සජබ මැයි රැලියට තලතා-රාජිත ආවේ නැත්තේ ඇයි?
ශ්‍රීලනිප ගැටුම කොළඹ අහසටම නගී!
වතුකරයේ ඡන්ද මල්ල කාටද?
නගිනවා නගිනවා කිව්වට කවුරුත් නැග්ගේ නැති එජාප මැයි රැලිය!
රන්නන් ගෙනා අනුර
ආචාර්ය රවී රන්නන් එලිය යනු මේ රටේ ජනතාවට එතරම් හුරුපුරුදු නමක් නොවේ. කොටින්ම කියනවා නම් මීට මාස 6ක් 7ක් වනතෙක් එවැනි නමක් කියැවෙන අයකු සිටියාදැයි කියා මතකයක් නොමැති තරමට ඒ නම ලංකාවේ මිනිස්සුන්ට නුහුරු නුපුරුදු නමක් වී තිබිණි. නමුත් හිටි හැටියේම මේ කියන ආචාර්ය රන්නන් එලියගේ නම කරළියට ආවේ එක්තරා විශේෂ කරුණක් මුල්කරගෙනය. එනම් මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය මුල්කරගෙනය. ඒ, රන්නන් එලිය විසින් සකස් කොට සමාජගත කළ ආන්දෝලනාත්මක මත විමසුමක් නිසාය. මෙම මත විමසුම එක රැයින් ජනප්‍රියත්වයට පත්වූයේ ඒ හරහා කිසිවකුත් නොසිතූ ප්‍රතිඵලයක් රටට අනාවරණ කර තිබූ හෙයිනි. එමගින් කියා තිබුණේ ඒ වන විට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා 51%ක ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ඉහළින්ම සිටින බවත්, 28%ක පමණ ප්‍රතිශතයක් ලබා සමගි ජන බලවේගය දෙවැනුවට සිටින බවත්, පොහොට්ටුව හා එක්සත් ජාතික පක්ෂය ඊට පසුව සිටින බවත්ය.Sri Lanka Latest News
මෙම ප්‍රතිඵලය යම්කිසි පාර්ශ්වයක් විසින් මාධ්‍ය මගින් අනාවරණ කිරීමත් සමග ඊට ජවිපෙන් විශාල ප්‍රචාරයක් ලබාදුන් ආකාරයක් දැකගත හැකි විය. ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා ප්‍රසිද්ධියේම කියා සිටියේ මේ වන විට සිදුකර ඇති අලුත්ම ජනමත විමසුමෙන් අනුර දිසානායක 51%ක් ලබා ජනාධිපතිවරයා ලෙස පත්වන බවට තහවුරු කොට ඇති බවකි. ටිල්වින්ට අමතරව ජවිපෙ නියෝජිතයන් වන සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස වැන්නවුන් පවා ප්‍රසිද්ධියේම මේ මත විමසුමේ ප්‍රතිඵල රටට අනාවරණ කරමින් ජවිපෙ ඉහළ ජයග්‍රහණයක් වාර්තා කරන බව පෙන්වා දුන්හ.
කව්රුවත් හෙව්වේ නෑ
මීට අමතරව ජවිපෙ හිතවතුන් සහ සජබ විරෝධී සියලු කණ්ඩායම් මේ මත විමසුමේ ප්‍රතිඵලය ගැන සිය සමාජ ජාල පිටු ඔස්සේ මහත් උජාරුවෙන් රටට කියන්නට පටන්ගත්හ. යූටියුබ්කාරයෝ මේ ප්‍රතිඵලය සිය යූටියුබ් චැනල්වල පට්ටා ගසන්නට පටන් ගත්හ. මෙරට දේශපාලන ලිපි ලියන නමගිය දේශපාලන විචාරකයෝ යැයි කියා ගන්නා පිරිස් පවා කිසිදු සොයා බැලීමකින් තොරව මේ රන්නන් එලියගේ මත විමසුම උපුටා දක්වමින් සිය පත්තර පිටුවල දේශපාලන පල් හෑලි ලියන්නට පටන්ගත්හ. නමුත් කිසිවකුත් මේ රන්නන් එලිය කවුද, ඔහුගේ මත විමසුම සිදුකර ඇත්තේ කුමන ආකාරයකටද, එහි ප්‍රතිඵළ පිළිගත හැකිද, එය පිටුපස සිටින්නේ කවුරුන්ද, එහි සැඟවුණු න්‍යාය පත්‍රය කුමක්ද යන්න පිළිබඳ ප්‍රශ්න කරන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
අපි නම් හොයාගත්තා
නමුත් ‘රාජ්‍ය රහස්’ තීරය කිසිදු මාධ්‍යයක් මගින් සිදු නොකළ ඒ ගවේෂණය සිදුකරමින් පළමුව මේ රන්නන් එලිය කවුරුන්දැයි සොයා බැලීමක නිරත විය. එහිදී අප හට දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ වුවමනාව මත මේ රන්නන් එලිය නමැත්තා විසින් මෙවැනි ආකාරයේ මත විමසුමක් සිදුකර ඇති බවත්, ඒ හරහා ආණ්ඩුවේ න්‍යායපත්‍රයක් ඉටුකරලීමේ අරමුණෙන් මෙවැනි ප්‍රතිඵලයක් නිකුත් කොට ඇති බවත්ය. ඒ අනුව ජවිපෙට ඉහළ ප්‍රතිශතයක් ඇති බව පෙන්වා දී සජබය සහ එජාපය එකතු වුවහොත් ජවිපෙ පරාජය කළ හැකි බවට මතයක් සජබය ඇතුළේ ඇතිකිරීම මේ මත විමසුමේ සැඟවුණු අරමුණ වී තිබූ බව අපි ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළමුවරට රටට අනාවරණ කිරීමටත් පියවර ගත්තෙමු.
මෙන්න අපි කියපු හැටි
‘ආචාර්ය රන්නන් එලිය නමැත්තකු විසින් සිදුකරන ලද මත විමසුමක තොරතුරු පිළිබඳ මීට මාස කිහිපයකට ඉහතදී රාජ්‍ය රහස් තීරයේ අපි විශේෂ අනාවරණයක් කළෙමු. එහිදී ඊළඟජනාධිපතිවරණයේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා 51%ක් ලබා ජයග්‍රහණය කරන බවක් එම මත විමසුමේ සඳහන් කොට තිබූ අතර, එම මත විමසුමට මෙරට තානාපති කාර්යාලවල ලොකු තැනක් ලැබී ඇති බවක්ද දැකගන්නට ලැබිණ. එමෙන්ම දේශපාලන විශ්ලේෂකයන්ද මෙම මත විමසුම භාවිත කරමින් හෑලි ලියන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. නමුත් ඒ කිසිවකුත් මේ රන්නන් එලිය කවුරුන්ද යන්න පිළිබඳ කිසිදු සොයාබැලීමකින් තොරව ගෙඩි පිටින්ම එම තොරතුරු ගෙන තිබූ ආකාරයක් දැකගත හැකි විය. නමුත් අප විසින් මේ රන්නන් එලිය යනු කවුරුන්ද යන්න සොයාබැලීමේදී දැනගන්නට ලැබුණේ ඔහු නීලන් තිරුචෙල්වම් ආයතනයේ සේවය කරන්නකු බවත්, ඔහුගේ විෂය පථය දේශපාලනයට නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ එකක් බවත්ය. ඒ අනුව මේ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් කළ අප, මෙම රන්නන් එලිය විසින් සජබය සහ එජාපය එකතු කිරීමේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බවත්, අසත්‍ය සහ කිසිසේත්ම පිළිගත නොහැකි මත විමසුම් ඉදිරිපත් කරමින් සජබය සහ එජාපය එකතු වුවහොත් ජවිපෙ පරාජය කළ හැකි බව රටට ඒත්තු ගන්වමින් සිටින බවත් කියා සිටියෙමු. අප කළ අනාවරණයෙන් පසු රන්නන් එලිය ටික කාලයක් යන තෙක්ම මත විමසුම සිදු නොකොට කඩේ වසාගෙන සිටි ආකාරයක් දැකගත හැකි විය.
ආයෙත් එළියට
කෙසේ වෙතත් මේ රන්නන් එලිය පසුගිය සතියේ හිටිහැටියේම තවත් මත විමසුමක ප්‍රතිඵල එළිදැක්වීමට පියවර ගත්තේය. මෙවර ඔහු සිදුකොට තිබුණේ මහ මැතිවරණය ඉලක්ක කොට ගෙන මත විමසුමකි. නමුත් එහිද දැකගන්නට ලැබුණේ කලින් කර තිබූ මත විමසුමට සමාන ප්‍රතිඵලයක්මය. ඒ අනුව එහි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඉදිරි මහ මැතිවරණයකදී 39%ක බලයක් හිමිවන බවත්, සමගි ජන බලවේගය 27%ක ප්‍රතිශතයක් ලබාගන්නා බවත්, පොහොට්ටුව 10%ක ඡන්ද ප්‍රතිශතයක් සහ එජාපය 6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බවත් දක්වා තිබිණි. ඒ හරහාද රන්නන් එලිය නොකියා කියා තිබුණේ එජාපය සහ සජබය එක්වුවහොත් ජාතික ජන බලවේගය පරාජය කළ හැකි බවකි.
කෙසේ වෙතත් මෙම මත විමසුම ඉදිරිපත් කරමින් තමන් කලින් කර තිබූ මත විමසුමකට සම්බන්ධ තොරතුරු කිහිපයක්ද අනාවරණ කිරීමට රන්නන් එලිය කටයුතු කර තිබිණි. එහි සඳහන්ව තිබුණේ ඉකුත් වර මත විමසුම තමන් සිදුකළේ නීලන් තිරුචෙල්වම් ආයතනයෙන් ලද මුදල් ප්‍රතිපාදනයන්ට අනුව යැයි කියාය. නමුත් මෙවර රන්නන් එලිය සිදුකළ මත විමසුමට ප්‍රතිපාදන සපයා දී ඇත්තේ කවුරුන්දැයි එහි සඳහන්ව නොතිබිණි. ඒ අනුව මෙවර මත විමසුමට මුදල් පොම්ප කළේ කවුරුන්දැයි රන්නන් එලිය විසින් පැහැදිලි කළ යුතුව තිබේ. කෙසේ වෙතත් ඉකුත් වර සිදුකළ මත විමසුමේ බොරුව රටට හෙළිව තිබූ නිසා මෙවර කිසිවකුත් රන්නන් එලියගේ මේ අලුත් මත විමසුම පිළිබඳ කතාබහක් සිදුකරන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.’
ලොකුම විහිළුව
කෙසේ වෙතත් මෙහි හොඳම විහිළුව දැකගන්නට ලැබුණේ අනුර කුමාර සිදුකළ ඉන්දීය සංචාරය අතරතුරදීය. එහිදී ඉන්දියාවේ ප්‍රකටම මාධ්‍ය ආයතන දෙකක් වන ‘ද හින්දු’ සහ ‘එන්.ඩී.ටී.වී.’ මාධ්‍ය රන්නන් එලියගේ මෙම ව්‍යාජ මත විමසුම උපුටා දක්වමින් අනුර ඉදිරියෙන් සිටින බව ප්‍රචාරය කළේය. ඒ හරහා අනුරගේ ඉන්දීය සංචාරයට ලොකු ප්‍රචාරයක් ලබාදීමටද මේ ඉන්දීය මාධ්‍ය පියවර ගත්තේය.
කෙසේ වෙතත් රන්නන් එලිය රටට කළ බොරුව හෙළිකිරීමට අප කටයුතු කළා පමණක් නොව, ඉන් අනතුරුව මුළු රටම පමණක් නොව ජාත්‍යන්තරය පවා පිළිගත් මත විමසුම් ආයතනයක් මගින් සිදුකළ මත විමසුමක නිවැරදි ප්‍රතිඵලද ‘රාජ්‍ය රහස්’ තීරයට ඔස්සේ රටට අනාවරණ කිරීමට අපි කටයුතු කළෙමු. මේ ආයතනය මගින් සිදුකරන මත විමසුම් කෙතරම් දුරට නිවැරැදිද කියනවා නම් පසුගිය වසර 20ක කාලය පුරාම ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලන පාර්ශ්වයන්, තානාපති කාර්යාල ආදිය පිළිගත්තේ මේ ආයතනය මගින් සිදුකරනු ලබන මත විමසුම්ය. ඒ අනුව එම ආයතනය මගින් උතුරු නැගෙනහිර හැරුණු විට අනෙකුත් පළාත් සියල්ල ආවරණය වන පරිදි සිදුකළ මත විමසුමකින් අනාවරණ කර තිබුණේ සජිත් ප්‍රමුඛ සජබය 39%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජනාධිපතිවරණයේ ඉහළින්ම සිටින බවත්, 20%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා අනුර දෙවැනි ස්ථානයේ සිටින බවත්ය. පොහොට්ටුව 9%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත්, රනිල් ප්‍රමුඛ එජාපය සහ මෛත්‍රීපාල ප්‍රමුඛ ශ්‍රීලනිපය 5% බැගින් වූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇති බවත් එම වාර්තාවේ සඳහන්ව ඇති බව අපි පෙන්වා දුන්නෙමු. රන්නන් එලියගේ බොරු මත විමසුම එළියට දැමීමෙන් පසු බොහෝ පාර්ශ්ව ඊට අභියෝග එල්ල කළද අප හෙළිකළ මත විමසුමට කිසිදු පාර්ශ්වයක් අභියෝග කිරීමට ඉදිරිපත් නොවීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම විය.
රනිලුත් එකක් කළා
කෙසේ වෙතත් මෙම මත විමසුමේ තොරතුරු එළියට පැමිණීමත් සමග ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් තවත් මත විමසුමක් සිදුකරන ලෙසට මේ ආයතනයටම ලබාදීමට පියවර ගෙන තිබිණි. නමුත් එහි ප්‍රතිඵලයද වී තිබුණේ ඊට කලින් සිදුකළ මත විමසුමේ ප්‍රතිඵලයමය. ඒ අනුව රන්නන් එලිය සිදුකළ මත විමසුම අමු බොරුවක් බව තවදුරටත් තහවුරු විය. දේශපාලන අංශ පමණක් නොව තානාපති කාර්යාලද සජිත් ඉදිරියෙන් සිටින බව මෙම තොරතුරු හරහා පැහැදිලිවම තහවුරු කරගත්හ.
මෙහෙයුම් කිහිපයක්
මේ සියල්ල අතරවාරයේ රන්නන් එලියගේ ව්‍යාජ මත විමසුම පාදක කරගෙන ආණ්ඩුව පැත්තෙන් දේශපාලන මෙහෙයුම් කිහිපයක්ම ක්‍රියාත්මක වී තිබිණී. එක් මෙහෙයුමක් වූයේ එම මත විමසුමට අනුව අනුර ඉදිරියෙන් තබා තිබූ නිසා සජබය බියවද්දා එහි මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුව වෙත බිලී බාගැනීමට තිරය පිටුපස ඉතා සූක්ෂ්ම මෙහෙයුමක් දියත් වීමය. මීට අමතරව සජබයේ සිට ඉවත්ව මේ වන විට ස්වාධීනව සිටින ප්‍රබල මන්ත්‍රීවරයකුද ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව තවත් ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙනයමින් කියා සිටියේ ජවිපෙ ඉදිරියෙන් සිටින නිසා ජවිපෙ ආණ්ඩුවක් පැමිණියහොත් රට ලේ විලක් වනු ඇති බවය. හැමෝටම හිරේ විලංගුවේ වැටීමට සිදුවනු ඇති බවය. විශේෂයෙන්ම ව්‍යාපාරික ප්‍රජාව සහ වෘත්තීය සමිති නායකයන් හමුවෙමින් මේ හිටපු සජබ මන්ත්‍රීවරයා ඔවුන්ට පෙන්වා දී තිබුණේ ජවිපෙ පරාජය කිරීමට නම් සජබය සහ එජාපය එකතුවී ලොකු සටනක් දියත් කළ යුතු යැයි කියාය. ඒ මන්ත්‍රීවරයාගේ වචනවලට රැවැටී සිටි ඇතැම් සජබ මන්ත්‍රීවරුන්ද, ආණ්ඩුව විසින් ගෙන ගිය මෙහෙයුමට රැවැටී සිටි තවත් සජබ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද පසුගිය කාලයේ සිටියේ ආණ්ඩුවට යනවාදෝ නොයනවාදෝ යන්න සිතාගත නොහැකිව වැට උඩය. නමුත් අවසානයේදී අප විසින් සත්‍ය මතවිමසුමේ ප්‍රතිඵලය රටට හෙළිදරව් කිරීමත් සමග වැට උඩ සිටි සියලු මන්ත්‍රීවරුන් රනිල් සමග එක්වීම අතහැර නැවත වතාවක් සජිත් සමග එක පෙළට සිටගත් ආකාරය දැකගත හැකි විය. ඒ හරහා ආණ්ඩුව ගෙන ගිය මෙහෙයුම පමණක් නොව සජබයෙන් ඉවත් වී ස්වාධීනව සිටින මන්ත්‍රීවරයාද ගෙන ගිය මෙහෙයුම සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිණි. එමෙන්ම අප කළ අලුත්ම මතවිමසුමේ ප්‍රතිඵලයේ අනාවරණයෙන් පසු සජබයද විශාල ජවයක් ගෙන ගම් මට්ටමෙන්, නගර මට්ටමෙන් එක වරම පිබිදී ගිය ආකාරයක්ද දැකගත හැකි විය.
ටයිකෝට් අඳින කෙනා
කෙසේ වෙතත් මේ පිබිදීම දරාගත නොහැකි වූ මන්ත්‍රීවරුන්ද සජබය ඇතුළේ නොසිටියා නොවේ. විශේෂයෙන්ම ටයිකෝට් ඇඳගෙන මහා ලොකු චරිතයක් මවාගෙන සිටින එක්තරා මන්ත්‍රීවරයෙක්ට එම ප්‍රතිඵලය දරාගත නොහැකිව තමන්ට හිතවත් කිහිප දෙනකුටම කතාකොට එම ප්‍රතිඵලය වැරැදි බවට දැනුම් දීමට එකල පියවර ගෙන තිබිණි. එසේ කතා කළ කිහිප දෙනෙක්ම පසුව සජිත්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් මේ ටයිකෝට් චරිතයේ හැසිරීම පිළිබඳව සජිත්ට දැනුම් දීමට පියවර ගෙන තිබිණ. නමුත් සජිත් එය වැඩිපුර ගණන් ගත් බවක් දැකගන්නට ලැබුණේ නැත. පසුව යම්කිසි පාර්ශ්වයක් විසින් මේ ටයිකෝට් අඳින මන්ත්‍රීවරයා කතාකර තිබූ ඒ පුද්ගලයන් සියල්ලන්ටම අදාළ මත විමසුමේ සියලු තොරතුරු ලැබීමට සලස්වා තිබිණි. ඒ අනුව ඔවුන්ද එහි සත්‍යතාව වටහා ගැනීමත් සමග ටයිකෝට් අඳින මන්ත්‍රීවරයා ගෙනගිය මෙහෙයුම ලත් තැනම ලොප් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
අලුත්ම මතවිමසුම
මේ සියලු මත විමසුම්වලට අමතරව අප දන්නා ආකාරයට යම් යම් ඔත්තු සේවාවන්ද කාලයෙන් කාලයට රට පුරා විහිදී ගිය සිය ජාලය යොදවා මත විමසුම් සිදුකොට යම් යම් තැන්වලට වාර්තා කරන ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව මීට දින කිහිපයකට ඉහතදී මුළු රටම ආවරණය වන පරිදි සිදුකළ මත විමසුමක තොරතුරු මේ ඔත්තු සේවාවක් විසින් අදාළ පාර්ශ්ව වෙත ලබාදී තිබිණි. එම මත විමසුමේ ප්‍රතිඵලයට අනුව සජිත් මේ වන විට 41%ක ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර, ජවිපෙ 23%ක ප්‍රතිශතයක් ලබා සිටින බවක් වාර්තා කොට තිබිණි. පොහොට්ටුවට එම වාර්තාව මගින් හිමිව තිබුණේ 9%ක ප්‍රතිශතයක්ය. එම ප්‍රතිඵලය දෙස බලන විට එය පැහැදිලිවම අප විසින් කලින් අනාවරණ කළ ජාත්‍යන්තර මත විමසුම් ආයතනය මගින් සිදුකළ මත විමසුමේ ප්‍රතිඵලවලට සමාන ආකාරයක් දැකගත හැකිය. ඒ අනුව මේ සියලු මත විමසුම්වල ප්‍රතිඵලවලට අනුව පැහැදිලිවම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින ආකාරයක් තහවුරු වී තිබේ.
