2019 ජනාධිපතිවරණයට තරග කරන්න රනිල් ගණන් බල බලා සිටියදී යූ.ඇන්.පී.ය සජිත්ව ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බවට අරගලයක් කළේය. මේ අරගලය මධ්‍යයේ රනිල් ජ්‍යොතිෂ උපදේශකයන් කැඳවා ඔහුගේ හඳහන පරීක්ෂා කොට බැලුවේය. එක් ජ්‍යොතිෂවේදියෙක් ඔහුට අපූරු උපදෙසක් දුන්නේය.Sri Lanka Latest News
‘1993 සර්ට අගමැති වෙන්න ආපු ග්‍රහ යෝගය 2022 ආයේ එනවා. සජිත්ට ජනාධිපති අපේක්ෂකකම දීලා සර් අගමැති අපේක්ෂක වෙන්න. සජිත් දින්නත් සර් අගමැති වෙයි. පැරැදුණොත් සර් විපක්ෂ නායක වෙලා 2022 මොන ක්‍රමයකින් හරි ආපහු බලයට එයි…’
මේ, ඒ ජ්‍යොතිෂවේදියා දුන්න උපදෙසය. රනිල් මේ උපදෙස අරගෙන යූ.ඇන්.පී.ය ජනමත සමීක්ෂණ කරන ජනමත සමීක්ෂණ ආයතනයට කියා ජනාධිපතිවරණය ගැන අලුත් සමීක්ෂණයක් කරගත්තේය. ඒ සමීක්ෂණයට අනුව සජිත් හිටියේ ගෝඨාභයට පසුපසින්ය.
‘මේ සර්වේ රිපෝට්වල හැටියට සජිත්ට දිනන්න බැහැ…’
රනිල් සිය සමීපතමයන්ට කීවේය. සජිත්ට ජනාධිපති අපේක්ෂකකම දෙන්න රනිල් තීරණය කළේ ඒ සර්වේ රිපෝට් බලලාය.
‘සජිත් දින්නොත් ලොක්කා අගමැති. සජිත් පැරැදුණොත් ලොක්කා විපක්ෂ නායක…’
මේ, ඒ කාලේ රනිල්ගේ සමීපතමයන් මතුරපු මන්ත්රයය.
දැන් රනිල්ගේ සමීපතමයන් යළිත් ඒ මන්තරය මතුරන්න පටන්ගෙන තිබේ. සමගි ජන බලවේගයේ පක්ෂ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කියන විදියට සජිත්ව ජනාධිපති කර රනිල් අගමැති වෙන්න යෝජනාවක් සමගි ජන බලවේගයට එවා තිබේ.
‘ඒ කියන්නේ රනිල් අහසින් පොළොවට වැටිලද?’
රනිල් ජනාධිපති වූ විගස රනිල්ගේ සගයෝ කිව්වේ 2023 මාර්තුවලට කලින් රනිල් හදිසි ජනාධිපතිවරණයක් කැඳවනවා කියාය. සමගි ජන බලවේගය ගෙඩිය පිටින් රනිල් ළඟට එන බවත්, රනිල් නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස දිනන බවත් ඔවුහු කීහ.
ඉන් පසු රනිල් හදිසි මැතිවරණයක් කැඳවා සජිත් දින්නොත් සජිත්ට අගමැති ධුරය නොදී සමගි ජන බලවේගයේ වෙනත් අයෙක්ට අගමැති ධුරය දී සමගි ජන බලවේගය ගෙඩිය පිටින් ගෙන ජනාධිපතිවරණයට යනවා යැයි කියාය.
ඊටත් පසු 2023 නොවැම්බර් හදිසි ජනාධිපතිවරණයක් කැඳවා සමගි ජන බලවේගය දෙකට තුනට හතරට කඩා නව සන්ධානයකින් පොදු අපේක්ෂකයා වෙනවා යැයි කියාය.
අවසානයේදී කීවේ සජිත් අන්තිම මොහොතේ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැතිව රනිල්ට අපේක්ෂකකම දී සජිත් අගමැති වෙනවා කියාය.
2022 ජූලි සිට 2024 ජූලි මාසයට වසර දෙකකි. මේ එකක්වත් වූයේ නැත. දැන් වෙලා තියෙන්නේ රනිල් සජිත්ගෙන් අගමැති ධුරය ඉල්ලීමය. ඒ කියන්නේ වටයක් ගිහින් ඇවිත් තියෙන්නේ 2019 හිටපු තැනටමය.
‘ඉතින් සජිත් මේ ඩීල් එකට කැමැති වෙයිද?’
සජිත් කැමැති වුණත් මේ ඩීල් එකට මහජනතාව කැමැති නැත. සජිත් කියන්නේ මේ රටේ තවම අගමැති හෝ ජනාධිපති හෝ මුදල් හෝ ආරක්ෂක වැනි ප්‍රබල ඇමැති ධුරයක්වත් දරපු නැති නායකයෙකි. ඔහු දැරුවේ 1994න් පසු පක්ෂයක තෙවැනි පෙළ නායකයන් දරන ඇමැතිකමක්ය. සජිත් වගේම ජවිපෙ නායක අනුරත් මේ රටේ තවම අගමැති හෝ ජනාධිපති හෝ මුදල් හෝ ආරක්ෂක වැනි ප්‍රබල ඇමැති ධුරයක් දරපු නැති නායකයෙකි. ඔහු 2004 කෘෂිකර්මාන්ත ඇමැති විය. අද ජනතාව ඉල්ලන්නේ ඒ වගේ අලුත් නායකයන්ය. සජිත් රනිල්ට අගමැතිකම දෙනවා කිව්වොත් ආයෙත් එන්නේ 2019ට කලින් තිබුණු යූ.ඇන්.පී.යමය. ඒ යූ.ඇන්.පී.ය මිනිස්සු පොළොවට සමතලා කරලා ගොඩක් කල්ය. සජිත් රනිල්ට අගමැතිකම දෙනවා කිව්වොත් එහි වාසිය ගන්නේ අනුර කුමාරය. සජිත්-රනිල් හවුල එන්නේ, පරණ යූ.ඇන්.පී.යට පණ දෙන්න කියා, උන් ඔක්කොම එකයි මල්ලි කියන්න අනුරට අවස්ථාව හිමිවෙයි.
‘එතකොට ඇයි මේ සමගි ජන බලවේගයේ සමහරු කියන්නේ රනිල්-සජිත් එකතු වෙන්න ඕනා කියලා…’
රනිල්-සජිත් එකතු වෙන්න ඕනා කියලා සමගි ජන බලවේගයේ කතා කරන මන්ත්‍රීවරු රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමැතිවරුය. ඔවුන් ඇමැතිකම් කරපු කාලයේ ඔවුන්ගේ දූෂණ අක්‍රමිකතා ෆයිල් තියෙන්නේ රනිල් අතේය. රනිල් ඒ ෆයිල් පෙන්නා ඔවුන්ව බයකරන විට ඔවුන් රනිල්-සජිත් එකතු විය යුතුය යන මන්ත්‍රය මතුරයි.
රනිල් ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැතිව සජිත්ගේ අගමැති වෙන්න හදන්නේ 2019 වගේම තමා ඉල්ලුවොත් අන්ත පරාජයක් ලබන බව දැනගෙනය.
‘එහෙම නම් රනිල් අගමැති ලෙස නම් කිරීමෙන් සජිත්ට ලැබෙන මැතිවරණ වාසිය කුමක්ද…?’
අවාසියක් මිස වාසියක් නැත.
‘එහෙනම් රනිල්ව ජනාධිපති අපේක්ෂක කිරීමෙන් පොහොට්ටුවට ලැබෙන වාසිය කුමක්ද?’
පොහොට්ටුවටත් වාසි වන්නේ අලුත් මුහුණක් ජනාධිපතිවරණයට ගෙන ආවොත්ය.
රනිල් සමගි ජන බලවේගයේ පක්ෂ ලේකම්ට ගෙන ආ මේ යෝජනාව 2019 ජනාධිපති මෛත්‍රී පොහොට්ටුවට ගෙන ආවේය. මෛත්‍රීත් ඒ කාලයේ රඟපෑවේ මේ රනිල්ගේම චරිතයය. එදා මෛත්‍රී ළඟ හිටපු ප්රචාරක උපදේශකයන් අද ඉන්නේ රනිල්ව වටකරගෙනය. 2019ට කලින් පත්තර, ටී.වී. බැලුවා නම් තියෙන්නේ මේ වගේ නිවුස්ය.
‘මෛත්‍රී රනිල්ව යූ.ඇන්.පී. නායකත්වයෙන් ඉවත් කොට සජිත් හෝ කරු අගමැති කොට යළිත් ජනාධිපති පොදු අපේක්ෂක වෙයි…’
‘මෛත්‍රී යූ.ඇන්.පී.ය දෙකඩ කර මහින්ද පිලත් දෙකඩ කර ජනාධිපති සටනට…’
‘අගමැති ධුරයෙන් රනිල් ඉවතට. අගමැති සජිත් හෝ කරු. යූ.ඇන්.පී. පොදු අපේක්ෂක මෛත්‍රීපාල…’
‘මහින්දව අගමැති කොට මෛත්‍රී පොහොට්ටු – ශ්‍රීලනිප සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂක වෙන ලකුණු…’
‘ගෝඨාව අගමැති අපේක්ෂක කොට මෛත්‍රී ජනාධිපති අපේක්ෂක වෙන හැඩ…’
ඒ කාලයේ හැමදාම පත්තරවල ටීවීවල පැලවුණේ මේ නිවුස්ය. මෛත්‍රී හිටි හැටියේ රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කොට මහින්දව අගමැති කළේත් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකකම බලාගෙනය. පසුව අද රනිල් වටේ ඉන්න එදා මෛත්‍රී වටේ හිටපු ප්රචාරක උපදේශකයන් 2019 පාස්කු බෝම්බයට පසු මෛත්‍රී ජනාධිපතිවරණයට එන කතාව හංගලා අලුත් කතාවක් හැදුවේය.
‘ගෝඨා ජනාධිපති අපේක්ෂක – මෛත්‍රී අගමැති අපේක්ෂක’
මේ, ඔවුන් හදලා මාධ්‍යයට දුන්න අලුත්ම කතාවය. මේක කතාවක් පමණක් නොව ලණුවකි. මෛත්‍රී හොඳටම මේ ලණුව කෑවේය. ඔහු ශ්‍රීලනිපයට ගෝඨාභයට සහාය දෙන්න යන්න කිව්වේ මේ ලණුව කාලාය. මෛත්‍රී ගෝඨාට සහාය දෙන්න වේදිකාවට නගින්න එන විට පොහොට්ටුව එපා කීවේය.
‘ඔබතුමා නිහඬව සහාය දෙන්න. වේදිකාවට ආවොත් අපිට අවාසි වෙයි…’
මේ, ඒ කාලයේ රාජපක්ෂ පවුලම එකතු වෙලා මෛත්‍රීට දුන්න දිරච්ච ලණුවය. සමගි ජන බලවේගය නම් මේ වගේ දිරච්ච ලණුවක්වත් රනිල්ට දෙන්න බයයි වගේය. හේතුව රනිල්-සජිත් එකතු වෙනවා කියලා කිව්වම මිනිස්සු අහක බලයි කියන බයය.
ජනාධිපති ඡන්දයට තව තියෙන්නේ දවස් 190කි. දවස් 190ට සමගි ජන බලවේගය කඩලා ජනාධිපති වෙන්න ගිය රනිල් අගමැතිකම ඉල්ලන තැනට වැටුණා නම් තව දවස් 90කින් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් ඉල්ලන තැනට වැටෙයිද දන්නේත් නැත.
සජිත්ගෙන් අගමැති අපේක්ෂකකම ඉල්ලන රනිල්ව ජනාධිපති අපේක්ෂක කරන්න යන පොහොට්ටුවට නම් සොරි ඩොට් කොම්ය.