පසුගිය සතියේ මෙරට ප්‍රධානම මාතෘකාවක් බවට පත්වූයේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා දිවයිනට පැමිණ උමාඔය ව්‍යාපෘතිය විවෘත කර ලංකාවෙන් පිටවූවාටත් වඩා, ඒ මහතාගේ කොළඹ ගමන හේතුකොට ගෙන ආරක්ෂක හේතු මත පාරවල් වැසීම නිසා දහස් ගණනක ජනතාවකට මහ පාරේ පැය ගණනක් සිරවී සිටින්නට සිදුවීමය. මේ කරුණු මාධ්‍යවලින් දැකගන්නට ලැබුණත් මාධ්‍ය නොදන්නා තවත් විශාල කතාවක්ද ඉරාන ජනාධිපතිවරයාගේ ලංකා සංචාරය පසුපස තිබිණි. ඇත්තම කියනවා නම් ඉරාන ජනාධිපතිවරයාගේ මේ ලංකා සංචාරයට ආණ්ඩුව මුහුණ දුන්නේ යුද්ධයක් කරනවා හා සමාන පසුබිමක සිටය.Sri Lanka Latest News
ඉරාන ජනාධිපතිවරයාගේ ලංකා සංචාරය සඳහා මූලික පදනම වැටුණේ ඉකුත් වසරේ ජනාධිපතිවරයා ගිය ඇමෙරිකානු සංචාරය අතරතුරදීය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා ගිය ගමනේදී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා ඉරාන ජනාධිපතිවරයාට ආරාධනා කර තිබිණි. පසුව ඉරානය කළ දැනුම්දීමකින් කියැවුණේ උමාඔය විවෘත කිරීමේ අවස්ථාවට ඉරාන ජනාධිපතිවරයා සහභාගි වීමට සූදානමින් පසුවනවා යැයි කියාය. ඒ වන විට ලෝක දේශපාලන තුළ ඉරානය සම්බන්ධයෙන් වැඩි අවධානයක් නොතිබුණු නිසා කිසිදු ගැටලුවක් මතුව තිබුණේ නැත. නමුත් පසුගිය මාසය වන විට ඊශ්‍රායල් පලස්තීන යුද්ධයට ඉරානයද පැටලී ඇමෙරිකාවද ඊට අත දැමීම නිසා ඉරාන ජනාධිපතිවරයා ලෝකයේම මාතෘකාවක් බවට පත්ව තිබිණි. එවැනි වටපිටාවකදී ඉරාන ජනාධිපතිවරයාගේ ලංකා ගමන අතරතුර ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම බරපතළ ගැටලුවක් බව අලුතෙන් කිවයුතු නැත. ඒ අනුව, වඩාත්ම බරපතළ ගැටලුවකට මුහුණ දුන්නේ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයය. මේ අවස්ථාවේදී ඉරාන ජනාධිපතිවරයාට ලංකාවේ සංචාරය නොකරන ලෙස කිව නොහැකි නිසා ඉරානය පැත්තෙන්ම සංචාරය අත්හිටුවනු ඇති බවක් ඔවුන් මුලින් සිතා සිටියේය. නමුත් ඉරානය පැත්තෙන් සංචාරය තහවුරු කිරීමත් සමග ඊළඟ ගැටලුව වූයේ ඉරාන ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයන ආකාරය පිළිබඳවය. විශේෂයෙන්ම ඉරාන ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවකදී ලංකාව ඇතුළත ගුවන් ගමන් සිදු නොකරනු ඇති බවට ඉරානය පැත්තෙන් දැනුම් දීමක් කොට තිබූ නිසා ගොඩබිම් මාර්ගයෙන් ඉරාන ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයමින් රැගෙන යෑම ඉතා භාරදූර කර්තව්‍යයක් වී තිබිණි. ලොකුම ගැටලුව වූයේ කටුනායකින් ඉරාන ජනාධිපතිවරයා පිළිගෙන උමාඔය දක්වා රැගෙන යෑමය. එවිට ගොඩබිම් මාර්ගයෙන් දීර්ඝ ගමනක් යෑමට සිදුවන නිසා ඉරාන ආරක්ෂක බලධාරීන් විමසා සිටියේ උමා ඔයට ආසන්නම ගුවන් තොටුපළ කුමක්දැයි කියාය. මත්තල ගුවන් තොටුපළ කරළියට පැමිණියේ ඉන් අනතුරුවය. ඒ අනුව ඉරාන ආරක්ෂක බලධාරීන් දැනුම් දුන්නේ ඉරාන ජනාධිපතිවරයා මත්තලින් ලංකාවට පැමිණ එතැන් සිට ගොඩබිම් මාර්ගයෙන් උමාඔය විවෘත කිරීමේ අවස්ථාවට එකතු වනු ඇති බවකි.