රන්නන් වෙනස් වෙයි
අප මේ ආකාරයට සියලු මත විමසුම්වල ප්‍රතිඵල එකින් එක එළියට දමද්දී මුල්ම අවස්ථාවේ අමු බොරු මත විමසුමක් කළ රන්නන් එලියටද කිසිවක් නොකර සිටින්නට නොහැකි තත්ත්වයක් මතුවී තිබිණි. ඒ අනුව රන්නන් එලිය පසුගිය සතිය වන විට තවත් මත විමසුමක ප්‍රතිඵල එළියට දමා තිබූ ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පළමු අවස්ථාවේ 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා සිටින බව කියා සිටි අනුර කුමාර මේ මාස කිහිපය ඇතුළත 35%ක් දක්වා විශාල පසුබැස්මක් ලබා ඇති බව වාර්තා කොට තිබීමය. එමෙන්ම පළමු වතාවට සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගය අනුර පරදවා 38%ක් දක්වා ඉහළ නැග ඇති බව පෙන්වා දී ඇති රන්නන් එලිය පොහොට්ටුව 8%ක ප්‍රතිශතයකද, එජාපය 5%ක ප්‍රතිශතයකද සිටින බව අනාවරණ කර සිටියේය.
අනුර කියපු අය සජිත්ට
එමෙන්ම තවත් විශේෂ කරුණක්ද සිය මත විමසුමේ සඳහන් කරමින් ඔහු කියා තිබුණේ පසුගිය කාලයේදී දුරකතන ඇමතුම් ලබාදෙද්දී බොහෝ දෙනා ‘අනුරට, අනුරට‘ බව කියා සිටියත්, මේ වනවිට එම පුද්ගලයන් අනුර වෙනුවට සජිත්ගේ නම සඳහන් කිරීමට පෙළඹී ඇති බවකි.
කෙසේ වෙතත් රන්නන් එලිය මේ ආකාරයට මොන මත විමසුම් සිදුකර ප්‍රතිශතයන් වෙනස් කළද අප තවමත් කියන්නේ ඔහු සැබැවින්ම තම පැවැත්ම වෙනුවෙන් කිසිදු ප්‍රමිතියකින් තොරව, විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතා මත හිතෙන හිතෙන ආකාරයට මත විමසුම් ප්‍රතිඵල සඳහන් කරන බවය. කෙසේ වෙතත් අප මුල සිටම නිවැරැදි මත විමසුම් ප්‍රතිඵල රටට අනාවරණ කරමින් ගෙනගිය මාධ්‍ය මෙහෙවර රන්නන් එලියද අවසානයේදී පිළිගෙන තිබීම සම්බන්ධයෙන් අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. ඒ, අප මුල සිටම අපගේ පාඨකයන්ට සත්‍ය තොරතුරු අනාවරණ කළ බව මේ හරහා තහවුරු කොට තිබීම නිසාය. අවසානයේදී රන්නන් එලියටද සිදුව ඇත්තේ අප හෙළිකළ තොරතුරු සත්‍ය බව පිළිගෙන එම තොරතුරු තවදුරටත් තහවුරු කිරීමටය.
එජාප වේදිකාවට නැග්ග අය
පසුගිය සතියේ දේශපාලනය උණුසුම් වී තිබුණේ එකිනෙකට නොදෙවැනි ලෙස කොළඹ මැයි රැලි පැවැත්වීමට දේශපාලන පක්ෂ ගෙන තිබූ උත්සාහය නිසාය. මෙහිදී ඒ ඒ පක්ෂවලින් කොළඹට පැමිණෙන ජනතාව ගැන උනන්දු වෙනවාටත් වඩා බොහෝ දෙනා උනන්දු වී තිබුණේ වෙනත් පක්ෂවලින් එජාප මැයි රැලි වේදිකාවට මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එක්වීමට නියමිත බවට එජාප ප්‍රධානීන් විසින් ගෙනගිය ප්‍රචාරය හේතුවෙන් එම මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න දැකබලා ගැනීමටය. විශේෂයෙන්ම එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ සජබ විශාල කණ්ඩායමක් මැයි දිනයේදී එජාප මැයි රැලියට එකතු වීමට නියමිත යැයි කියාය. මීට පෙරද රංගේ මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සජබ ආර්ථික විශේෂඥයන් වූ හර්ෂ, කබීර්, එරාන්ට යළි එජාපය සමග එක්වන ලෙස ආරාධනාවක් කොට තිබිණි. නමුත් කබීර් එය ඍජුවම ප්‍රතික්ෂේප කරමින් මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණේ යළි එජාපයට එක්වීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බවත්, තමන්ගේ දේශපාලන ගමන සජබය සමග දිගටම සිදුකරන බවත්ය. හර්ෂ මාධ්‍යයට කියා තිබුණේ මේ ආණ්ඩුවේ ආයු කාලය තවත් මාස 6ක් පමණක් යැයි කියාය.
මීට අමතරව සජබයෙන් යළි එජාපයට එක්වූ හරීන් ප්‍රනාන්දුද මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේ මන්ත්‍රීවරු කණ්ඩායමක් එජාපයේ මැයි දින වේදිකාවට ගොඩවීමට සූදානමින් සිටින බවකි. මීට අමතරව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සිය ආසනය වන බියගමදී මාධ්‍ය අමතමින් කියා සිටියේ මැයි දිනයේදී විශාල ‘දේශපාලන පිපිරුමක්‘ සියලු දෙනාටම දැකබලාගත හැකි වනු ඇතැයි කියාය. දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් එජාප මැයි දින වේදිකාවේදී රටටම දැකබලාගත හැකි වනු ඇති බවත්, ඒ හරහා විශාල පෙරළියක් එදිනට සිදු වනු ඇති බවත් රුවන් බියගමදී කී බව ඔහුගේ පවුලේ පුවත්පත වන ‘ඩේලි මිරර්’ පුවත්පත මහ ඉහළින් වාර්තා කොට තිබිණි. ඒ අනුව සියලු දෙනාම බලා සිටියේ රංගේත්, හරීනුත්, රුවනුත් කී ආකාරයට මැයි දිනයේදී එජාප වේදිකාවට ගොඩවන සජබ මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න දැකබලා ගන්නටය. නමුත් අවසානයේදී කිසිදු සජබ මන්ත්‍රීවරයෙක් එජාප වේදිකාවට අලුතෙන් ගොඩවූ ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. එහි සිටියේ මීට කාලයකට පෙර ආණ්ඩුවට එක්වූ වඩිවේල් සුරේෂ්, ඩයනා ගමගේ වැනි පිරිසකි. විශේෂයෙන්ම බොහෝ දෙනා සිතා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල්ට සහාය දක්වන බව ප්‍රසිද්ධියේම කියා සිටි පොහොට්ටුවේ ප්‍රබලයන් වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, රමේෂ් පතිරණ, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණවීර වැනි පිරිස් හෝ එජාප වේදිකාවේදී දැකබලා ගත හැකි වනු ඇති බවකි. නමුත් ඔවුන්ද සිටියේ පොහොට්ටු වේදිකාවේය.
