ආණ්ඩුවට ගිනි පත්තු වෙයි!
ආණ්ඩුවෙන් සජිත්ට ආපු පාටි කෝල් එක!
මහින්දානන්දයි -මායාදුන්නයි ගහගන්න ලෑස්ති වෙයි!
මුලින්ම එන්නෙ ජනාධිපතිවරණය!
වැට් එකෙන් ෆ්ලැට්
ආණ්ඩුව පැනවූ 18%ක වැට් බද්ද හේතුවෙන් 2024 වර්ෂය ආරම්භයේදීම ජනතාවට තරු විසිවනු ඇති බව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ පමණක් නොව ආර්ථික විශ්ලේෂකයන්ගේද මතය වී ඇත. ඒ සියලු දෙනාම පෙන්වා දෙන්නේ පෙට්‍රල්, ඩීසල්, ආහාරපාන ඇතුළු මෙතෙක් බදු අය නොකළ භාණ්ඩ කාණ්ඩ 97කට අලුතින් බදු පැනවීම හේතුවෙන් ජනවාරි මාසයේ සිට ජනතාවට දැරිය නොහැකි ආකාරයට බඩු මිල ඉහළ යනු ඇති බවත්, ව්‍යාපාර ආයතන විශාල වශයෙන් බිඳ වැටීමේ අවදානමකට ලක්වනු ඇති බවත්ය. ඒ කෙසේ වෙතත් ආණ්ඩුව විසින් මේ වැට් බද්ද සඳුදා දිනයේ සම්මත කරගැනීම පසුපස කවුරුත් නොදත් ඉතා රසවත් කතාවක් තිබේ. මෙවර අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ පළමුවරට රටට අනාවරණය කරන්නේ වැට් බද්ද සම්මත කරගැනීම පසුපස සඟව තිබූ ඒ රසවත් කතාවය.Sri Lanka Latest News
ආණ්ඩුවේ මන්ත්‍රීවරුත් විරුද්ධයි!
මතුව ඇති ආර්ථික පීඩනය හමුවේ තවත් අතිරේක බරක් ජනතාව පිට පැටවීම හේතුවෙන් විපක්ෂයේ පමණක් නොව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ද වැට් බද්ද වැඩිකිරීමට විරෝධය පළකරන බව කල් තියාම දැන සිටි ආණ්ඩුවේ ප්‍රධානීන් ආණුඩ පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් නොපවත්වා පක්ෂ නායක රැස්වීමක් පමණක් තබා වැට් බද්ද 18% දක්වා ඉහළ දැමීමේ යෝජනාව සම්මත කරගැනීමට විශේෂ පාර්ලිමේන්තු සභාවාරයක් පසුගිය ඉරිදා දින යොදාගැනීමට පියවර ගෙන තිබිණ. සාමාන්‍යයෙන් යුද්ධය පැවැති කාලයේදී පවා ඉරිදා දිනයේ පාර්ලිමේන්තුව රැස්කොට නොමැති වුවද අඟහරුවාදා (12) දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව රැස්වීමට නියමිතව තිබූ බැවින් ඉරිදා දිනයේදීම වැට් බද්ද වැඩිකොට මූල්‍ය අරමුදලට පෙන්වීමේ අවශ්‍යතාව නිසා මෙසේ ඉරිදා දිනයට පාර්ලිමේන්තුව කැඳවීම ආණ්ඩුවේ අරමුණ වී තිබිණි.
ආණ්ඩුවේ මන්ත්‍රීවරු නෑ!
ඒ අනුව ඉරිදා දින පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්ව මේ පිළිබඳ විවාදය ආරම්භ කිරීමට පියවර ගත් නමුත් මොහොතක් ගතවෙද්දී ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරු සංඛ්‍යාව 12කට ආසන්න බව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පෙනී ගියේය. මුලින්ම මෙම කරුණ නිරීක්ෂණය වූයේ ජානිපෙ නායක විමල් වීරවංශටය. විපක්ෂයේ ඒ වන විට මන්ත්‍රීවරු 40කට ආසන්න පිරිසක් සිටියද ඔවුන් සභාගැබෙන් ඉවත් වුවහොත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමේ ඝනපූර්ණය නොමැති බව විමල්ට වහා වැටහිණි. ඒ අනුව විමල් කළේ හීන් සීරුවේ ඒ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට දැනුම් දීමය. විමල්ගේ දැනුම්දීමෙන් පසු ආණ්ඩු පක්ෂය දෙස බලද්දී කිරිඇල්ලටද දැකගන්නට ලැබුණේ විවාදය ආරම්භ වී තරමක් වේලා ගතවී තිබුණද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනකු පමණක් තැනින් තැන අසුන්ගෙන සිටින බවත්, ඒ වන විටත් අගමැති දිනේෂ්, සභානායක සුසිල් සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න යන තිදෙනාම ආසනවල නොමැති බවත්ය. ඒ අනුව වහාම මෙහෙයුම සියතට ගත් කිරිඇල්ල ඒ බව ඒ වන විටත් තමා අසල අසුන්ගෙන සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හට දැනුම් දීමට පියවර ගත්තේය.
සජිත් තීන්දුව ගනී!
විපක්ෂයේ මන්ත්‍රීවරු සභාගැබෙන් ඉවත් වුවහොත් ජනතාව මත බදු බර පටවන විවාදය පවත්වාගෙන යෑමට නොහැකි බව සජිත්ට පෙන්වා දුන් කිරිඇල්ල ඊට ඔහුගේද අනුමැතිය ලබාගැනීමට පියවර ගත්තේය. එමෙන්ම තවත් මෙහෙයුම් දෙකක්ද ඒ මොහොතේම ආරම්භ කළ කිරිඇල්ල මන්ත්‍රීවරුන් පිරිසකට දැනුම් දී සිටියේ ආණ්ඩු පක්ෂ ලොබියේ, පාර්ලිමේන්තු භෝජනාගාරයේ සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගැවසෙන ස්ථානවල කොපමණ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටින්නේද යන්න සොයාගෙන එන ලෙසටය. අනෙක් මෙහෙයුම කිරිඇල්ල භාරදුන්නේ නලින් බණ්ඩාරටය. ඒ, ජවිපෙ ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්ෂවලට මෙම පණිවුඩය දැනුම්දී ඔවුන්ද ඊට එකඟ කරවා ගැනීමය.
කට්ටියම එළියට!
කිරිඇල්ලගේ දැනුම්දීමට අනුව මන්ත්‍රීවරුන් කණ්ඩායමක් වහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගැවසෙන තැන් සොයා බලා කිරිඇල්ලට වාර්තා කර සිටියේ සභාවේ සිටින ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 12 දෙනාට අමතරව තවත් 5 දෙනකු පමණක් තැන් තැන්වල රැඳී සිටින බවය. ඒ අනුව ඔවුන් 5 දෙනා සභාවට පැමිණියද 20ක් වන ඝන පූර්ණය නොමැති බව කිරිඇල්ලට වැටහිණි. එමෙන්ම ඒ වන විටත් නලින් බණ්ඩාර තමන්ට භාරදුන් රාජකාරිය අකුරටම කරමින් සභාගැබෙන් පිටව යෑමට ජවිපෙ අනුර ඇතුළු සියලු විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකඟ කරවා ගැනීමට සමත්ව තිබිණි. ඒ අනුව මෙහෙයුම තිතට සැලසුම් කළ කිරිඇල්ල විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ඇහෙන් ඉඟියක් ලබාදෙමින් පළමුව සජිත්වද කැටුව සභාගැබෙන් පිටව යෑමට කටයුතු කළේය. සජිත් හා කිරිඇල්ල සභාවෙන් නික්ම මොහොතක් ගිය පසු අනුර හා විමල්ද සභා ගැබෙන් පිටවීමට පියවර ගත්හ. ඔවුන් අනුගමනය කරමින් අනෙකුත් විපක්ෂ මන්ත්‍රීවරුන්ද හීන් සීරුවේ එකා දෙන්නා බැගින් සභාගැබෙන් පිටව ගියේ ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ට කිසිදු සැකයක් නොදැනෙන පරිදිය.
නලින් බණ්ඩාර පටන්ගනී!
ඒ අනුව මෙහෙයුමේ අවසන් කොටස කිරිඇල්ල භාරදී තිබුණේ නලින් බණ්ඩාරටය. ඒ, සභා ගැබේ ඝනපූර්ණය නොමැති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා හට දැනුම් දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කැඳවන ලෙසට දැනුම් දීමේ කොටසය. සැලසුම් කළ පරිදි ඒ බව දැනුම් දීමට නලින් සූදානම් වෙද්දී විපක්ෂය කෙළවරේ සුමන්තිරන් ඇතුළු දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අසුන්ගෙන සිටින බව නලින්ට දැකගන්නට ලැබිණි. ඔවුන්ට සැලසුම පිළිබඳ දැනුම් දීමට නොහැකි වූ බව නලින්ට මතක් වූයේ ඒ මොහොතේය. ඒ අනුව වහාම සුමන්තිරන් අසලට ගිය නලින් සැලසුම පිළිබඳ ඔහුටද දැනුම් දී ඒ මොහොතේම ඔවුන්ද ඊට එකඟ කරවාගැනීමට කටයුතු කළේය. ඒ අනුව සුමන්තිරන් ඇතුළු දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ද වහාම සභාගැබෙන් ඉවත් වීමට පියවර ගත්හ.
මධුර එද්දි හරි!
මෙම සිද්ධි දාමයෙන් පසුව සභාගැබේ ඉතිරි වූයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 12 දෙනාත්, නලින් බණ්ඩාරත් පමණි. ඒ අනුව වහාම නලින් නැගිට නියෝජ්‍ය කතානායකවරයාට කියා සිටියේ සභාව පවත්වාගෙන යෑමට අවශ්‍ය මන්ත්‍රීවරු 20 දෙනා සභාවේ නොමැති බවත්, වහාම ඝන පූර්ණය පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙසත්ය. නලින්ගේ එම දැනුම්දීමට අනුව සභාවේ ඝනපූර්ණය නොමැති බව වටහාගත් නියෝජ්‍ය කතානායකරවරයාද කළේ මන්ත්‍රීවරුන් කැඳවන සීනුව නාද කිරීමට පියවර ගැනීමය. එහිදී පාර්ලිමේන්තුවේ තැන් තැන්වල රැඳී සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 5 දෙනාද වහ වහා සභාවට පැමිණීම හේතුවෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගියද සභාව පවත්වාගෙන යෑමට එය ප්‍රමාණවත් නොවීය. ඒ අනුව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ආසන්නයේ සිටින මධුර විතානගේ ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට දුරකතන ඇමතුම් ලබාදී ඔවුන්වද පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමට උත්සාහ කළ නමුත් මධුර විතානගේ පැමිණෙද්දී සියල්ල අවසන්ව පැවැතිණි. ඒ, මිනිත්තු 5ක කාලයේ සීනුව නාද කිරීමෙන් අනතුරුවද අවශ්‍ය මන්ත්‍රීවරු ප්‍රමාණය නොමැති වීම හේතුවෙන් සඳුදා පෙරවරු 9.30 දක්වා පාර්ලිමේන්තුව කල්තැබීමට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා කටයුතු කිරීම නිසාය.
විපක්ෂයම එකතු වෙයි!
මේ ආකාරයට කලකට පසු විපක්ෂයේ සියලු දෙනා එක්ව සැලසුම් කළ මෙහෙයුමක් සාර්ථකව අවසන් වීමත් සමග පාර්ලිමේන්තුවේ විපක්ෂ ලොබියේ මේ සියල්ල බලා සිටි සජිත්, කිරිඇල්ල, අනුර, විමල් ඇතුළු සියලු දෙනාගේ මුහුණු සතුටින් ඉපිල ගිය ආකාරයක් සියල්ලන්ටම දැකගන්නට ලැබිණි. ඒ අනුව පක්ෂ භේදයකින් තොරව සජිත්, අනුර, විමල් ඇතුළු සියලු දෙනාම එකිනෙකා සමග කතා කරමින් සුබපැතුම් හුවමාරු කරගත් ආකාරයක්ද සියල්ලන්ටම දැකගන්නට ලැබිණි.
ආණ්ඩුව ගිනි පත්තු වෙයි!
විපක්ෂය මේ ආකාරයට ඒකාබද්ධ වී සභාව ඇතුළේ දියත් කළ සාර්ථක දේශපාලන මෙහෙයුමත් සමග ආණ්ඩු පක්ෂයේ ගිනි පත්තු වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව වහාම කතානායකවරයාගේ කාමරයේ අගමැති දිනේෂ්, සභානායක සුසිල්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන්, සියඹලාපිටිය රැස්ව සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්හ. ඒ වන විටත් ශෙහාන් ජනාධිපතිවරයාද දුරකතනයෙන් සම්බන්ධ කරගෙන පාර්ලිමේන්තුව තුළ මතුව ඇති තත්ත්වය දැනුම් දීමට පියවර ගත්තේය. ඒ අනුව ජනාධිපතිවරයාද ශෙහාන්ට කියා සිටියේ මෙම යෝජනාව සම්මත කිරීම අත්‍යාවශ්‍ය බැවින් සඳුදා දින ස්ථාවර නියෝග අත්හිටුවා හෝ එය සම්මත කරගත යුතු බවකි.
පාස් කළ යුතුමයි!
ඒ අනුව ඔවුන් කතානායකවරයාට පෙන්වා දී තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව අඟහරුවාදා දිනයේ රැස්වී ලංකාවට දෙවැනි ණය වාරිකය මුදාහැරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බැවින් කෙසේ හෝ සඳුදා දිනයේදී ස්ථාවර නියෝග අත්හිටුවා හෝ වැට් බදු ඉහළ නැංවීමේ යෝජනාව සම්මත කරගත යුතු බවය. නමුත් කතානායකවරයා ඔවුන්ට පෙන්වා දුන්නේ දැනටමත් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති බැවින් ස්ථාවර නියෝග අත්හිටුවීම අවශ්‍ය නැති බවත්, සඳුදා දිනයේදී ඒ පිළිබඳ විවාද කොට එය සම්මත කරගැනීමට හැකි බවත්ය.
රැස්වීම තීරණාත්මකයි!
ඒ අනුව සඳුදා පාර්ලිමේන්තු රැස්වීම ආණ්ඩු පක්ෂයට ඉතා තීරණාත්මක එකක් වී තිබිණි. සඳුදා පෙරවරුවේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැතියේ මෙවැනි තීරණාත්මක පසුබිමක් මධ්‍යයේය. ඒ කෙසේ වෙතත් වැට් බද්ද වැඩිකිරීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් කිසිදු තැනක අදහස් දැක්වීමට අවස්ථාව නොලැබුණු ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු දිනේෂ්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඒ සඳහා වේදිකාවක් බවට පත්කර ගැනීමට කටයුතු කළහ. ඒ අනුව රැස්වීම ආරම්භ වූ වහා කතාකිරීමට පටන් ගත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වැට් බද්ද ඉහළ දැමීමට ආණ්ඩුව ගත් තීන්දුව දැඩිව විවේචනය කිරීමට පියවර ගත්හ. එම දෙබරයට මුලින්ම ගල ගැසුවේ සරත් වීරසේකරය.
වීරසේකර පටන් ගනී!
‘මොනවද අගමැතිතුමා මේ කරන වැඩ? මේවා කරලා අපි කොහොමද ගමට යන්නේ? ඉස්සෙල්ලාම ක්‍රිකට් ප්‍රශ්නෙ ආවා. ඒකෙන් අපේ මන්ත්‍රීවරුන්ට ගමට යන්න බැරි වුණා. දැන් වැට් ප්රශ්නය ඇවිත්. ඒක ඊට වඩා හපන්. මේ මගුල් කරන්න ගිහින් අපිට ගමට යනවා තියා අපේම මිනිස්සුන්ට මුහුණ දෙන්න පුළුවන්කමකුත් නෑ. අපි අනන්‍යතාවක් තියෙන පක්ෂයක්. අපි මොන තරම් අමාරුකම් තිබ්බත් ජනතාව පිට කවදාවත් ඒ බර පැටෙව්වෙ නෑ. අපි මිනිස්සුන්ට කියපු දේවල් ටිකක් තියෙනවා…’ යනුවෙන් කියමින් සරත් වීරසේකර සටන පටන්ගනිද්දී ඊට පිළිතුරු ලබාදීමට පියවර ගත්තේ අගමැතිවරයා සමග ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටි මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටියය. ඔහු පෙන්වා දුන්නේ මෙම බදු වැඩිකිරීම හරහා ජනතාවට පීඩාවක් සිදුවන බව පිළිගන්නා නමුත් පවතින වාතාවරණය හමුවේ මෙම බදු පැනවීම අත්‍යාවශ්‍ය වී ඇති බවකි. විශේෂයෙන්ම අඟහරුවාදා දිනයේ මූල්‍ය අරමුදලද රැස්ව ලංකාව සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බැවින් ඊට පෙර මෙම බදු සංශෝධනය සිදුකොට රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ආණ්ඩුව සූදානම් බව පෙන්වා දිමට පියවර ගත යුතු බවද සියඹලාපිටිය පෙන්වා දුන්නේය.
මනුෂගෙනුත් චෝදනාවක්!
ඉන් අනතුරුව කතා කළේ ඇමැති මනුෂ නානායක්කාරය. මනුෂද කියා සිටියේ තමන්ටද මෙම බදු පැනවීම සම්බන්ධයෙන් ප්‍රහ්නයක් ඇති බවත්, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සිදුකරන අත්තනෝමතික කටයුතු හේතුවෙන් බරපතළ ගැටලු ගණනාවක් මතුව ඇති බවත්ය.
‘මේ බදු ගහන එක සම්බන්ධයෙන් මටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ මන්ත්‍රිවරු කියන කතාව ඇත්ත. මෙහෙම කරලා අපිට ගමට යන්න බෑ තමයි. බදු අයකරගන්න වෙන කොච්චර ක්‍රම තියෙනවද? ඒවා කරන්නේ නැතිව මුදල් අමාත්‍යාංශයේ ඉන්න සමහර නිලධාරීන් එක එක ගැසට් ගහනවා. මන්ත්‍රීවරුන් අහන ප්‍රශ්නවලට අපිට උත්තර දෙන්නත් බෑ. ඒක නිසා මේ ප්‍රශ්නවලට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ටම ඇවිත් උත්තර දෙන්න කියන්න….’ යනුවෙන් කියමින් මනුෂද පහර දෙද්දී සංජීව එදිරිමාන්නද මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට චෝදනා එල්ල කරමින් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.
සංජීවත් එකතු වෙයි!
‘මෙ අය කොහොම බදු අයකරනවද කියල මටත් තේරෙන්නේ නෑ. දැන් අපෙත් ආදායම් බදු ලිපිගොනු හදලා තියෙනවා. හැබැයි ඒවායෙත් රුපියල් 10,000, 15,000 වගේ වෙනස්කම් තියෙනවා. ඉතින් හරියට බදු ලිපිගොනුවක් හදාගන්න බැරි මුදල් අමාත්‍යාංශය කොහොමද මේක කරන්නේ කියන එක ප්‍රශ්නයක්.’ යන්න සංජීවගේද අදහස විය.
ඉන් අනතුරුව කතා කළේ ජගත් කුමාරය. ජගත්ද කියා සිටියේ ජනතාව මේ බදු වැඩිකිරීම හේතුවෙන් මහත් පීඩාවට පත්ව සිටින බවය.
‘දැන් මිනිස්සු ඉන්නේ හතරගාතේ වැටිලා. මේ ආර්ථික ප්රශ්නය පොඩි මිනිස්සුන්ට හොඳට දැනෙනවා. ළමයින්ට කන්න දෙන්න විදියක් නෑ. ඉස්කෝලෙ යවන්න විදියක් නෑ. ගොවියන්ට වගාකරන්න විදියක් නෑ. එහෙම තියෙද්දී තෙල්වලට ගෑස්වලට කරන්ට් එකට මේ වැට් එක වැදුණම මිනිස්සුන්ට තවත් අමාරු වෙනවා. අපිට ආයෙමත් මේ මිනිස්සු ඡන්දෙ දෙන එකක් නෑ. ඒක නිසා මම නම් කියන්නේ රටේ ප්‍රශ්න කියලා මේ බදු වැඩි කළත් ඉතා ඉක්මනින් මේක අඩු කරලා ජනතාවට සහන දෙන්න ඕනෙ කියලයි.’ යන්න ජගත්ගේ ස්ථාවරය විය.
ගුටිගහගන්න ලෑස්තියි!
කෙසේ වෙතත් මේ ආකාරයට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ ප්‍රහාර හමුවේ උණුසුම් වී තිබුණු ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ගුටිබැට ඇනගන්නා තරමට උණුසුම් වූයේ මහින්දානන්ද හා පුත්තලමේ මන්ත්‍රී චින්තක මායාදුන්න අතර ඇතිවූ උණුසුම් සංවාදය හේතුවෙනි. ඊට හේතු වූයේ මහින්දානන්ද කී කතාවකට චින්තක උත්තර දීමට ඉදිරිපත් වීමය.
‘මේ මන්ත්‍රීවරු කියන කතාව ඇත්ත. මෙහෙම වැට් එක වැඩිකරලා අපිට ගමට යන්න බෑ. නමුත් දැන් අපිට වෙන කරන්න දෙයක් නෑ. මේක අපි හදාගත්ත ආණ්ඩුව. අපි ඒක ආරක්ෂා කරගන්න ඕනේ. අපේ මුදල් රාජ්‍ය ඇමැතිතුමන්ලා කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුළුවන් කියලා. මේ වැට් බද්ද වැඩිකරන එක සම්මත කරගත්තොත් 12 වැනිදා මූල්‍ය අරමුදල අපිට දෙවැනි වාරිකය නිදහස් කරන්න තීරණය කරයි කියලා කියනවනේ. මම නම් දන්නේ නෑ ඒ ගැන. හැබැයි ඒක වෙනවා නම් අපි ඕන කෙහෙම්මලක් වෙන්න කියලා මේකත් කරලා දාමු…’ යනුවෙන් මහින්දානන්ද කියද්දී ඊට විරෝධය පළකරමින් කතා කළේ පුත්තලමේ මන්ත්‍රී චින්තක මායාදුන්නය.
ඇජෙන්ඩා කතාවට යකා නගී!
‘මම නම් කවුරුත් කියන ඒවා අහන්නේ නෑ. මේ බදු ගැහිල්ලෙන් මිනිස්සු අමාරුවෙ වැටෙන එකයි වෙන්නේ. ඒ නිසා මම නම් මේකට ඡන්දෙ දෙන්න එන්නෙ නෑ…’ යනුවෙන් චින්තක කියද්දී මහින්දානන්ද ඊට පිළිතුරු දුන්නේ, ‘ඇජෙන්ඩා’ (න්යායපත්ර) කතාවක්ද ඉදිරියට දමමිනි.
‘එහෙම කොහොමද කරන්නේ? එහෙම තනි තනියෙන් තීන්දු ගන්න බෑ. අපි පක්ෂයක් විදියට තීන්දුවක් ගත්තා නම් ඔක්කොම ඒ තීන්දුවෙ ඉන්න ඕනෙ. එහෙම එක එක්කෙනාගෙ පෞද්ගලික ඇජෙන්ඩාවලට මෙතන වැඩ කරන්න බෑ. ඔයා ඉතින් ඊට කලිනුත් ආණ්ඩුවට ඡන්දෙ නොදී හිටිය කෙනෙක්නේ.’ යැයි කියමින් මහින්දානන්ද, ‘ඒවා තියාගන්න එපා’ යැයි තරමක් සැරෙන් කියද්දී චින්තක මායාදුන්නද ඊට එකට එක කියමින් මහින්දානන්දට අභියෝග කළ ආකාරයක් දැකගත හැකි විය.
දෙදෙනාම නැගිටියි!
‘ඔබතුමා මේ මොනවද කියන්නේ? අපිද එක එක ඇජෙන්ඩාවල හිටියේ? ඔබතුමාලා තමයි එක එක ඇජෙන්ඩාවල ඉඳලා ගිය ආණ්ඩුව වැට්ටුවේ.’ යැයි කියමින් චින්තකද මහින්දානන්දගෙන් ගේම ඉල්ලද්දී මහින්දානන්දද, ‘ඇයි ඇයි මොකද? මොකද්ද කියන්නේ’ යනුවෙන් කියමින් පුටුවෙන් නැගී සිටි ආකාරයක් දැකගත හැකි විය.
මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහින්දානන්දත් චින්තකත් දෙදෙනාම එක ළඟ අසුන් දෙකක වාඩිවී සිටි නිසා චින්තකද ‘ඇයි ඇයි මොකද ගහගන්නද?’ කියමින් නැගී සිටි නිසා ගුටි කෙළියක් ආරම්භ වීම අත ළඟ බව දෙදෙනා වටේ සිටි මන්ත්‍රීවරුන්ට වැටහිණි. ඒ අනුව වහාම දෙදෙනාම අල්ලාගෙන දෙපැත්තට කරමින් මන්ත්‍රීවරුන් ඇවිලීමට ගිය ගුටි කෙළියක් ආයාසයෙන් යුතුව නවතා ගැනීමට සමත් විය.
පරණ කෝන්තරයක්!
‘මට ඔබතුමාගෙ අත්දෙක අල්ලලා වඳින්න හරි පුළුවන්. හැබැයි ඇජෙන්ඩා ගැන කියාගෙන එන්න එපා’ යනුවෙන් චින්තක පසුව මහින්දානන්දට කියද්දී මහින්දානන්දද, ‘නෑ නෑ හරි මල්ලි ඒක ඉවරයි. අපි අපි කෝන්තර තියාගන්න ඕනෙ නෑ’ යැයි කියමින් වාදය අවසන් කළ ආකාරයක් දැකගත හැකි විය. ඒ සමගම වාගේ පාර්ලිමේන්තුව කැඳවන සීනුව නාද වීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන් සාකච්ඡාව අවසන් කොට සභාගැබ දෙසට පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය. එහිදී පසුපෙළ මන්ත්‍රීවරු මහින්දානන්ද සහ චින්තක එක වරම මෙසේ ඇවිලී යෑමට හේතු වූ කරුණු පිළිබඳ එකිනෙකාගෙන් විමසා සිටීමට පියවර ගත්හ. එහිදී දෙදෙනාගේ යටගියාව දත් බොහෝ මන්ත්‍රීවරුන් කියා සිටියේ මෙම කෝන්තරය අද ඊයේ ඇතිවූවක් නොව, ගෝඨාගේ ආණ්ඩු සමයේ සිටම පැවැතෙන එකක් යැයි කියාය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට සම්බන්ධ සිදුවීමක් ඊට මුල්වී ඇති බවක්ද එහිදී කියවිණි. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සම්පූර්ණයෙන්ම වැඩිකිරීමට නියමිතව තිබූ වැට් බද්දට විරෝධය පළකරමින් කතා කළ එකක් වුවද එහි කිසිදු තීරණයකට නොපැමිණි බැවින් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බොහෝ දෙනා සාකච්ඡාවෙන් පිටව ගියේ වැට් බදු වැඩිකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ට ලුණු ඇඹුල් ඇතිව බැණවදිමිනි.
සේමසිංහත් ගේමේ!
ඉරිදා දිනයේ වැට් බදු වැඩිකිරීමේ යෝජනාව සම්මත කරගැනීමට නොහැකි වීම හේතුවෙන් සඳුදා දින එය කෙසේ හෝ සම්මත කරගැනීමේ වැඩි වගකීමක් පැටවී තිබුණේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහගේ කර මතය. සඳුදා දින අමාත්‍යාංශ දෙකක අයවැය ශීර්ෂයන් විවාදයට ගැනීමට නියමිතව තිබීම හේතුවෙන් වැට් බදු වැඩිකිරීමේ යෝජනාව සම්මත කරගැනීමට නියමිතව තිබුණේද එම විවාදය අස්සේමය. එම නිසා මුලින්ම තීරණය කෙරුණේ ආණ්ඩුවේ කථික ලැයිස්තුව බොහෝ දුරට අඩුකොට අමාත්‍යාංශ භාර ඇමැතිවරුන් වන පවිත්‍රා, ඩග්ලස්, පියල් නිශාන්ත ආදීන්ට පමණක් කතාකිරීමට අවස්ථාව ලබාදී වැට් බදු වැඩිකිරීමේ යෝජනාව සම්මත කරගැනීම සඳහා කාලය ඉතිරි කරගැනීමටය. එමෙන්ම විපක්ෂයට වැට් බදු වැඩිකිරීම සම්බන්ධයෙන් වූ විවාදයට වැඩි කාලයක් ලබාදීමටද තීරණය කෙරිණි.
ඡන්දය ගමු!
කෙසේ වෙතත් වැට් බදු යෝජනාව සම්මත කරගැනීමේ වගකීම පිට මත පැටවී තිබීම නිසා සේමසිංහ මුළු හවස් වරුවම කළේ පාර්ලිමේන්තුව පුරා එහෙ මෙහෙ ඇවිදිමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඊට එක්කර ගැනීමටය. වරින් වර සභාගැබ තුළටත් භෝජනාගාරය තුළටත්, ආණ්ඩු පක්ෂ ලොබිය තුළටත් ඔළුව දමමින් සේමසිංහ නිතරම බැලුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ආණ්ඩුව පැත්තේ සිටිනවාද කියාය. ඉරිදා දිනයේ කළාක් මෙන්ම සඳුදා දිනද විපක්ෂය යම් දේශපාලන ගේමක් ගසනු ඇති බවට තිබූ සැකය නිසා සේමසිංහ සඳුදා දහවල් වන විට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්නව මුණගැසී දැනුම්දී සිටියේ වැට් බද්ද සම්බන්ධයෙන් කලින් පොරොන්දු වූ විවාදය නොපවත්වා දැනට සභාවේ සිටින ප්‍රමාණයෙන් ඡන්දයක් ගෙන එය අවසන් කළ යුතු යැයි කියාය. ඒ වන විට සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 81ක් සිටි අතර, විපක්ෂය පැත්තෙන් සිටියේ 41ක් පමණි.
සුසිල්ගෙන් විරෝධය!
ඒ අනුව මෙම යෝජනාව සේමසිංහත්, ප්රසන්නත් සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත ගෙන යෑමට කටයුතු කළෝය. නමුත් සුසිල් ගත් කටටම කියා සිටියේ එවැන්නක් සිදුකිරීම ප්රජාතන්ත්ර විරෝධී යැයි කියාය. මෙය මුදල් පනතක් වීම හේතුවෙන් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ විවාද කළ යුතු බවද සුසිල්, සේමසිංහටත්, ප්‍රසන්නටත් පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් සුසිල්ගේ පිළිතුරෙන් සේමසිංහ එතරම් පැහැදීමට පත්ව සිටියේ නැත. ඒ අනුව සේමසිංහ කළේ සඳුදා පස්වරු 2.45ට පමණ ජනාධිපතිවරයා හමුවීමට පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයට යෑමය. එදින කැබිනට් රැස්වීම පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ බැවින් ජනාධිපතිවරයා කල්තියා පාර්ලිමේන්තුවට පැමිණ සිටින බවක් සේමසිංහට දැනගන්නට ලැබිණි. ඒ අනුව ජනාධිපතිවරයා හමුවීමට ගිය සේමසිංහ මේ වන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 81 දෙනකු සභාගැබේ සිටින බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් 41 දෙනකු සිටින බවත් පෙන්වා දී දැන්මම ඡන්ද විමසීමකට නොගියහොත් යම් අවදානමක් ගැනීමට සිදුවනු ඇති බව ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය. ඉරිදා දිනයේ ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් අර්බුදයකට මුහුණපා සිටි නිසා ජනාධිපතිවරයාද කළේ වහාම දිනේෂුත්, සුසිලුත්, ප්රසන්නත්, සියඹලාපිටියත් සිය කාර්යාලයට කැඳවා මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගැනීමය. එහිදීද විවාදයකින් තොරව වැට් බදු යෝජනාව සම්මත කරගත යුතු බවට සේමසිංහ පෙන්වා දෙද්දී නැවත වතාවක් සුසිල් කියා සිටියේ මෙය මුදල් පනතක් බැවින් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව කටයුතු කිරීම සුදුසු යැයි කියාය. නමුත් සුසිල්ගේ මෙම යෝජනාවට මුදල් රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනා තබා ජනාධිපතිවරයා හෝ එකඟතාව පළකළ බවක් දැකගන්නට ලැබුණේ නැත. එම පාර්ශ්වයෙන් එහිදී ඉදිරිපත් වූ තර්කය වූයේ අදාළ වැට් බදු යෝජනාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා ඉරිදා දිනය ලබාදුන් නමුත් ඝන පූර්ණය නොමැති බව පවසමින් විපක්ෂය එය මඟහැර ගැනීමට කටයුතු කළා යැයි කියාය. ඒ අනුව අද දිනයේ ඡන්දය ගෙන වැට් බදු යෝජනාව සම්මත කරගත යුතු බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය විය.
69ක් නෑ!
ඒ අනුව ආණ්ඩු පක්ෂය සඳුදා පස්වරුවේ සභාවට දැනුම්දී සිටියේ වැට් බදු යෝජනාව සම්මත කරගැනීමට ඡන්ද විමසීමක් පැවැත්වීමට සූදානම් යැයි කියාය. නමුත් විපක්ෂය ඊට එරෙහිව දැඩිව විරෝධය පළ කළද අවසානයේදී කතානායකවරයා කියා සිටියේ පෙර දින විවාදය පැවැත්වීමට කල් ලබාදී තිබීම හේතුවෙන් අද දිනයේ ඡන්දය ගෙන එය අවසන් කිරීමට කටයුතු කළ යුතු යැයි කියාය. ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කළ 100 දෙනකු වැට් බදු වැඩිකිරීමට පක්ෂව අත් ඉස්සීමට පියවර ගෙන තිබිණි. ඊට විරෝධය පළකරමින් සමගි ජන බලවේගය ප්රමුඛ මන්ත්‍රීවරු 55 දෙනකු ඡන්දය ලබාදීමට කටයුතු කර තිබිණි. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මන්ත්‍රීවරුන් 69 දෙනකු ඒ අවස්ථාව වන විට සභාගැබේ නොසිටීමය.
නාමල් ඇවිත් නෑ!
මෙහිදී දැකගන්නට ලැබුණු තවත් එක් විශේෂ සිදුවීමක් වූයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැට් බදු යෝජනාවට විරෝධය පළකරමින් ඡන්දය නොදෙන බව කියද්දී නාමල්ගේ පියා වන මහින්ද රාජපක්ෂ සභාවට පැමිණ යෝජනාවට පක්ෂව ඡන්දය දීමය. එමෙන්ම ශෂීන්ද්‍ර සභාවට පැමිණ ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළද, ශෂීන්ද්‍රගේ පියා වන චමල් රාජපක්ෂ උදය වරුවේ සභාවේ සිට සවස් වරුවේ ප්‍රතිකාර සඳහා රෝහල්ගත වූ ආකාරයක් දැකගත හැකිවිය.
සජිත් හෙළිදරව්වකට ලෑස්ති වෙයි!
කෙසේ වෙතත් ජනතාව මේ තරම් ආර්ථික අර්බුදයක ගිලී සිටියදීත් ජනතාවගේ කර මත තවත් බදු බර පටවන වැට් යෝජනාව සම්මත කරගැනීමත් සමග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රීතියෙන් ඉපිල යමින් ඔල්වරසන් දෙන ආකාරයක් විපක්ෂයට දැකගන්නට ලැබිණි. ඒ අනුව එදින රාත්‍රියේ සජිත් ප්රමුඛ සජබ ප්‍රධානීන් පැවැත්වූ සාකච්ඡාවකදී මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ඒ සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළකරමින් සජිත්ට කරුණු පෙන්වා දීමට කටයුතු කර තිබිණි. ඔවුන් කියා සිටියේ ජනතාව පිට බදු බර පටවා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මේ ආකාරයෙන් ප්‍රීතියෙන් යුක්තව හැසිරීම කිසිසේත්ම පිළිගත නොහැකි යැයි කියාය. එම නිසා අඟහරුවාදා දිනයේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතාකොට රටට මේ බව දැනුම් දිය යුතු බවද මන්ත්‍රීවරු සජිත්ට පෙන්වා දුන්හ.
සජිත්ට ආ කෝල් එක!
මේ ආකාරයට සජිත් සිය මන්ත්‍රීවරුන් සමග වැට් බද්ද වැඩිකිරීමට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරමින් සිටියදී රාත්‍රි 10ට පමණ සජිත්ගේ ජංගම දුරකතනයට ආණ්ඩුවේ මන්ත්රිවරයකුගෙන් විශේෂ ඇමතුමක් ලැබිණි. එම ඇමතුමෙන් කියවුණේ වැට් බදු පනත සම්මත කරගැනීමේ සතුට සැමරීම සඳහා මේ වන විට අරලියගහ මන්දිරයේ විශාල සාදයක් පැවැත්වෙමින් ඇති බවත්, ආණ්ඩුවේ සියලු මැති ඇමැතිවරුන් ඒ සඳහා සහභාගි වී සිටින බවත්ය. ඒ අනුව පුදුමයට පත්වූ සජිත් පළමුව සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටම කතා කර මේ පුවත දැනුම් දී වහාම ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බලන ලෙස සඳහන් කර සිටියේය. මීට අමතරව සජිත් තමන්ට හිතවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටද කතා කොට මේ කතාවේ ඇත්ත නැත්ත සොයා බැලීමට පියවර ගත්තේය. එවිට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණු පිළිතුර වූයේ කතාව ඇත්ත බවත්, ජනාධිපතිවරයාද මෙම සාදයට එක්වී සිටින බවත්ය. ඊට මොහොතකට පසු සජබ මන්ත්‍රීවරුන්ද සජිත්ට කතා කොට කීවේ ආණ්ඩුවේ සියලු දෙනා මෙම සාදයට සහභාගි වී සිටින බවකි. එමෙන්ම කෑම මේසයේ තිබූ සියලු කෑම වර්ගවල ලැයිස්තුවද මොහොතක් යෑමට මත්තෙන් සජිත්ගේ ජංගම දුරකතනයට ලැබුණේය. ඒ අනුව සජිත් ඒ මොහොතේදීම තීන්දු කළේ ජනතාව පිට බදු බර පටවා ආණ්ඩුව අරලියගහ මන්දිරයේ දැමූ මෙම සුපිරි සාදය පිළිබඳ ඊට පසු දින පාර්ලිමේන්තුවේදී රටම දැනුවත් කිරීමටය. එසේම සජිත් ඒ බව පසු දින පාර්ලිමේන්තුවේදී සඳහන් කරද්දී වෙනදා නම් ආණ්ඩුව පැත්තෙන් යම් විරෝධයක් පළවුවද එදින කිසිදු විරෝධයක් පළ නොවීමද විශේෂ සිදුවීමක් විය.
සේමසිංහගෙන් වාර්තාවක්!
මේ අතර මෙම සාදයේදී සිදුවූ එක්තරා සිදුවීමක් සම්බන්ධයෙන්ද ‘රාජ්‍ය රහස්’ තීරයට තොරතුරු වාර්තා වී තිබේ. ඒ, සේමසිංහ පාර්ලිමේන්තුවේදී කළ එක්තරා ක්‍රියාවක් සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ප්‍රශංසා මුඛයෙන් කතා කිරීමය. සාදයට රැස්ව සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කා බී ප්‍රීති වෙමින් ඊට පෙර දින පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැති වීම, සජිත් ඉලක්ක කරගෙන මහින්දානන්ද එල්ල කළ ප්‍රහාරය, විවාදයක් නොමැතිව මුදල් පනතක් සම්මත කිරීම ආදිය පිළිබඳ කතාබහ කරමින් සිටිද්දී එම ස්ථානයට පැමිණි දිනේෂ් සියලු දෙනාට ඇසෙන්නට සිනාසෙමින් පැමිණි දිනේෂ් කියා සිටියේ මුදල් රාජ්‍ය අමාත්‍ය සේමසිංහ එදින පාර්ලිමේන්තුවේදී ඉතිහාසගත වන වැඩක් කළා යැයි කියාය. ඒ, කිසිදු විවාදයක් නැතිව විනාඩි 10ක් ඇතුළත මුදල් පනතක් සම්මත කර පෙන්වීම හරහා බව දිනේෂ් කියද්දී සියලු දෙනාම බඩවල් අල්ලාගෙන සිනාසුණු ආකාරයක් දැකගත හැකි විය.
නාමල්ගේ විග්‍රහය!
මේ අතර වැට් බද්ද වැඩිකර ගැනීමේ යෝජනාවේදීත්, අයවැය සම්මත කරගැනීමේදීත් නාමල් රඟදැක්වූ දේශපාලන භූමිකාව සම්බන්ධයෙන් මෙහිදී යමක් සඳහන් කළ යුතුමය. ජනාධිපතිවරයා ලෙස රනිල් පත්කර ගැනීමෙන් පසු මාස කිහිපයක් යන තුරුම ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේත් ගුණ වර්ණනා කළ නාමල්, මීට මාස දෙකකට පමණ පෙර සිට ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේත් ක්‍රියාකලාපය විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කරන ආකාරයක් දැකගත හැකි විය. එසේ මාධ්‍ය හමුවේ ජනාධිපතිවරයා විවේචනය කළද පසුව සිය පියාගේ උපන්දිනය දා තම නිවෙසේ ජනාධිපතිවරයා සමග කේක් කපා පාටි දැමීමටත් නාමල් කටයුතු කොට තිබිණි. එසේ වුවද වැට් බද්ද වැඩිකිරීමට දින දෙකක් පමණ තබා නාමල් ප්‍රසිද්ධියේම මාධ්‍ය හමුවේ කියා සිටියේ ජනතාව පිට බදු බර පටවන වැට් බදු වැඩිකිරීමට තමන් විරෝධය පළකරන බවත්, තමන් එම යෝජනාවට ඡන්දය ලබා නොදෙන බවත්ය. එමෙන්ම තම ස්ථාවරය පොහොට්ටුවේ ප්රධානීන්ටද දැනුම් දුන් බව නාමල් කියා සිටියේය.
මහින්ද තද තැනක!
ඒ අනුව වැට් බදු ඡන්දයට ප්‍රථම මහින්දව හමුවූ නාමල් මේ බව මහින්දටද දැනුම් දී ඔහුටද එදින පාර්ලිමේන්තු නොයන ලෙස ඉල්ලා සිටීමට පියවර ගෙන තිබිණි. මෙම වැට් බදු වැඩිකිරීමට පක්ෂව අත එසවුවහොත් තමන්ගේ පමණක් නොව, රාජපක්ෂවරුන්ගේ දේශපාලනයද අවසන් වනු ඇති බව කියා සිටි නාමල් ඒ සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්නා ලෙස එහිදී මහින්දගෙන් ඉල්ලා තිබිණි. නමුත් අපට ඇති තොරතුරුවලින් දැනගන්නට ඇත්තේ පළමු වතාවට මහින්ද මෙහිදී නාමල් තරමක දැඩි පිළිතුරක් ලබාදී ඇති බවකි.
මම රනිල් එක්ක!
‘නෑ මම දිගටම රනිල් එක්ක දේශපාලනය කරන්න තීන්දු කරලා ඉවරයි. ඒකෙන් මම ඉවර වෙනවා නම් ඉවර වෙයි. මේ මගේ දේශපාලනයේ අන්තිම කාලේ. ඔයා ඔයාගේ දේශපාලනය වෙනම කරගෙන යන්න. මං මගේ දේශපාලනය කරගෙන යන්නම්’ යනුවෙන් එහිදී මහින්ද නාමල්ට දැනුම්දී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
කෙසේ වෙතත් නාමල් මෙසේ කියමින් වැට් බදු යෝජනාව සම්මත කළ සඳුදා දිනයේදී පාර්ලිමේන්තු නොආවත් එදින රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවැති සාදයට සහභාගි වීමට කටයුතු කොට තිබිණි. එහිදී ජනාධිපතිවරයා සමග සිටින පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක් නාමල්ගේ ක්‍රියාකලාපයට එරෙහිව තැන් තැන්වල කසුකුසු ගානු දැකගන්නට ලැබිණි. නමුත් පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් නම් සිටියේ නාමල් කළ වැඩේ හරියටම හරි යැයි යන ස්ථාවරයේය. ඒ අනුව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් නාමල්ගෙන් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා සිටිද්දී නාමල් කාටත් පුදුම හිතෙන දේශපාලන විග්‍රහයක් සිදුකිරීමට පියවර ගෙන තිබිණි.
නාමල්ගේ මතය!
