පසුගිය යහපාලන රජය සමයේ සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරනු ලැබූ දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට එරෙහිව නිකුත් කර තිබූ නිර්දේශ හා සොයාගැනීම් බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (25 වැනිදා ) රිට් ආඥා නිකුත් කරන ලදී.Sri Lanka Latest News
ඒ අනුව අදාළ කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර, ජනාධිපති නීතිඥවරුන් වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ ජේ.සී. වැලිඅමුණට එරෙහිව නිකුත් කර තිබූ නිර්දේශ හා සොයා ගැනීම් ද බල රහිත කිරීමට අභියාචනාධිකරණය විසින් තීන්දු කළේය.
ඊට අමතරව මෙම පෙත්සම්කරුවන්ට එරෙහිව අදාළ කොමිසම විසින් නිකුත් කර තිබෙන නිර්දේශ හා සොයා ගැනීම පදනම් කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් තවත් ආඥාවක්ද අභියාචනාධිකරණය විසින් නිකුත් කරනු ලැබුවේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී.එන්. සමරකෝන් සහ මොහොමඩ් ලෆාර් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඒකමතිකව මෙම තීන්දුවේ සඳහන් කර තිබුණේ පෙත්සම්කරුවන්ට එරෙහිව මේ ආකාරයෙන් නිර්දේශ නිකුත් කිරීමේදී අදාළ කොමිසම සිය නීත්‍යනුකූල බල සීමාව අභිබවා ගොස් කටයුතු කර ඇති බවයි.
අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, එහි සාමාජිකයන් වන චන්ද්‍රා ජයතිලක, චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ.
මෙම පෙත්සම් විභාගය පැවැති අවස්ථාවේදී අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන් නීතිපතිවරයා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් සිදු කර ඇති නිර්දේශ හා සොයා ගැනීම් පිළිබඳව ඉදිරි පියවර නොගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීන්දු කර ඇති බව දැනුම් දී තිබුණි. එහෙත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ තර්ක කර තිබුණේ වගඋත්තරකාර කොමිසමට සිය සේවාදායකයන්ට එරෙහිව මේ ආකාරයෙන් නිර්දේශ නිකුත් කිරීමට බලයක් නොමැති බවයි. ඒ අනුව අදාළ නිර්දේශ බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
එසේම අදාළ නිර්දේශ බල රහිත කරන ලෙස පෙත්සම්කරුවන් කරනු ලබන ඉල්ලීමට නීතිපතිවරයා ද විරෝධය පළ නොකළ බව අභියාචනාධිකරණය සිය තීන්දුවෙන් පෙන්වා දී ඇති බව අරුණ පුවත්පත වාර්තා කොට ඇත.
ඒ අනුව පෙත්සම්කරුවන්ට එරෙහිව අදාළ නිර්දේශ නිකුත් කිරීමේදී එම කොමිසම තමන්ට පැවරී ඇති නීතිමය බලය අභිබවා ගොස් ක්‍රියාකර ඇති ආකාරයක් පෙනී යන බවත් එය නීතියට පටහැනි ක්‍රියාවක් බවත් අභියාචනාධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේය.
සියලු කරුණු සලකා බැලීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වන ව්‍යවස්ථාව ප්‍රකාරව අදාළ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් පෙත්සම්කරුවන්ට අදාළ නිර්දේශ බල රහිත කිරීම සඳහා තම අධිකරණයට බලය පැවරී ඇතැයි පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඒ අනුව මෙම රිට් ආඥා නිකුත් කරන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියහ.