කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුරය දක්වා පෙරේදා (8) සිට ධාවනය ආරම්භ කිරීමට නියමිතව තිබූ සුඛෝපභෝගී දුම්රියේ මංගල ගමන ප්‍රමාද කරන තැනට වැඩ කටයුතු සැලසීම ප්‍රමාදවීම පසුපස කඩාකප්පල් ක්‍රියාවක්දැයි සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (10) පැමිණිල්ලක් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතාට උපදෙස් දී තිබේ.
අනුරාධපුර වන්දනාවේ යෙදෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා ආරම්භ කළ මෙම සුඛෝපභෝගී දුම්රිය ප්‍රමාද වීම සම්බන්ධයෙන් මේ වන විටත් අමාත්‍යාංශ මට්ටමෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹා ඇති අතර, ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිලි කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී ඇත.
මෙම දුම්රිය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා උදෑසන 9.20ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතව තිබුණි.
දුම්රිය ධාවනයට පෙර ඇමැතිවරයා පැමිණියත් දුම්රිය අදාළ වේදිකාවට නියමිත වේලාවට පැමිණ නැත.
අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කළ පරීක්ෂාවේදී පසුව හෙළිව ඇත්තේ පෑලියගොඩ කැලණි පාලම ආසන්නයේ සංඥා කේබල කපා දැමීම නිසා හට ගත් සංඥා ප්‍රමාදයක් හේතුවෙන් දුම්රිය පැමිණීම ප්‍රමාද වී ඇති බවයි.
වෙනත් ක්‍රමවේදයක් යොදා ගනිමින් සංඥා ලබා දීමෙන් අනතුරුව පැය භාගයක ප්‍රමාදයකින් පසු දුම්රිය අනුරාධපුරය බලා පිටත්ව ගොස් ඇතත් නැවතත් තඹුත්තේගම සෙනරත්ගම ප්‍රදේශයේදී උත්තර දුම්රිය පීලී පැන තිබීම නිසා එතැනින් ඉදිරියට ධාවනය කර ගත නොහැකි වී තිබේ.
අවසානයේදී බස් රථ යොදා ගනිමින් දුම්රිය මඟීන් අනුරාධපුරය බලා පිටත් කර යැවීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන ඇත.
උදෑසන 9.20ට කොළඹ කොටුවෙන් පිටත්ව සවස 1.42ට අනුරාධපුරය වෙත ළඟාවීමට සැලසුම් කර තිබුණ ද මංගල ගමනේදීම සවස 6.30 පමණ වන තෙක් ප්‍රමාද වීම පසුපස අදිසි හස්තයක් ඇතැයි යන සැකය මත අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අභ්‍යන්තර පරීක්ෂණයක් වහාම ආරම්භ කෙරිණි.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ආරම්භ කළ ඇල්ල ඔඩිසි සහ කැන්ඩි ඔඩිසි සුඛෝපභෝගී දුම්රිය සේවා අතිසාර්ථකව පවත්වාගෙන යන අතරතුරේ අනුරාධපුර දුම්රිය සේවයට එල්ල වූ බාධා කිසියම් සංවිධානාත්මක කණ්ඩායමකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි මතුව ඇති සැකය මත අමාත්‍යාංශ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතය.