අද භික්ෂුන් අතුරෙහි විෂමාචාර ඇතියෝ බහුල යැයි අසමගිය ඇති යැයි එබැවින් ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය යැයි කියන්නෝ ද නොයෙක් අයුරින් දක්නා ලැබෙත්. භික්ෂු සංඝයාගේ පාලනය පිණිස සංඝරාජ ප්‍රතිසංස්කරණ කරන්නට තැත් කරන්නෝ කෙනෙකුන් පත් කැර ගන්නට කෙනෙක් යෝජනා කරති.
කෙනෙක් මහනායක බලය ආණ්ඩුවේ සහායෙන් දැඩි කැර ලන්නට තැත් කෙරෙති.
මෙසේ එක් ප්‍රධානයකු පත්කරගෙන ඔහුට මුළු බලය පවරා ආණ්ඩුව ලවා එය සම්මත කරවාගෙන සංඝයා පාලනය කිරීමට විධිවිධාන සැලැස්මෙන් යහපතක් වේ යැයි ආගම නොදන්නා ගිහියෝත් පිළිගෙන එකී අදහස් ක්‍රියාවෙහි යෙදවීමට නළියති.
සංඝරාජ කම් මගින් හෝ අද පත්කැරෙන අන්දමේ මහනායක කම් මගින් හෝ මේ භික්ෂු සංඝයාගේ පාලනය විය යුතු සරිනම් එය බුදුරදුන් විසින් වදාළ විය යුතුව තිබුණේය. සංඝයාගේ පාලනය එක පුද්ගලයකු පිට පැවරීමට අපේ බුද්ධ ධර්මයෙන් නම් ඉඩක් නැත.
භික්ෂු සංඝයා ආණ්ඩු කිරීම තමාට පවරා ගන්නට කතාකළ දෙව්දතුනට බුදුරදුන් වදාළේ එය සැරියුත් මුගලන් දෙනමටවත් නොපවරන බවය. එසේ නම් කිසිම ලෝකෝත්තර ගුණ මාත්‍රයක් නැති භික්ෂුවකට සියලු සංඝයා ආණ්ඩු කිරීමට පැවරීම ශාසනයේ වර්ධනයට නොව විනාශයට පාර කැපීමකි. බුරුම සියම් රටවල එය කරතැයි කිව්වත් එයට නොව අප ගරුකළ යුත්තේ බුද්ධ වචනයටයි.
පෙර බුරුම රට සඟරජෙක් නොමඟ ගොස් අලජ්ජිකම් වඩමින්, අලජ්ජියනට රුකුල් දෙමින් රජද සහාය කොට ගෙන ලජ්ජ භික්ෂුනට හිරිහැර කරමින් ශාසන විනාශයක්ම කෙළේය. ඊළඟට ඇති වූ දැහැමි රජු කාරණය තේරුම් නොගත්තේ නම් වැඩිකල් යන්නට පෙර බුරුම රට භික්ෂුන් ටිබෙට්හි තන්ත්‍ර නිකායික ලාමාවරුන් මෙන් වන්නට තිබිණි.
සඟ රජකමක් තරම් මහ බලයක් තබා ඊට කුඩා නායකකමක් ලත් තරමින් අපේ භික්ෂුහු කෙතරම් දරුණු වැඩ කෙරෙත් ද යත් අපේ ඇතැම් නායකවරුන් ඉඩම් සම්බන්ධ නඩුවලදී බොරු සාක්ෂි කීම, පෞද්ගලික ඊර්ෂ්‍යා උඩ භික්ෂුන් තහනම් කිරීම් යන ආදීන් පත් මගින් ප්‍රකට වූ රටට නොරහසක් වූ දුෂ්ට ක්‍රියාවලින් හෙළි වී තිබේ. සඟ රජකම් තබා අද තිබෙන මහා නායකකම්වත් ශාසනානුලෝම නොවේ.
මෙහිදී සැලකිය යුතු එක් කාරණයක් ගොපක මොග්ගල්ලාන සූත්‍රයෙහි දැක්වේ.