කෙසේ වෙතත් ආණ්ඩුවට කෙසේ හෝ ඉරාන ජනාධිපතිවරයා කොළඹට ගෙන්වා ගෙන ඔහුත් සමග සාකච්ඡා කොට ලොකු ෂෝ එකක් පෙන්වීමට අවශ්‍යව තිබිණ. ඉරාන ජනාධිපතිවරයා ඊශ්‍රායල් පලස්තීන ප්රශ්නය මුල්කරගෙන පලස්තීනයට සහාය දැක්වීම හේතුවෙන් මෙරට මුස්ලිම් ජනතාවගේද විශාල ප්‍රසාදයකට ලක්ව සිටීම ඊට හේතුවය. ආණ්ඩුව සහ මුස්ලිම් ප්‍රජාව අතර මේ වන විට යම් යම් ගැටලු මතුව තිබීම හේතුවෙන් ඉරාන ජනාධිපතිවරයා සමග කොළඹ හමුවක් සංවිධාන කිරීම හරහා මුස්ලිම් ජනතාවගේ සහයෝගය ආණ්ඩුව වෙත ලබාගැනීමට ආණ්ඩුවේ අපේක්ෂාව විය. මේ හේතුව නිසා මත්තල සිට යළිත් ඉරාන ජනාධිපතිවරයා කොළඹට රැගෙන ඒම සඳහාත්, කොළඹදී ජනාධිපතිවරයා සමග පැවැත්වෙන හමුව අවසන් කොට කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ ඉරාන ජනාධිපතිවරයා රැගෙන යෑම සඳහාත් ඉතා දීර්ඝ වේලාවක් අධිවේගී මාර්ගය සහ අවශේෂ මාර්ග වසාදැමීමට මෙරට බලධාරීන්ට සිදුවිය. ඒ හේතුවෙන් සතියේ දවසක් වූ පසුගිය බදාදා දින දීර්ඝ කාලයක් ප්‍රධාන මාර්ගවල එක තැන සිරවී සිටින්නට මගී ජනතාවට සිදුවිය. එමෙන්ම මත්තල තිබූ ඉරාන ජනාධිපතිවරයා පැමිණි ගුවන් යානය පසුව කටුනායකට රැගෙන ඒමටත් ඉරාන ආරක්ෂක බලධාරීන්ට සිදුවිය.
ඉරාන ජනාධිපතිවරයා ලංකාවේ සිටියදී තවත් විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුවිය. ඉන් එකක් වූයේ ඉරානයත් සමග වෙළෙඳ ගිවිසුම්වලට අස්සන් තබන රටවලට ආර්ථික සම්බාධක පැනවීමේ අවදානමක් ඇති බවට ඇමෙරිකාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කිරීමය. මීට අමතරව ඇමෙරිකාව ප්‍රධාන වගකීමක් දරන ආසියා පැසිෆික් කමාන්ඩ් එක හදිසි යුද අභ්‍යාසයක් ත්‍රිකුණාමලයේ සිදුකිරීමට අවශ්‍ය බව දැනුම් දී සිටියේය. ඒ අනුව ඉරාන ජනාධිපතිවරයා ලංකාවේ සිටියදීම ඇමෙරිකානු භටයන්ට ත්‍රිකුණාමලයේ යුද අභ්‍යාසයක් සිදුකිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදීමට ආණ්ඩුවට සිදුවිය.
මහින්දගේ නම නෑ
මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් යමක් සඳහන් කළ යුතුව තිබේ. මෙම ඉරාන උමාඔය ව්‍යාපෘතිය සඳහා යෝජනාව ඉදිරිපත් කළේ වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. එවක හිටපු ඉරාන ජනාධිපති අහමඩි නෙජාඩ්ගෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබාගැනීමට පවා මහින්ද කටයුතු කොට තිබිණි. නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ උමාඔය විවෘත කිරීමේ උත්සවයට සකස් කරනු ලැබ තිබූ ආරාධනා පත්‍රයේ මහින්දගේ නම හෝ ඡායාරූපය හෝ පළව නොතිබීමය. ඒ වෙනුවට එහි ඉරාන ජනාධිපති රයිසිගේත්, රනිල්ගේත්, දිනේෂ්ගේත්, පවිත‍්‍රාගේත්, කංචන විජේසේකරගේත්, ශෂීන්ද්‍ර රාජපක්ෂගේත් නම් සහ ඡායාරූප පමණක් ඇතුළත් කොට තිබිණි. මේ බව අප එම ආරාධනා පත්‍රය දුටු වහා www.mawratanews.lk අප වෙබ් අඩවිය ඔස්සේ පළකිරීමට කටයුතු කළෙමු. ඒ සමගම එම පුවත පත්තු වී ගිය ආකාරයක් දැකගත හැකි වූ අතර, ජනාධිපතිවරයාද වහාම මහින්දට කතාකොට උමාඔය විවෘත කිරීමේ උත්සවයට පැමිණෙන ලෙසත්, අවශ්‍ය නම් තමන් ඒ සඳහා හෙලිකොප්ටර යානයක් ලබාදීමට කටයුතු කරන බවත් සඳහන් කර සිටියේය. නමුත් මහින්ද ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව, උමාඔය විවෘත කිරීමේ උත්සවයට පවා සහභාගී නොවී සිටීම විශේෂ සිදුවීමත් විය.
කෙසේ වෙතත් මෙම සිදුවීම පසුගිය බ්‍රහස්පතින්දා දින කොළඹ පැවැති දැවැන්ත ඉන්දීය ආයෝජනයක් වූ ITC RATNADIPA හෝටලය විවෘත කිරීම සඳහා යම් වාසිසහගත තත්ත්වයක් ගෙන දුන් ආකාරයක් දැකගත හැකි විය. ඒ, එම උත්සවයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කිරීමට වගකිවයුත්තන් කටයුතු කර තිබීම හරහාය. ITC RATNADIPA හෝටලයේ ඉදිකිරීම් ආරම්භ කළේ ගෝඨාභයගේ පාලන සමයේදීය. ඒ සඳහා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විශාල වැඩකොටසක් කර තිබිණි. ඒ අනුව ගෝඨාභය මෙම උත්සවයට සහභාගි වී සිටි අතර, ජනාධිපතිවරයා සිය කතාවේදී බැසිල් රාජපක්ෂ මහතාට විශේෂ ස්තුතියක් සිදුකිරීමට කටයුතු කිරීම විශේෂ සිදුවීමක් විය.