කියවිලා තියෙනවා රනිලුයි සජිතුයි එකතු කරන්න ඕනේ කියලා. හැබැයි හැමෝම දැනගන්න ඕනේ අපි යූ.ඇන්.පී. එකෙන් එළියට බැස්සේ රනිල් එක්ක වැඩ කරන්න බැරි හින්දයි. රනිල් එක්ක දිනන්න බැරි හින්දයි. අපි පැරදුණේ රනිල්ටයි යූ.ඇන්.පී. එකටයි දෙකටම බැඳුම්කර වංචාවේ ලේබලය වැදිලා තිබ්බ හින්දා. රනිල් කොහොම හරි ජනාධිපති වුණේ පොහොට්ටුවේ පිහිටෙන්. දැන් රනිල්ලා රකින්නේ පොහොට්ටුවයි මහින්දලාවයි. ඒ නිසා ගමේ මිනිස්සුන්ට දැන් රනිල්ව එපාවෙලා තියෙන්නේ. එදා අපිට දිනන්න බැරි වුණේ රනිල්ටයි යූ.ඇන්.පී. එකටයි වැදිච්ච මහබැංකු වංචාව හින්දා. ඒ නිසා මිනිස්සු අපිව ප්‍රතික්ෂේප කළා. ඒ හින්දා අපි ආපහු රනිල් එක්ක ගියොත් අපිට දැනට තියෙන 40%ක ඡන්ද ප්‍රතිශතය 20%ට වැටෙනවා. ගම්වල මිනිස්සුන්ට ඒ තරමටම රනිල්ව එපාවෙලා තියෙන්නේ. ඒ හින්දා අපි කියන්නේ රනිල් ගාවට යන්න ඕනේ කියන අය යන්න කියලා. අපි දැන් අලුත් පක්ෂයක්. අපි ළඟ හොරු නෑ. මිනීමරුවෝ නෑ. ඩීල් දාන අය නෑ. රටම පිළිගන්න වැදගත් මිනිස්සු අපි ගාව ඉන්නවා…’ යනුවෙන් මන්ත්‍රීවරුන් කියද්දී ඒ සියල්ල අසා සිටි සජිත් කියා සිටියේ තමන් කිසිසේත්ම රනිල් සමග එකතු වීමට කටයුතු කරන්නේ නැතැයි කියාය.
අනුර-මලික් හමුවුණාද?
පසුගිය සතියේදී ඇමෙරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියේය. එහිදී ඩොනල්ඩ් ලූ ජනාධිපතිවරයා මෙන්ම විපක්ෂ නායක සජිත්ද, ජවිපෙ නියෝජිතයන්ද මුණගැසීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලින් අනතුරුව ඒ ඒ පක්ෂවලින් ඊට අදාළ ඡායාරූපද මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබිණි. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ජවිපෙ සමග ඩොනල්ඩ් ලූ මහතා පැවැති සාකච්ඡාවේදී ඊට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගි වී නොසිටීමය.
මෙවැනි අතිශය වැදගත් රාජ්‍යතාන්ත්‍රික හමුවකදී අනුර ඊට සහභාගි නොවීම සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ මතුව තිබුණේ මහත් විමතියකි. අනුර හදිසියේම යළිත් වතාවක් විදෙස්ගත වුණාද, නොඑසේ නම් අනුර ලංකාවේ සිටියාද, එසේ නම් අනුර මෙම හමුවට සහභාගි නොවුණේ ඇයි යනාදී වශයෙන් ප්‍රශ්න රාශියක් එහිදී පැනනැගී තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව බොහෝ දෙනා අනුරට සිදුවූයේ කුමක්ද යන්න සොයා බැලීමට පියවර ගත්හ. එහිදී ඔවුන්ට දැනගන්නට ලැබුණේ අනුර ලංකාවෙන් පිටව ගොස් නැති බවත්, හදිසියේම කොළඹින් දුරබැහැර ප්‍රදේශයකට ගොස් ඇති බවත්ය. ඒ අනුව හදිසියේම අනුර ගියේ කොහේද?
ඒ පිළිබඳ සොයා බලද්දී දැනගන්නට ලැබුණේ අනුර හදිසියේම මහනුවරට ගොස් මහානායක හිමිවරුන් හමුවී ඇති බවය. එමෙන්ම ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ අනුර මහනුවරදී රනිල්ගේ සමීපතම හිතවතකු හමුවී අතිශය රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි කියාය. ඇතැම් වෙබ් අඩවිවල සඳහන් කොට තිබුණේ අනුර මහනුවරදී මලික් සමරවික්‍රම සමග සාකච්ඡා කොට ඇතැයි කියාය. මේ කතාවල ඇත්ත නැත්ත කුමක්ද යන්න පැහැදිලි නැතත් අනුර දින දෙකක් කොළඹ නොසිටි බව නම් හොඳහැටි පැහැදිලිය.