‘මේ ගැන මට තියෙන්නේ වෙනම දේශපාලන විග්‍රහයක්. මම මේක තාත්තටත් කිව්වා. හැබැයි තාත්තා කිව්වා රනිල් එක්ක ඉස්සරහට දේශපාලනය කරනවා කියලා. හැබැයි මම තාත්තටත් කිව්වා මේක බරපතළ තත්ත්වයක් කියලා. මේකෙන් වෙන්නේ අපි මෙච්චර කල් හදාගත්ත සියලු දේ නැතිවෙන එක විතරයි කියලා. අපි දවසින් දවස ඉවර වෙනවා. මම අද කැට තියලා කියන්නම් මට තියෙන තොරතුරුවලට අනුව ජනාධිපතිතුමා අන්තිම මොහොත වෙනකම් ඉඳලා ජනාධිපතිවරණයට එන්නෙ නෑ. එතකොට එතුමත් එක්ක ගිහින් අපිට මොනවා වෙයිද? අපි සදා අනාතයි.
අනෙක අපෙන් කවුද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ? දැන්, නම් කීපයක්ම කියවෙනවා. ධම්මික එනවා නම් එහෙමයි. වෙන කෙනෙක් එනවා නම් ඒක එහෙමයි. ඒ එන කෙනා අපේ දේශපාලන අනන්‍යතාවක් එක්කයි ඉස්සරහට යන්න ඕනෙ. එහෙම නැතුව ගියොත් වෙන්නේ පක්ෂයේ දේශපාලනයත් ඉවරයි, මගේ දේශපාලනයත් ඉවරයි.
ඒ නිසා මම ඉරහඳ වගේ කියන්නම් රනිල් නම් මේ ජනාධිපතිවරණයට එන්නෙ නෑ. අන්තිම වෙනකම් ඉඳලා අලුතෙන් එන එක්කෙනාට මේක බාරදීලා එයා යන්න යාවි. අන්තිමේදී මේක සජිත්ගෙ අතට යයි. ජේවීපී එක දෙකට ඇවිත් අපි ඊටත් වඩා පහළ තැනකට වැටෙයි. ඒකයි මම මේ මගේ ස්ථාවරය පක්ෂයට කියන්න යන්නේ. අපි වැට් එකට අත ඉස්සුවොත් අපේ අනාගතයම ඉවරයි. ඒ නිසා මම මේ වැට් වැඩිකරන එකට විරුද්ධයි. ඒ විතරක් නෙමෙයි මම ඡන්දෙ දෙන්න එන්නෙත් නෑ.’ යනුවෙන් නාමල් එහිදී පසුපෙළ මන්ත්‍රීවරුන්ට කියා සිටියේය.
කල්තියාම පිටවෙයි!
ඒ කිව් ආකාරයටම නාමල් වැට් වැඩිකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට රැගෙන ආ සඳුදා දිනයේ පාර්ලිමේන්ුවට ආවේ නැත. එමෙන්ම අයවැය සම්මත කරගත් බදාදා දිනයේදී නාමල් පාර්ලිමේන්තු පැමිණියද ඊට සිය ඡන්දය භාවිත කිරීමට පියවර ගත්තේ නැත. එදිනද නාමල් සිය ස්ථාවරය පොහොට්ටු මන්ත්‍රීවරුන්ට දැනුම්දී කල්තියා පාර්ලිමේන්තුවෙන් පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය.
සේමසිංහට ප්‍රශංසා!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් ණය මුදලේ දෙවැනි වාරිකය ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක සාකච්ඡාව වොෂින්ටන්හි පිහිටි එම ආයතන මූලස්ථානයේ පැවැත්වුණේ පසුගිය අඟහරුවාදා දිනය. ආණ්ඩුවද සඳුදා දිනයේ ආදායම් වැඩිකර ගැනීමේ අරමුණෙන් වැට් බද්ද 18% දක්වා වැඩිකිරීමේ යෝජනාව සම්මත කළේ දෙවැනි වාරිකය නිදහස් කරගැනීම සඳහා වූ තල්ලුවක් වශයෙනි. ඒ අනුව අඟහරුවාදා රාත්‍රියේ අදාළ වාරිකය නිදහස් කිරීමට මූල්‍ය අරමුදල තීන්දු කළ පුවත එහි වෙබ් අඩවියේ පළකිරීමට පියවර ගෙන තිබූ අතර, ඒ බව මුලින්ම දුටුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහය. ඒ, සේමසිංහ අදාළ තීන්දුව කුමක්ද යන්න දැනගැනීම සඳහා සවස් වරුවේ සිටම එම වෙබ් අඩවියට ගොස් නිතර නිතර සොයාබැලීම නිසාය.
ලොකු ජයග්‍රහණයක්!
ඒ අනුව සතුටුදායක පුවත දුටු සැණින් සේමසිංහ වහාම කළේ පළමු ඇමතුම ජනාධිපතිවරයාට ගෙන ඒ බව දැනුම් දීමය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා සැලකෙන්නේ ඉතා කලාතුරකින් පුද්ගලයකුගේ ගුණ වයන්නකු ලෙසය. නමුත් මෙහිදී සේමසිංහ දැනුම් දුන් පුවතින් ජනාධිපතිවරයාද සතුටින් ඉපිල ගිය බවක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ජනාධිපතිවරයාගේ කටින් පිටවුණේ සේමසිංහවත් නොසිතූ වචන කිහිපයකි.
‘මේක ලොකු ජයග්‍රහණයක්. ඔයත් ඒකෙ ලොකු කොටස්කාරයෙක්. මේක ඔයාගේ දේශපාලන ජීවිතයේ ලොකු ඇචීව්මන්ට් (ජයග්‍රහණයක්) එකක්…’ යැයි කියමින් ජනාධිපතිවරයා සේමසිංහට සුබ පැතීමට කටයුතු කිරීම එහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම විය.
රනිල් සජිත් කතාවක!
ජනාධිපතිවරයා අයවැය ඡන්ද විමසීම පැවැත්වුණු බදාදා දිනයේදී හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණියේ මේ ජයග්‍රහණයේ පණිවුඩයද අතේ තියාගෙනය. එසේ පැමිණි ජනාධිපතිවරයා සුපුරුදු පරිදි සභාවට පැමිණ ආර්ථික මෙන්ම දේශපාලන කතාවක් සිදු කළේය. එහිදී සජිත්වද ඉලක්ක වන පරිදි වරින් වර ප්රහාරද එල්ල කළ ජනාධිපතිවරයා අසීරු මොහොතේ රට භාර නොගත් බව කියමින් හීන් සීරුවේ සජිත්ට ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමටද පියවර ගත්තේය.
යළි උත්තර!
කෙසේ වෙතත් ජනාධිපතිවරයා කතාව අවසන් කිරීමෙන් පසු සුපුරුදු පරිදි සජිත්ද තමන් ඉලක්ක කර ජනාධිපතිවරයා එල්ල කළ ප්රහාරයන්ට පිළිතුරු ලබාදීමට පියවර ගත්තේය. ඒ මොහොතේ ජනාධිපතිවරයා සභාගැබේ නොසිටියද සජිත් කියා සිටියේ තමන් ඒ අවස්ථාවේදී වගකීම භාර නොගත්තේ හොරු රැලක් සමග ආණ්ඩු කිරීමට සූදානම් නොවූ නිසා බවය. මීට අමතරව ජනාධිපතිවරයා කළ කතාවේ එකින් එක කරුණු ගෙන ඊට පිළිතුරු ලබාදීමටද සජිත් පියවර ගත්තේය.
ටීවී එකෙන් බැලුවා!
මේ ආකාරයට අයවැය විවාදය අතරතුර ජනාධිපතිවරයාට පිළිතුරු දුන් සජිත් සිය කතාව අවසන් කොට හිතවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග විපක්ෂයේ ලොබියට පැමිණෙද්දී දුටුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වටකරගෙන ජනාධිපතිවරයා සිනාසෙමින් කතාබහ කරමින් සිටින ආකාරයය. එහිදී අනෙක් මන්ත්‍රීවරුන් සජිත්ට කීවේ ජනාධිපතිවරයා සමග වචනයක් දෙකක් කතාබහ කොට යන ලෙසය. සජිත් ඊට පිළිතුරු දෙමින් කීවේ තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, තමන් ජනාධිපතිවරයා සමග කතාබහ කිරීමට කටයුතු කරන බවත්ය. ඒ අනුව ජනාධිපතිවරයා හා විපක්ෂ මන්ත්‍රීවරු රැඳී සිටි ස්ථානයට ගිය සජිත් ‘ආ කොහොමද ජනාධිපතිතුමා’ යැයි කියමින් සිනාමුසුව ජනාධිපතිවරයා සමග කතාබහ කිරීම ආරම්භ කළේය.
‘කෝ ජනාධිපතිතුමා ඔබතුමාගේ කතාවේදී මට ගහලා මම උත්තර දෙද්දී ඔබතුමා ඇතුළෙ හිටියේ නැහැනෙ’ යනුවෙන් සජිත් කියද්දී ජනාධිපතිවරයා කියා සිටියේ ‘නෑ නෑ මම කාමරේ ඉඳන් ටීවී එකෙන් ඔයාගෙ කතාව බලාගෙනයි හිටියේ’ යැයි කියාය.
මුදල් ඇමැති කව්ද!
සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ එක් එක්කෙනා හැප්පීමේ සූරයකු ලෙසටය. ඒ නිසාමදෝ එතැන සිටි හර්ෂ පෙන්වමින් ජනාධිපතිවරයා සජිත්ට කියා සිටියේ ‘මගේ කතාවෙදී මම හර්ෂ ගැනත් කිව්වා. ඇයි සජිත් ඔයාගෙ කතාවෙදී හර්ෂ ගැන කිව්වෙ නැත්තේ? ඔයාගෙ මුදල් ඇමැති හර්ෂ නෙවෙයිද?’ යැයි කියාය. ඊට වහාම පිළිතුරු දුන් සජිත් කියා සිටියේ තම ආණ්ඩුවක නියත වශයෙන්ම හර්ෂ මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරනු ඇති බවකි.
අපිට ගොඩක් ඉන්නවා!
නමුත් ඊට සිය සුපුරුදු හප්පන වාග් මාලාවෙන් පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ ‘නෑ මම හිතුවේ ඔයා නාලක ගොඩහේවා එක්කත් වැඩ කරන නිසා හර්ෂට මුදල් ඇමැතිකම දෙන එකක් නෑ කියලයි’ යනුවෙනි. වහාම ජනාධිපතිවරයාගේ අරමුණ වටහාගත් සජිත්ද ඊට දුන්නේ අපූරු උත්තරයකි.
‘ඔබතුමාගෙ දේශපාලනය වගේ නෙවෙයි අපේ දේශපාලනය. අපිට මුදල් ඇමැතිලා ගොඩක් ඉන්නවා. හැබැයි මගේ මුදල් ඇමැති හර්ෂ.’ යනුවෙන් සජිත් සිනාසෙමින් කියද්දී එහි සිටි හර්ෂ මෙන්ම අනෙකුත් විපක්ෂ මන්ත්‍රීවරුන්ද සිනාසුණු ආකාරයක් දැකගත හැකි විය.
මඩ ප්‍රචාර දිගටම!
මේ අතර, පසුගිය සතියේ නැවත වතාවක් සජබය ඉලක්ක කොට ගෙන අසත්‍ය මාධ්‍ය වාර්තා කිහිපයක් පළවී තිබූ ආකාරයක් දැකගත හැකි විය. ඉන් එක් මාධ්‍ය වාර්තාවක කියැවුණේ සජිත් සහ රනිල් එක්ව දේශපාලනය කිරීමට සූදානම් බවත්, මේ වන විට දෙපැත්තේම ජ්‍යෙෂ්ඨයන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරතව සිටින බවත්ය. මේ පුවත පළවූ වහාම ඊට පාර්ලිමේන්තුවේදී පිළිතුරු දුන් සජිත් කියා සිටියේ කිසිදු අවස්ථාවක තමන් රනිල් සමග එක්ව දේශපාලනය කරන්නේ නැතැයි කියාය.
ඥාතියාගේ පත්තරෙන්!
මීට අමතරව ජනාධිපතිවරයාගේ පවුලට සම්බන්ධ ඥාතියකුට අයත් ඉංග්‍රීසි පුවත්පතක පසුගිය සිකුරාදා පළකොට තිබූ පුවතකින් කියැවුණේ සජබය සහ සන්ධානගතව ඇති ප්‍රධාන දේශපාලන පක්ෂ හා සජබය අතර මතවාදී ගැටුම් ඇති බවකි. මේ සම්බන්ධයෙන්ද සිකුරාදා දිනයේදීම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් යැයි කියාය.
මුලින් තියන ඡන්දෙ!
පසුගිය මාස කිහිපය පුරාම සංවිධානාත්මක පිරිසක් මෙරට සියලු මාධ්‍ය අල්ලාගෙන ගෙන ගිය ප්‍රචාරයකින් කියවුණේ පළමුව පැවැත්වෙන්නේ මහමැතිවරණය යැයි කියාය. බොහෝ දුරට මෙම මෙහෙයුම දියත්ව තිබුණේ ජනාධිපතිවරයාට හිතවත් පිරිස්වල මැදිහත්වීමෙනි. ඒ අනුව ඔවුන් දිනපතාම පාහේ පුවත් මවමින් මන්තරයක් මෙන් ජපකරමින් කියා සිටියේ පළමුව මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිත බවත්, ඉන් අනතුරුව ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බවත්ය.
ජනපති තහවුරු කරයි!
කෙසේ වෙතත් මීට සති දෙකකට පමණ ඉහතදී විශේෂ අනාවරණයක් කරමින් අප මෙම තීරය ඔස්සේ වාර්තා කර සිටියේ මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, පළමුව පැවැත්වෙන්නේ මහ මැතිවරණය නොව ජනාධිපතිවරණය බවත්, ජනාධිපතිවරයා විසින් එම තීන්දුව ගෙන ඇති බවත්ය. ජනාධිපතිවරයාට හිතවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ජනාධිපතිවරයා මුණගැසී මේ මොහොතේ ජනාධිපතිවරණයක් නොපවත්වා මහ මැතිවරණයක් පවත්වන ලෙස දැනුම් දී සිටියත් ජනාධිපතිවරයා ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටි ආකාරයත් අපි මෙම තීරයෙන් අනාවරණ කර සිටියෙමු. එමෙන්ම පසුගිය සතියේ අප තවත් විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ ජනාධිපතිවරයාට අති සමීප හිතවතකු සමග පැවැති සාකච්ඡාවකදී පළමුව මහ මැතිවරණය පැවැත්වුවහොත් ඉන් කුමන ආණ්ඩුවක් පත්වුවද තමන්ට දවසක් හෝ ජනාධිපති ධුරයේ සිටීමට ඉඩ නොදෙනු ඇති බවත්, එම නිසා පළමුව මහ මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම කළ නොහැක්කක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළ බවකි. ඒ අනුව අප එහිදී කියා සිටියේ නියත වශයෙන්ම පළමුව පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණය යැයි කියාය.
ඒ අනුව අප කළ මෙම අනාවරණය පසුගිය සතියේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී තහවුරු කිරීමට පියවර ගෙන තිබිණි. ඒ, පළමුව ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බවත්, ඉන් අනතුරුව මහ මැතිවරණය සහ අනෙකුත් මැතිවරණ පැවැත්වීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය හරහාය.