බුදුරදුන් පිරිනිවී අලුත රජගහ නුවරදී අනඳ තෙරුන් හමුව ගොපක මොග්ගල්ලාන බමුණුහු කළ කතාවක් ඇරුබ වස්සකාර බමුණා කතා කෙරෙමින්, ‘බුදුරදුන් තමන්‌ගේ ඇවෑමෙන් භික්ෂු සංඝයාට ප්‍රතිෂ්ඨාව පිණිස කිසියම් භික්ෂුවක් පත් නොකරන ලද දැයි’ ඇසීය.
‘නැතැ’යි අනඳ තෙරහු වදාළහ.
‘එවිට සංඝයාගේ පාලනය කෙසේ වී දැයි’ ඇසූ බමුණුට තෙරණුවෝ මෙසේ වදාළහ.
‘ඒ භාග්‍යවතුන් වහන්‌සේ අපට වදාළ ශික්ෂා පද කෙනෙක් ඇත. දෙසූ ප්‍රාතිමෝක්ෂයෙක් ඇත. එක් ගමක් ඇසිරු කොට යම් පමණ භික්ෂුහු වසත් නම් ඒ අපි හැම එක් වර්ෂයකට වරක් පැමිණෙන හැම පොහෝ දිනෙකදීම එක් තැනකට රැස්වමු. රැස්ව ඒ ඒ සිකපද ඒ පාමොක් දෙසම්හ. එය දෙසන කල එහි සඳහන් වන වරද කළ භික්ෂුවෙක් වී නම් ධර්මය වූ පරිදි විනයෙහි පෙනෙන පරිදි ඔහුට ඊට සුදුසු ප්‍රතිකර්ම කරමු. එහිලා ඔහුට එය කරනුයේ අප නොව ධර්මයමය’.
‘සංඝයා යමකුට ගරුබුහුමන් දක්වමින් ඇසුරු කොට මෙසේ නම් එබඳු එක් භික්ෂුවෙක් ඇද්දැයි’ බමුණා එවිට ඇසීය.
‘ඇතැයි’ තෙරණුවෝ වදාළහ.
‘සංඝයාට පිළිසරණ වූ (වත්මන් වහරින් එකම මහා නායක හෝ සඟ රජ වූ) භික්ෂුවක් බුදුරජහු පත්නො කළහයි, කියා යළි සංඝයා ගරු බුහුමනින් ඇසිරු කරන භික්ෂුවෙක් ඇතැයි කියන ඔබේ මේ කතාවේ තේරුම කිම් දැයි’ බමුණා ඇසීය.
එවිට තෙරණුවෝ බුදුරජුන් වදාළ කරුණු දහයෙකින් සමන්විත ඒ කරුණු දශය දැක්වූහ.
ඔහු නම් ප්‍රාතිමෝක්ෂයෙහි වදාහළ සිකපද රැක්ම, ධර්මධර බව, සිව්පසයෙහි ලද දැයෙකින් සතුටු වන ගුණය, සතර ධ්‍යාන ලත් බව, දිවැස් ඇති බව, කෙලෙස් නැසූ බව යන කරුණුයි. මේ කරුණින් යුත් භික්ෂුව ඇසුරු කෙරෙමින් භික්ෂුන් වසන බව තෙරහු වදාළහ.
මේ තුබුණු පාලන ක්‍රමයයි. පහසුවෙන් එක් රැස්විය හැකි තරම් දුර වසන භික්ෂුහු තමනට අනුශාසන කරන යට කී ගුණවලින් යුත් මහතෙර කෙනකුන් ඇසිරු කෙරෙති. පොහෝ දින එක්තැන්ව විනය බණ අසති. ඒ මිස හැතැප්ම පනස හැට ඈත සිටින මහානායක නැමැත්තකුගේ යටතට වී උපසම්පදාදී විනය කර්මවලට ඔහු දක්නට කදමලු බඳවාගෙන ගොස් පුදා එය කරවාගෙන ඊමේ සිරිතෙක් හෝ තමන් ඉන්න පසෙකට ඒ මහානායක තැන කොහොමවත් වැඩමවාගෙන, ඒ විනයකර්ම දත්තවුන් සිටියත් මහානායක නාමදාරියාම ලැබ හෝ ඔහු වෙනුවෙන් අයකු ඔහුගෙන්ම ලැබ හෝ ඒ විනයකර්ම කළ යුතු යැයි නියමයෙක් නොවීය. උපසම්පදාදී විනයකර්ම එකම තැනෙක කළ යුතුය, යනුද මහනායක කොතරම් ඈතින් වුවද කැඳවාගෙන යුතුමය, යන ආදීන් අද බෙහෙවින් රටේ පවත්නා මතය බුදු බණට එකඟ නොවූ සංඝ දුට්ඨුතාව පිණිස සංඝ අපාසුතාව පිණිස පවත්නා එකෙකි.
දුර බැහැරින් කුලපුතුන් මහණ උපසම්පදා පිණිස බුදුරජුන් වෙත ඊමේදී ඔවුනට වන අපහසුකම් දැක ‘මහමණනි, තෙපි තොප වසන ඒ ඒ පළාත්හිදී මහණ උපසම්පදා කරවු’යැයි බුදුරදුන් වදාළේ අනුන් දුන් දැයින් ජීවත්වන අය වූ භික්ෂුන්ගේ පහසුව පිණිසය.
එහෙත් ඒ සියලු පහසුව නැතිවන පරිදි වූ ‘මහානායක’ ආණ්ඩුක්‍රමය නිසා උපසම්පදාව ලබන කාලය ළංවන විට බොහෝ පැවිදි තැන් මුදල් සම්මාදම් කරන්නන් බවට පැමිණ තිබෙන බව නොරහසකි. අවුරුද්දකට වරකුත් දක්නට නොලැබෙන තරම් දුර සිටින මහනායකයකුම යටතේ ඈත පළාත්හි සියලු භික්‍ෂුන්ම සිටිය යුතුය යන නීතියෙක් බුදු බණෙහි නැත.
එහෙත් රටවල් ආණ්ඩු කරන රජුන්ගේ ක්‍රමය ගුරකමට ගැන්මෙන් බුදු දහමෙහි පෙනෙන ක්‍රමය නොතකා හැර සඟ රජකම්, මුළු පළාතකටම මහනායකකම ආදියත් සාදාගෙන හෝ එයම මනා ක්‍රමය යැයි තහවුරු කරගන්නට හෝ වෙන පළාතෙක තිබෙන භික්‍ෂු කාරකසභාවකට සියලු සංඝයා යටතේ කැරලීමට හෝ උත්සාහ කරතොත් එය භික්‍ෂු සංඝයාට අහිත පිණිස, අපහසුව පිණිසම වේ. මේතාක් මහනායකවරුන් පාලනය කරන භික්ෂු සංඝයාගේ සැබෑ අභිවෘද්ධියෙක් නම් අද සංඝ ප්‍රතිසංස්කරණය ඝෝෂයක් වෙන්නට ඉඩ නැත.
‘උඩ සඳහන් දශ ගුණවලින් උතුරු මිනිස්දම් තිබේවා. ඉතිරි ප්‍රාතිමෝක්ෂ සංවර සංවෘතතා, බහුශ්‍රැතතා, චීවර පිණ්ඩපාතාදියෙහි යථාලාභ සන්තෝෂ යන ගුණ තුනවත් ඇති මහානායකවරු කීදෙනෙක් ලක්දිව ඉඳිත් දැයි මැදිහත්ව සලකා බලත්වා.
මෙත්ත සූත්‍රයෙහි භික්ෂුව තුළ ඇති කරගත යුතු ගුණ වදාරන බුදුරජහු නොකට යුත්තෙන් වැළකී කට යුත්තෙහි යෙදීමේ සමීති බව, ඍජු බව, ඉතා ඍජු බව, මෘදු බව, සුවච බව, අනතිමානී බව, ලත් පසයෙන් සතුටු වන බව, ගිහියා විසින් පෝෂණයට ලෙහෙසි බව, කර්මාරාමතාදී රහිත බව, හෑල්ලු දිවි පෙවෙත ඇති බව, සංඝ ගණ ආදී අට තන්හි ප්‍රගල්භ නොසරැප් වූ ක්‍රියාදිය නැති බව, දායක කුලයන්හි නොඇලුණු බව, ආදියෙන් භික්ෂුව යුක්ත වනු මනා යැයි වදාළහ.
ඒ සියල්ලම තබා ලද දැයින් සතුටුවන බව, හෑල්ලු දිවි පෙවෙත, සුවච බව, සුඛසම්භාසතා අබ්බකුට්කතාදි වශයෙන් වූ මෘදු බව යන ගුණ සතරවත් ඇති මහානායකවරු කීදෙනෙක් ලක්දිව ඇත්ද?
මහනායකවරු මෙසේ නම්, ඔවුනට යටත්, ඔවුන් අනුව යන, භික්ෂුන් ගැන කියනු කවරේද?
මහනායකවරුන් යටතේ සිටින භික්ෂුන් අතරෙහි සිටින මිල මුදලින් පොහොසත් හෝ පිරිස් බලයෙන් පොහොසත් හෝ භික්ෂුව කොතරම් තක්කඩිකමක් කළත් ඒ නායක තැන ඊට නිශ්ශබ්ද වේ. ඒ දෑතින්ම දුබල වූ භික්ෂුවෙක් නම් විනය නයින් දඬුවම් දෙන රඟදැක්ක හැකියි. මුදලට වහල් වූ ද පිරිස අඩුවේ යැයි සිතා අගතියෙන් ක්‍රියාකරන්නා වූද මහනායකවරුන්ගෙන් කවර යහපතෙක්ද?
සැබෑ සංඝ පාලනය කළ යුත්තේ නායක නමක් පටබැඳගත් එක් මිනිසකුගේම යටතට භික්ෂුන් පැමිණවීමෙන් නොවේ. එසේ කිරීමේ ආදිනව බොහෝය. ඒයින් සංඝයාගේ දුෂ්ප්‍රතිපත්ති ආදියද වැඩිවේ. අසමගිය දියුණු වේ. පාපි පුඟුලකු මහනායක වීමෙන් ලජ්ජ භික්ෂුන්ගේ බලය හීනවී පාපි බලයම නැගේ.
අපේ සංඝයා හැබෑ ශාසනාලයෙන්, එසේම නිර්භයව ක්‍රියාකරතොත් සංඝයාගේ පාලනය නිසිලෙස සලසාගත හැකිවෙයි. ඒ බුදුවදන් අනුවම කරගත යුතු වෙයි.
පළමු කොට නායකකම දීම සහ ගැනීම නැමැති විහිළුව අත්හැර දැමිය යුතුය. ‘සඟරජ’ නම් ගැනීමේ නාඩගමට නොබැස්ස යුතුයි.
ඒ ඒ පළාත්වල ධර්ම විනයධර මහතෙරහු ඇත්තාහ. එයින් තමනට අභිමත වූ ශික්ෂාකාමී යම් යම් මහ තෙරුන්ගේ ආශ්‍රයය ඇතිව ඒ යම් තෙර කෙනකුන් උපාධ්‍යාය කොටගෙන ඒ ඒ තම තමන් සිටිනා පළාත්හි පැවිදි උපසම්පදා කිරීමට සලසාගත යුතුයි.
කුල දූෂණාදිය කරන භික්ෂුන්ට යාළු මිත්‍රකම් ආදියට නොවහල් පබ්බාජනීයකර්මාදිය කිරීමෙන් ඔවුන් හික්මීමට එකමුතු විය යුතුය. මෙසේ වූ ඒ ඒ පිරිස්වලට අනුශාසනා කරන මහා තෙරවරුන් උනුනට ඊර්ෂ්‍යා නොකර සමගිසම්පන්න විය යුතුය.