ධම්මිකට ඉහළ තැනක්
පොහොට්ටුව මෙවර මැයි රැලිය සැමරුවේ බොරැල්ල කැම්බල් පිටියේදීය. ජාතික සංවිධායක ධුරය භාරගැනීමෙන් පසු නාමල් විසින් සංවිධාන කළ පළමු මැයි රැලිය සහ ප්‍රධාන හමුව මෙය වීම නිසා නාමල් ඊට වැඩි බරක් තබා කටයුතු කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. එමෙන්ම අප පසුගිය සතියේ විශේෂ අනාවරණයක් කරමින් මෙවර පොහොට්ටු මැයි දින වේදිකාවේදී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් යම් ඉඟියක් ලබාදීමට පොහොට්ටුව සැලසුම් කරමින් සිටින බවක් වාර්තා කර සිටියෙමු. අප අනාවරණ කළ පරිදිම මෙවර පොහොට්ටු වේදිකාවේදී කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා හට ලොකු තැනක් ලබාදීමට බැසිල් පියවර ගෙන තිබිණි. ඒ, වේදිකාවේ ඉදිරි පෙළ අසුනක් ධම්මිකට ලබාදීමට කටයුතු කිරීම හරහාය. නාමල් සහ බැසිල් අතර තිබූ අසුන ධම්මිකට ලබාදීමට එහිදී බැසිල් පියවර ගෙන තිබිණ.
එමෙන්ම පොහොට්ටු මැයි දින වේදිකාවේදී මෙවරත් ආකර්ෂණීයම චරිතය බවට පත්වුණේ වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය. මහින්දට එදා තිබූ ආකර්ෂණය අදද ඒ ආකාරයෙන්ම පවතින බව දැකගන්නට ලැබුණේ සුපුරුදු පරිදි මහින්ද වේදිකාවට ගොඩවෙද්දී පාක්ෂිකයන් සහ මන්ත්‍රීවරුන් මහින්දව වටකරගෙන ඔහුට ආචාර කිරීම නිසාය. විශේෂයෙන්ම මහින්දගේ පැමිණීමෙන් පාක්ෂිකයන් තුළ විශාල පිබිදීමක් තිබූ බවක් දැකගන්නට ලැබිණි. මීට අමතරව නිතරම රනිල්ව වර්ණනා කරන කංචන, රමේෂ්, මහින්දානන්ද වැනි මැති ඇමැතිවරුන් මහින්දව ඉහළින්ම වර්ණනා කරමින් අදහස් දැක්වීමත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය. කෙසේ වෙතත් වසර දෙකකට පෙර ජන අරගලය හමුවේ බිංදුවටම ඇද වැටුණු පක්ෂයක් සහ ජනාධිපතිවරයකු පලාගිය පක්ෂයක් වසර දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත විශාල පිරිසක් කොළඹට කැඳවා මැයි රැලියක් පැවැත්වීමට තරම් ශක්තිමත් තත්ත්වයක් ගොඩනගා ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනා බැසිල්ට සුබ පැතූ ආකාරයද මෙහිදී දැකගන්නට ලැබිණි.
සජබ ජාජබ රැල්ලක්
ජවිපෙ මෙවර කොළඹ, මාතලේ, මාතර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක හතරේම ප්‍රධාන මැයි රැලි හතරක් සංවිධාන කිරීමට පියවර ගෙන තිබිණි. ජවිපෙ ඇතුළේම විග්‍රහයට අනුව මින් හොඳම රැස්වීම තිබී ඇත්තේ මාතරය.
කෙසේ වෙතත් අපට ඇති තොරතුරුවලට අනුව ඉහළම ජන සහභාගිත්වයක් තිබූ මැයි රැලි දෙක වූයේ සජබ මැයි රැලියත්, ජවිපෙ මැයි රැලියත්ය. නිල වාර්තාවලට අනුව සජිත් සහභාගි වූ චැතැම් වීදියේ පැවැති සජබ මැයි රැලියට 45,000කට අධික ජනතාවක් සහභාගි වී තිබේ. එම සංඛ්‍යාව මැයි රැලිය පැවැති චැතැම් වීදියේ සහ ඒ අවට රැස්ව සිටි පිරිස පමණක් වන අතර, ඊට අමතරව රැස්වීම් භූමියට පවා පැමිණීමට නොහැකිව බස් රථවල සහ ප්‍රධාන මාර්ගවල තවත් අතිවිශාල පාක්ෂිකයන් පිරිසක් රැඳී සිටි බව නිල වාර්තාවලින් වගකිව යුතු ස්ථානවලට දැනුම් දීමක් කර තිබේ.
එම වාර්තාවලට අනුව ජවිපෙ රැලිවලට සහභාගි වී සිටි පිරිස 30,000කි. 15,000ක ප්‍රමාණයක් පොහොට්ටුවේ මැයි රැලියටද, 12,000ක ප්‍රමාණයක් එජාපයේ මැයි රැලියටද සහභාගි වී ඇති බව එම වාර්තාවලින් පෙන්වා දී තිබිණ.
ෆොන්සේකා ඇවිත් යයි
සජබ මැයි රැලියේදී විශේෂ සිදුවීම් කිහිපයක්ම යම් යම් මාධ්‍ය වාර්තා කොට තිබිණි. ඉන් ප්‍රධාන එකක් වී තිබුණේ සජබ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රැස්වීමට පැමිණ මොහොතකින් පසු ඉන් ඉවත්ව ගිය බවක් වාර්තා කොට තිබීමය. ඊට හේතුවී තිබුණේ වෙන කිසිවක් නොව ෆොන්සේකාට සජබ මැයි රැලියේ කතාවක් ලබාදී නොතිබීමය. මැයි රැලිය සංවිධාන කිරීම සඳහා කිසිදු දායකත්වයක් නොදැක්වීම ෆොන්සේකාට කතාවක් ලබා නොදීමට හේතු වූ බව පසුව එහි ප්‍රධාන සංවිධායකවරයකු වූ සුජීව සේනසිංහ ප්‍රකාශ කොට තිබිණි. මීට අමතරව තලතා අතුකෝරලද සජබ මැයි දින වේදිකාවේ දැකගන්නට ලැබුණේ නැත. ඊට හේතුවී තිබුණේ තලතා මේ වන විට විදෙස්ගතව සිටීම නිසාය.
රාජිතට මොකද වුණේ?
එමෙන්ම රාජිත සේනාරත්නද සජබ මැයි රැලියට සහභාගි නොවූ බව ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබිණි. රාජිත ඊට සහභාගි වී නොතිබුණේ පසුගිය දිනවල ඔහුව යම්කිසි ශල්‍යකර්මයකට භාජන කොට තිබීම නිසාය. රාජිත වෙනුවට ඔහුගේ බිරිය වන සුජාතා සේනාරත්න කළුතරින් පාක්ෂිකයන් විශාල පිරිසක්ද සමග සජබ මැයි රැලියට එකතු වීමට කටයුතු කොට තිබිණි.
