පසුගිය සති කිහිපයේ ආණ්ඩුවේ ආන්දෝලනාත්මකම චරිතය බවට පත්ව සිටියේ වෙන කවුරුවත් නොව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාය. ඊට හේතුව ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු වශයෙන් සිටියදීම විජයදාස ශ්‍රීලනිපයේ වැඩබලන සභාපතිවරයා ලෙසට පත්වීමත්, පසුව එම තනතුර අධිකරණය මගින් වාරණයකට ලක්කිරීමත් නිසාය. විජයදාස රාජපක්ෂ මහතා දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයෙන් තමන්ට ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් යැයි කියාය.
කෙසේ වෙතත් ආණ්ඩුව පැත්තෙන් විජයදාසගේ ප්රශ්නය මුල්කරගෙන මතුව ඇත්තේ බරපතළ ගැටලුවකි. ඒ, ශ්‍රීලනිපයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් සිටින චන්ද්‍රිකා පිලේ නිමල් සිරිපාල ද සිල්වා මහතාත්, ශ්රීලනිපය විසින් වැඩබලන සභාපති ලෙස තෝරා පත්කරගනු ලැබූ විජයදාසත් එකම කැබිනට් මණ්ඩලයේ අසුන් ගෙන සිටීම නිසාය. දේශපාලනය දන්නා ගොඩක් අය කියන්නේ මෙහිදී ජනාධිපතිවරයාගේ සහාය සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ සහාය නිමල් සිරිපාලගේ පිලට ඇතැයි කියාය.Sri Lanka Latest News
කෙසේ වෙතත් වැඩබලන සභාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව විජයදාස ජනාධිපතිවරයාගෙන් හමුවීම සඳහා වේලාවක් ඉල්ලා තිබිණි. එම ඉල්ලීම අනුව විජයදාස හා ජනාධිපතිවරයා අතර මුහුණට මුහුණ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා විජයදාසගේ මුහුණටම කියා සිටියේ, ‘මේක ලොකු ප්‍රශ්නයක්. අන්න දැන් ඔයාව පොහොට්ටුවෙන් අයින් කරන්නයි යන්නේ. එහෙම වුණොත් ඒ අය ඔයාව මන්ත්‍රීකමෙනුත් අයින් කරාවි.’ යැයි කියාය. ඊට සුපුරුදු සිනාවෙන් යුතුව විජයදාස කියා සිටියේ තමන් ඊට මුහුණ දීමට සූදානම් යැයි කියාය. තමන් ශ්‍රීලනිපයෙන් දේශපාලනය ආරම්භ කළ අයකු බවත්, ඒ හේතුව නිසා තමන් ශ්‍රීලනිපයේ වැඩබලන සභාපති ධුරය භාරගත් බවත් මෙහිදී විජයදාස ජනාධිපතිවරයාට කියා සිටියේය.
අපේක්ෂකයෝ දෙන්නෙක් බෑ
ඉන් අනතුරුව ජනාධිපතිවරයා තවත් ප්‍රශ්නයක්ද විජයදාසට ඉදිරිපත් කළේය.
‘මට කීප දෙනෙක්ම කිව්වා ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නෙක් ආණ්ඩුව ඇතුළේ ඉන්න බෑ කියලා. මට නම් ඒකට කමක් නෑ. හැබැයි ඇමැතිවරු කියනවා ඒ අයට ඒක ප්‍රශ්නයක් කියලා.’ යනුවෙන් ජනාධිපතිවරයා කියද්දී විජයදාස ඊට කිසිදු පිළිතුරක් නොදෙමින් සිනාසුණු ආකාරයක් දැකගන්නට ලැබිණි.
තත්ත්වය එසේ වුවත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ඒ වන විටත් ආණ්ඩුවේ ඉහළම තැනකින් විජයදාසව පොහොට්ටුවෙන් ඉවත් කරන ලෙසට පණිවුඩයක් ගොස් තිබූ බවකි. නමුත් පොහොට්ටුව එය මඟහරිමින් සිටින බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ සඳහා පොහොට්ටුවට හේතු කිහිපයක්ම තිබේ. ඉන් එකක් වී ඇත්තේ විජයදාසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතහොත් චන්ද්‍රිකා පිල ශ්‍රීලනිපයේ බලය අල්ලනු ඇති බවට පොහොට්ටුව වෙත තොරතුරු ලැබී තිබීමය. මන්ද විජයදාස නියෝජනය කරන්නේ චන්ද්‍රිකාට එරෙහි පිලය. අනෙක් අතට විජයදාස යනු මහින්දගේ ගමේම උපන් චරිතයකි. එම නිසා විජයදාසට එරෙහිව මහින්දලා තීන්දුවක් ගනු ඇතැයි සිතිය නොහැකිය. ඊට අමතරව විජයදාසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතහොත් ජී.එල්. ඇතුළු කණ්ඩායමට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටද පොහොට්ටුවට සිදුවේ. නමුත් ඡන්දයක් කට මුල තිබියදී මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන උසාවි ගොස් ඒ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම දක්වා කටයුතු කිරීමට කාලයක් නොමැති වීමද මෙසේ ඔවුන්ට එරෙහි ක්‍රියාමාර්ග නොගැනීමට හේතුවක් වී ඇත.