අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබාදීමට නොහැකිවීම පිළිබඳ ඇති බාධාවන් හඳුනාගෙන ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන තීරණයක් ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ගුරුවරුන් බඳවා ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බවද, රජය බඳවාගෙන ඇති උපාධිධාරීන් 60,000න්, පාසල් හා අධ්‍යාපන කාර්යාලවල සිටින, 18000ක් වන පිරිස පිළිබඳවද, අධ්‍යාපන අමත්‍යංශය විසින් පත්කිරීමට නියමිත විශේෂ කමිටුව මගින් තීරණයක් ගනු ඇති බවද, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ගුරු-විදුහල්පති වැටුප් ගැටළුව සම්බන්ධයෙන් කැබිනට් අනු කාරක සභාව නිර්දේශ කර තිබුණේ අභ්‍යන්තර ගැටළු සම්බන්ධයෙන් මෙසේ කමිටුවක් පත්කර මාස 6ක් තුළ වාර්තාවක් ලබාදිය යුතු බවත්, මෙම විශේෂ බලතල සහිත කමිටුව ඉදිරි සති 2 තුළ පත් කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ, රජය බඳවාගෙන ඇති උපාධ්ධාරීන් 60,000න් ගුරු සේවයට කැමති අය ගුරු සේවයට තෝරාගැනීමට විභාගයක් පැවැත්වීම හෝ දැනට අධ්‍යාපන ක්ෂේත්රයට අනුයුක්ත කර ඇති 18000 එම ක්ෂේත්රයේ ම ස්ථිර කිරීම, යන විකල්ප අනුගමනය කරන ලෙස, අද(10) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ, අධ්‍යාපන අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර කළ යෝජනාවට පිළිතුරු දෙමිනි.
අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස, වැඩභාර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ අධ්‍යාපන අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ සභාපති ලෙස පළමු වරට, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා එක්වූයේ ද අද(2021.09.10) දිනයේය. අධ්‍යාපන අමාත්‍යංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක අද(2021.09.10) රැස්වූයේද, 2021 මාර්තු 10 වැනි දිනට පසුව පළමු වරටය.
එමෙන්ම ජාතික විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ට කෝවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩපිළිවෙළක් සඳහා සාකච්ඡා කරගෙන යන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
සාමාන්‍ය පාසල්, ජාතික පාසල් ලෙස නම් කිරීමේ ක්‍රමවේදයේ අඩුපාඩු ඇතැයි, පා.ම.යදාමිණි ගුණවර්ධන මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය. පාසල් දෙකක් නම් කර එවන ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලට දන්වා, එසේ කළ පසු ඊට වඩා පාසල් ගණනක් නම් කර එවන බව පැවසූ ඔහු පදනම් ක්‍රමවේදය ගැන, අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළේය.
ගුරුවරුන් බඳවා ගැනීම ගැන දීර්ඝ විස්තරයක් කළ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, මෙරට පාසල් ගුරුවරුන් 2,40,000ක් සිටින බවත්, පාසල් 10155ක සිසුන් 43,00,000කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් කී අතර, සිසු:ගුරු අනුපාතය 17:01 බවද සඳහන් කළේය. එහෙත් සිසුන් 100ට අඩු පාසල්වල එම අනුපාතය 7:1 බවද පැවසීය. විද්‍යා, ගණිත, විද්‍යා, තාක්ෂණ, ගුරුවරුන් හිඟ බවද ඔහු කියා සිටියේය. සබරගමුව පළාත් සභාව සකසා ඇති ගුරුවරුන් ස්ථානගත කිරීමේ ක්‍රමවේදය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.
ශ්‍රී ලංකාවේ නීතිය පාසල් විෂයයක් ලෙස, විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වන අනුකාරක සභාව පත් කළ තාක්ෂණ කමිටුවේ වාර්තාවද සැකසෙමින් පවතින බව මෙහිදී හෙළිවිය. එම විෂය, වෙනම විෂයක් ලෙස නොව, පුරවැසි අධ්‍යාපනය යන විෂයේ පාඩමක් ලෙස යෙදීමට යෝජනා වී ඇති බවද අනාවරණ විය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ,රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පා.ම.යදාමිණි ගුණවර්ධන, පා.ම. අනූප පැස්කුවල්, පා.ම. ප්‍රේමනාත් දොලවත්ත, පා.ම. චන්දිම වීරක්කොඩි යන මහත්තුරුද මීට එක්වූහ. අමාත්‍ය වාසුදේව නානායක්කාර, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ යන මහත්තුරු මෙන්ම පා.ම. ආචාර්ය හරිනි අමරසූරිය සහ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්වූහ.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාද මීට එක්වූ අතර අමාත්‍යංශ අනෙක් නිලධාරීහු මාර්ගගත ක්‍රමයට එක්වූහ.