වතුකරයේ ජනරැල්ල
මීට අමතරව වතුකරයේ පැවැති මැයි රැලි දෙක සම්බන්ධයෙන්ද යමක් කිව යුතුව තිබේ. ඉන් එක් රැලියක් සංවිධාන කොට තිබුණේ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු වන ජීවන් තොණ්ඩමන් විසින් කොටගල ප්‍රදේශයේය. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ජනාධිපතිවරයාය. දෙවැනි රැස්වීම සංවිධාන කොට තිබුණේ වතුකරයේ සජබ රජා වන පලනි දිගම්බරම්ය. තලවාකැලේ පැවැති එම මැයි රැලියේ ප්‍රධාන ආරාධිතයා වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. බැලූ බැල්මටම අතිවිශාල පිරිසක් සහභාගි වී සිටියේ දිගම්බරම් සංවිධාන කළ තලවාකැලේ රැස්වීමටය. එහිදී පළමු වතාවට සජිත් දමිළ භාෂාවෙන් ජනතාව අමතමින් ඉදිරි රජයක් යටතේ වතුකරයේ ජනතාව වතු හිමියන් බවට පත්කරන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කළේය. එහිදී රැස්ව සිටි ජනතාව දිගින් දිගටම අත්පොලසන් දෙමින් සජිත්ට ඉහළ ප්‍රතිචාරයක් ලබාදුන් ආකාරයක් දැකගත හැකි විය.
රනිල්ගේ 1700
කොටගල පැවැති ජීවන් තොණ්ඩමන්ගේ රැලියේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් මේ වන විට වතුකරය කලඹවාලීමට සමත්ව තිබේ. ඒ, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ දැමීමට අවශ්‍ය ගැසට් පත්‍රය ආණ්ඩුව විසින් ඊට පෙර දින නිකුත් කිරීමට කටයුතු කළ බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කරන විට රැස්ව සිටි වතු කම්කරුවන් හුරේ දමමින් අත්පොලසන් දුන්නද, ජනාධිපතිවරයා එසේ කියා පැය කිහිපයක් ගතවීමට මත්තෙන් වතු හාම්පුතුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවැන්නක් පිළිබඳ තම සංගමය දැනුවත් නොමැති බවකි. එමෙන්ම එවැනි වැටුපක් ලබාදිය නොහැකි බව කියා සිටි වතු හාම්පතුන්ගේ සංගමය එම ගැසට් පත්‍රයට එරෙහිව අධිකරණය හමුවේ ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කර තිබිණ.
ඒ අනුව දැන් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දී ඇත්තේ වෙන කවුරුවත් නොව ආණ්ඩුවේ වතු කම්කරු නියෝජිතයා වන ජීවන් තොණ්ඩමන්ය. ජනාධිපතිවරයා වතුකරයට පැමිණ අතහැරි මෙම බෝම්බයෙන් ඉදිරියේදී බැට කෑමට සිදුවනු ඇත්තේ ජීවන් තොණ්ඩමන්ටය. මන්ද යත් ජනාධිපතිවරයා දෙනවා කි රුපියල් 1,700ක දෛනික වැටුප නොලැබෙන විට වතු කම්කරුවන්ගේ ප්‍රශ්නවලට උත්තර දීමට සිදුවන්නේ ජීවන් තොණ්ඩමන්ට වීම නිසාය.
ගැහුවෙම සජිත්ට
කෙසේ වෙතත් මෙවර ප්‍රධාන මැයි රැලි තුනේදීම එක්තරා පොදු කාරණාවක් දැකගන්නට ලැබිණි. ඒ, අන් කිසිවක් නොව එජාප මැයි රැලියේදීත්, පොහොට්ටුවේ මැයි රැලියේදීත්, ජවිපෙ මැයි රැලියේදීත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රහාර එල්ල කිරීම සඳහා රනිලුත්-මහින්දත්-අනුරත් වැඩි කාලවේලාවක් වෙන්කොට තිබීමය. එසේ රනිලුත්, මහින්දත්, අනුරත් සිය මැයි දින වේදිකාවලදී දිගින් දිගටම සජිත්ට පහරදීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ අප මෙහිදී අමුතුවෙන් සඳහන් කරන්නේ නැත. එය වටහා ගැනීම පාඨකයන් සතු කාරණාවකි. නමුත් සිය මැයි දින කතාවේදී සජිත් නම් කිසිවකුටත් පහර එල්ල කරන්නට ගියේ නැත. ඒ වෙනුවට සජිත් කළේ රට ගොඩනගන සැලැස්ම ජනතාව හමුවේ තැබීමට පියවර ගැනීමය.
අලුත් සෙල්ලමක්
ආණ්ඩුව ඉදිරි මැතිවරණයේදී ප්‍රධාන තුරුම්පුවක් ලෙස පාවිච්චි කිරීමට සැලසුම් කොට තිබුණේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කරගැනීමේ මාතෘකාවය. ඒ හරහා ලංකාව විශාල ජයග්‍රහණයක් ලැබූ බව පෙන්වමින් එය ජනාධිපතිවරණයේ විශාල තුරුම්පුවක් බවට පත්කර ගැනීමට ආණ්ඩුව සැලසුම් සකස් කර තිබිණි. නමුත් පසුගිය සතියේ අප විශේෂ අනාවරණයක් කරමින් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කියා සිටියේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවත්, පැරිස් සමාජය ඉදිරිපත් කළ යෝජනාවට ලංකාවේ ප්‍රධාන ණය හිමියා වන චීනය අකැමැත්ත ප්‍රකාශ කර ඇති බවත්ය. ඒ අනුව මේ වන විට විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇත්තේ චීනයත්, පැරිස් සමාජයත් දෙපැත්තට අදින තැනක බව අපි එහිදී පෙන්වා දුන්නෙමු. නමුත් ආණ්ඩුවට අවාසියක් වීම හේතුකොට ගෙන මෙම තත්ත්වය ආණ්ඩුව පැත්තෙන් රටට කියන ආකාරයක් නම් තවමත් දැකගන්නට නැත.
කෙසේ වෙතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කියන්නට සූදානම් වන්නේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අසාර්ථක වීමෙන් පසු ආණ්ඩුව දියත් කොට ඇති අලුත් මෙහෙයුමක් පිළිබඳවය. ඒ අනුව ආණ්ඩුව මේ වන විට සැලසුම් කර ඇත්තේ විදෙස් ණය ප්‍රතිවයුහගත කිරීම සම්බන්ධයෙන් එක් වැඩසටහනක් ක්‍රියාත්මක නොකොට පැරිස් සමාජය සමග ඊට අදාළ එක් වැඩසටහනකුත්, චීනය සමග තවත් වැඩසටහනකුත් ක්‍රියාත්මක කිරීමටය. නැතහොත් ප්‍රතිපත්ති දෙකක් යටතේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටය.
නමුත් විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලොව කිසිදු රටක් මේ ආකාරයේ වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කර ඇති බවක් දැනගන්නට නැත. එසේ වුවහොත් එය ඒ ඒ රටවල් වෙනත් රටවල් සමග ඇතිකරගෙන ඇති ණය ගිවිසුම්වලට බරපතළ ලෙස බලපානු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. අනෙක් අතට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද දැනුම්දී ඇත්තේ සියලු දෙනාම එක වැඩසටහනක් යටතට ගොනුකර ගන්නා ලෙසටය. නමුත් දැනට ඇති අර්බුදකාරී තත්ත්වය යටතේ ආණ්ඩුව සැලසුම් කර ඇත්තේ සිය අවසන් තුරුම්පුව ලෙස මෙසේ චීනය සහ පැරිස් සමාජය සමග ණය වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කරගැනීම සඳහා කිසියම් එකඟතාවකට එළඹීමටය.
ශ්‍රීලනිප සටන අහසට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර ගම්පහදී මැයි දින රැලියක් සංවිධාන කළේ බරපතළ මතගැටුම් මධ්‍යයේය. මේ වන විට පක්ෂයේ කණ්ඩායමක් දෙකක් එළිපිට දැකගන්නට ඇති අතර, දෙපාර්ශ්වයෙන්ම තම තනතුරුවල නෛතිකභාවය තහවුරු කරන ලෙස ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවී ඇති බවක් දැකගන්නට පුළුවන. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපති ධුරයට එරෙහිව දැනටමත් නිමල් සිරිපාල පාර්ශ්වය අධිකරණ තීන්දුවක් ගෙන ඇති අතර, වැඩබලන සභාපතිවරයා වශයෙන් මෛත්‍රීපාල පිල පසුව පත්කළ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිවද මේ වන විට නිමල් සිරිපාල පිල අධිකරණ නියෝගයක් ගෙන තිබේ. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් යටතේ මෛත්‍රීපාල ගම්පහ මැයි රැලියට සහභාගි වෙමින් සිය පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් වන බව සඳහන් කර සිටියේය.
මේ ආකාරයට නිමල් සිරිපාල පිල සහ මෛත්‍රීපාල පිල දෙකඩ වී ප්‍රසිද්ධියේ කාකොටා ගත්තද පසුගිය දිනෙක කොළඹ ඉහළ අහසේදී දෙපාර්ශ්වයේම නියෝජිතයන් එක් තැනක සිට ඉතා සුහදව කතාබස් කරන ආකාරයක් දැකගත හැකි විය. කොළඹ ඉහළ අහසේ යනුවෙන් අප කියා සිටියේ ලංකාවේ ඉහළම කුලුන ලෙස සැලකෙන නෙලුම් කුලුනේ කැරකෙන අවන්හලේ සිට මෙම සාකච්ඡාව පැවැත්වීම නිසාය. සාකච්ඡාවක් කීවාට එහි පැවැතියේ එක්තරා විශේෂ උත්සවයකි. ඒ, විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතාගේ නීතිඥ දිවියට වසර 25ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධාන කොට තිබූ එකකි. ඊට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට අමතරව අධිකරණය හමුවේ පවතින නඩුවේදී ඔහුගේ ප්‍රතිපාර්ශ්වය නියෝජනය කරන නිමල් සිරිපාල, මහින්ද අමරවීර යන අයද සහභාගි වී සිටියහ. ඒ අනුව මෙහිදී විජයදාසත්, නිමල් සිරිපාලත්, අමරවීරත් අතර ඉතා සුහද සංවාදයක් සිදුවිය. එහිදී නිමල් සිරිපාල කෙළින්ම විජයදාසට කියා සිටියේ තමන්ට විජයදාස සමග කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත්, ප්‍රශ්නය ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන සමග බවත්ය. විජයදාස සමග එකට කටයුතු කිරීමට තමන්ට ගැටලුවක් නොමැති බවද මෙහිදී නිමල් සිරිපාලත්, අමරවීරත් විජයදාසට කියා සිටියහ.
රොමේෂුත් ඇවිත්
ඒ වනවිට විජයදාසගේ නීතිඥවරයා ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සිටියේ විජයදාසට තරමක් එහාට වන්නට අසුන්ගෙනය. ඒ අනුව විජයදාස කළේ රොමේෂ්ටද මෙම සාකච්ඡාවට සම්බන්ධ වන ලෙස ආරාධනා කොට නිමල් සිරිපාලලා කියන කතාව අසන ලෙස දැනුම් දීමය.
කෙසේ වෙතත් මෙම නඩුව පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ කැඳවූ අතර, රොමේෂ් එහිදී විජයදාස වෙනුවෙන් විශේෂ නීති තර්ක කිහිපයක්ම අධිකරණයේ ඉදිරිපත් කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහි තීන්දුව ලබාදීම ලබන 07 වැනිදා දක්වා කල්දැමීමට අධිකරණය කටයුතු කළේය. ඒ කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසුව බොහෝ දෙනා කියා සිටි කාරණාවක් වූයේ අධිකරණ තීන්දුව කුමක් වුවත් ඉදිරියේදී නිමල් සිරිපාලලාත්, විජයදාසට සහාය පළ කිරීමේ ඉඩකඩක් ඇති බවකි.
රනිල්ට ආ තහනම
මීට අමතරව පසුගිය සතියේ තවත් විශේෂ අධිකරණ තීන්දුවක්ද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන්නේය. ඒ, ලබන ඔක්තෝබර් මාසය වන තෙක් අගවිනිසුරුවරයා හැර කිසිදු විනිසුරුවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කිරීමට නොහැකි වන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කිරීම හරහාය.
විවාදයේ අලුත්ම කතාව
සජිත් – අනුර මුහුණට විවාද මාතෘකාව පසුගිය සති කිහිපයේදී රටේ තොටේ හැම තැනකම උණුසුම් මාතෘකාවක් වී තිබුණද ජවිපෙ පැත්තෙන් ඊට දැක්වූ ඇල්මැරුණු ප්‍රතිචාරය නිසා මේ වන විට එම මාතෘකාවද ඇත්තේ තරමක් ඇල්මැරීය. සජබය මුලින්ම ජවිපෙ ආර්ථික කමිටුවට විවාදයකට එන ලෙසට අභියෝග කරද්දී ඉන් මඟහැරීම සඳහා ජවිපෙ පැත්තෙන් ලැබුණු උත්තරය වූයේ මෙය ජනාධිපතිවරණයක් බැවින් විවාදය පැවැත්විය යුත්තේ අනුර – සජිත් අතර යැයි කියාය. ඒ හරහා සජිත් එම විවාදය මඟහරිනු ඇතැයි ජවිපෙ සිතා සිටියත්, සිදුවූයේ ජවිපෙ නොසිතූ පරිදි පැය කිහිපයක් යෑමට මත්තෙන් තමන්ද විවාදයට සූදානම් බවට සජිත් ප්‍රකාශයක් සිදුකිරීමය. ඒ අනුව ගහපු තුරුම්පුව වැරැදී ගිය බව මොහොතක් යෑමට මත්තෙන් වටහාගත් ජවිපෙ එතැන් සිට විවාදය කඩාකප්පල් කිරීම සඳහා විවිධ උප්පරවැට්ටි යෙදූ ආකාරයක් දැකගත හැකි විය. ඉන් පළමුවැන්න වූයේ විවාදයට ගෑවීවත් නොසිටි ජනාධිපතිවරයාගේ නම ඊට ගාවාගැනීමය. එය සිදුකළේ හරිනි අමරසූරියය. ඒ අනුව හරිනි කියා සිටියේ මෙය ජනාධිපතිවරණයක් බැවින් ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාම එක්ව විවාද කළ යුතු යැයි කියාය.
මේ ප්‍රකාශය සිදුකොට මොහොතක් යෑමට මත්තෙන් තවත් විශේෂ සිදුවීමක් සිදුවිය. ඒ, ජනාධිපතිවරයාගේ මාමාගේ පුවත්පත වන ‘ඩේලි මිරර්’ පුවත්පත එම විවාදය සඳහා වේදිකාව සකස් කිරීමට සූදානම් බවට වූ පුවතක් පළකිරීමය. සජිත්-අනුර විවාදය සඳහා දෙපැත්තෙන්ම කැමැත්ත ප්‍රකාශ කළ විට සිරස, හිරු, දෙරණ යන ප්‍රධාන නාලිකා තුනම එය සජීව ලෙස විකාශය කිරීමට කැමැත්ත පළකරද්දී රනිල් – සජිත් – අනුර තිදෙනාගේ විවාදය විකාශය කිරීමට අඩුම තරමින් විද්‍යුත් නාලිකාවක් හෝ නොමැති ජනාධිතිපවරයාගේ පවුලට අයත් ‘ඩේලි මිරර්’ පුවත්පත භාරගැනීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය.
මෙහිදී දැකගන්නට ලැබුණු අනෙක් ලොකුම විහිළුව වූයේ අනුර – සජිත් විවාදය විකාශය කිරීමට සිරස, හිරු, දෙරණ නාලිකා කැමැත්ත පළකරද්දී වචනයක් හෝ නොකියා නිහඬව සිටි ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා ඩේලි මිරර් පුවත්පත රනිල් – සජිත් – අනුර විවාදය විකාශය කිරීමට භාරගනිද්දී ඊට එකඟ බව එම පුවත්පතටම ප්‍රකාශ කිරීමය. ඒ හරහා අනුර – සජිත් විවාදය කඩාකප්පල් කිරීමට තිරය පිටුපස පැවැති දේශපාලන ඩීල් එක හෙළිදරව් වූ බව බොහෝ දෙනාගේ අදහසය.
එකම වේදිකාවක
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය භාරගත් දින සිටම ආණ්ඩුව පැත්තෙන් ක්‍රියාත්මක වූ මෙහෙයුමක් වූයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කරගැනීමය. අවස්ථා ගණනාවකදීම ආණ්ඩුව පැත්තෙන් කියැවුණු කාරණාවක් වූයේ සජබයෙන් මන්ත්‍රීවරු විසි ගණනක්, තිස් ගණනක් ආණ්ඩුවට එකතු වීමට නියමිතව ඇතැයි කියාය. නමුත් විසි තිස් ගණනක් තියා සජබ එකදු මන්ත්‍රීවරයකුවත් ආණ්ඩුවට එක්වන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.
එම මෙහෙයුම අසාර්ථක වීමත් සමග රනිල්ගේ පැත්තෙන් ක්‍රියාත්මක වූ ඊළඟ මෙහෙයුම වූයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට බාගත නොහැකි නම් සජිත් සමග මුළු සජබයම රනිල් සමග එකතු කිරීමය. ඊට කපුකම කිරීමට එජාපයේ කිහිප දෙනකුද සජබය ඇතුළේ සිටින කිහිප දෙනකුද පසුගිය කාලය පුරාම උත්සාහ කළද සජිත් ඒ සෑම අවස්ථාවකදීම තමන් රනිල් වික්‍රමසිංහ මහතා සමග කිසිසේත්ම එකතු නොවන බවටත්, රනිල් සමග ඩීල් නොදමන බවටත්, කිසිවකුත් ඒ සඳහා උත්සාහ නොකරන ලෙසටත් කියා සිටීම නිසා එම උත්සාහයද අසාර්ථක විය.
මේ ආකාරයට රනිල් – සජිත් එකතු කිරීමට දෙපැත්තේ සිටින පිරිස්වලට නොහැකි වුවද මීට දින කිහිපයකට ඉහතදී රනිල් – සජිත් – අනුර යන තිදෙනාම එකතු කිරීමට විශාල මෙහෙයුමක් තිරය පිටුපස දියත් විය. ඒ සඳහා මූලිකත්වය ගත්තේ වෙන කවුරුවත් නොව මෙරට නමක් දිනා සිටින වෘත්තීය දේශකයන් හෙවත් ටියුෂන් මාස්ටර්ලාගේ සංගමයය. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ රනිල් – සජිත් – අනුර යන තිදෙනාම එකම වේදිකාවක් මත තබා රටේ ප්‍රශ්න කතා කිරීමටය. ඒ අනුව මෙම යෝජනාව ටියුෂන් ගුරුවරුන්ගෙන් තිදෙනාටම ඉදිරිපත් වීමෙන් පසු ජනාධිපතිවරයා නම් එම යෝජනාව උඩපැන භාරගන්නා ආකාරයක් දැකගත හැකි විය. ඒ සජිත් – අනුර සමග විවාද කිරීමකට වඩා ඒ දෙදෙනා සමග එකම ඡායාරූපයකට පෙනීසිටීමේ අවස්ථාව ජනාධිපතිවරයාට උදාවීම නිසා විය හැකිය.
වෙලාවන් තුනක්!
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පැත්තෙන් ඒ සඳහා කොළ එළිය දැල්වුණද සජිත් සහ අනුරගේ පාර්ශ්වයෙන් ඊට එකවර කැමැත්ත හිමිවූයේ නැත. සජිත් සහ අනුර යන දෙදෙනාටම සහාය දක්වන විශාල පිරිසක් මෙම සංගමය තුළ සිටීම නිසා ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමටද නොහැකි බැවින් ඒ දෙපාර්ශ්වයෙන් ඊට විකල්ප යෝජනා ඉදිරිපත් වූ ආකාරයක් දැකගත හැකි විය. සජිත් සහ අනුර දෙදෙනාම ජනාධිපතිවරයා සමග එකම වේදිකාවකට ගොඩවීමට අකැමැත්ත ප්‍රකාශ කළද උත්සවයට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළේ නැත.
ඒ අනුව අවසානයේදී තීන්දු වූයේ එකම වේදිකාවක් වුවද වේලාවන් 3කට තිදෙනා වේදිකාවට කැඳවීමටය. ඒ අනුව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට ඔවුන් දැනුම් දී සිටියේ සවස තුනේ සිට හතර දක්වා උත්සවයට සහභාගි වී හරියටම හවස 4ට පිටව යායුතු යැයි කියාය. ඉන් අනතුරුව හතරේ සිට පහ දක්වා සජිත් උත්සවයට සහභාගි වී සිය කතාව පවත්වා හරියටම පහට පිටව යා යුතු බව දැනුම් දී තිබිණි. අනුරට වෙන්කොට තිබුණේ සවස පහේ සිට හය දක්වා කාලයයි.
තීරණාත්මක ජනාධිපතිවරණයක් කට මුල පැවැතියදී රනිල් – සජිත් – අනුර යන තිදෙනාම එකම වේදිකාවකට එකවර ගෙන ඒමට ටියුෂන් මාස්ටර්ලා ගත් උත්සාහය අවසානයේදී ‘එකවර’ යන කොටස හැලී ‘එකම වේදිකාවට’ යන කොටසට පමණක් සීමා වූ ආකාරයක් දැකගන්නට ලැබුණද තිදෙනාම වේලාවන් තුනකදී එකම වේදිකාවට පැමිණ එකම මයික්‍රෆෝනයකින් සිය කතාව සිදුකළ ආකාරයක් දැකගත හැකි විය.