මම ම සංඝයාගේ පාලකයා වෙමියි සිතූ දෙව්දත් තෙරුන් අනුව නොයා යුතුයි. විනය අනුව නඩු අසා වැරදිකරුසේ ඔප්පුවීමෙන් එක් පිරිසෙකින් ඉවතලූ මහණහු පිරිස් ලෝභයෙන් ළංකර නොගත යුතුය.
‘නායක’ ‘සංඝරාජ’ යන නමින් තමා හඳුන්වන්නට හෝ අනුන් ලවා තමාට එය කියවා ගන්නට හෝ එසේ නොකීවොත් උරණ වන්නට හෝ නො සිතිය යුතුය.
අප මෙසේ කීවත් නායක නම්වලට ලොහොබි වූ පක්ෂයට මේ අප්‍රිය වේ.
ඇත්ත දැන දැනත් උහු ඒ නො පිළිගනිත්. ‘නායතා විනස්සන්තියි’ කියා එය නොපිටට තෝරා මෝඩයන් රවටත්.
එහෙත් බුදුරදුන් භික්ෂුවනට දුන් ශාසනික නිදහස කැමැති තරුණ භික්ෂුහුවත් ශාසනාලයෙන් ඉදිරිපත්ව රජයේ උදව්වද ලබාගෙන දුර්වල භික්ෂුන් පෙළෙන්නට ආයුධයක් සේ කරගන්නට ඇතැමුන් තැත් කරන වර්තමාන ‘මහානායකකම’ සිඳදමා බුද්ධ කාලයේත් ඊට සමීප කාලයේත් පැවැති නියම ශාසන පාලන ක්‍රමය ඇතිකර ගන්නට යත්න කෙරෙත්වා.
අද තියෙන මහා නායකකම්, සංඝරාජකම්, ශාසනනායකකම්, ශාසනයට හානිකර දෑසේ සලකා දුරින් දුරලත්වා.
මෙසේ කිරීමෙන් සැබෑ සංඝ ප්‍රතිසංස්කරණය ඇතිවේ.

චන්ද්‍රසේන මාරසිංහ
මෑත භාගයේ භික්ෂුන් වහන්සේ නමක් විසින් ලබන ලද ඉහළම නම්බු නාම ලබා ඇත්තේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන්ය
විද්‍යෝදය සහ සබරගමු විශ්වවිද්‍යාල දෙකෙන්ම පිරිනමන ලද ‘සාහිත්‍ය සූරී’ උපාධි, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් පිරිනමන ලද ‘සාහිත්‍ය චක්‍රවර්ති’ උපාධිය, උඩරට අමරපුර නිකායෙන් පිරිනමන ලද ‘ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය’ උපාධිය, ප්‍රාචීන සහ භාෂෝපහාර සමිතියෙන් පිරිනමන ලද ‘පණ්ඩිත’ උපාධිය, බුරුම රජයෙන් පිරිනැමූ ‘අග්ග මහා පණ්ඩිත’ උපාධිය සහ අභිධජ මහාරට්ඨගුරු පදවිය ‘ප්‍රවචන විශාරද, ආගම චක්‍රවර්ති, මහෝපාධ්‍යාය’ උපාධි සමග අග්ග මහාපණ්ඩිත සහ මහාචාර්ය යන පදවි තනතුරු ඨානාන්තර (මගේ අවබෝධයේ හැටියට) කොතෙකුත් තිබුණත් ඒ සියල්ල තබා එකකුදු හෝ කවර දිනෙක කවර තැනෙක හෝ සඳහන් කළ බවක් මා දැක නැත. උන්වහන්සේ සියලු කල්හි සියලු තන්හිම බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියෝම වූහ. තනතුරු නම්බුනාම නිසා උන්වහන්සේ නොව, උන්වහන්සේ නිසා තනතුරු බැබළුණේය.