Uber මෙරට මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් සේවාවක් හඳුන්වා දීමට කටයුතු කර තිබේ. මෙමගින් Uber සේවාවන් භාවිතා කරන මගීන්ට සිය ගමන අතරතුර අවශ්‍ය මොහොතකදී, ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක් සමග සම්බන්ධ වීමට අවස්ථාව හිමිවේ.
මෙම සේවාව මීට පෙර මෙම වසරේ පෙබරවාරි මාසයේදී ආරම්භ කරන ලද නමුත් COVID-19 වසංගත තත්ත්වය හා ඇඳිරි නීතිය නිසා එය තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය. එහෙත් දැන්, ප්‍රමිතිය නැවත තහවුරු කරගැනීමෙන් අනතුරුව එම සේවාව නැවත ආරම්භ කර තිබේ.
හදිසි ගැටලුවලදී මෙන්ම හදිසි ගැටලු නොවන අවස්ථාවලදීද මෙම ක්ෂණික ඇමතුම් අංකය භාවිතා කළ හැක. උදාහරණයක් ලෙස, රථයේ ගමන් කරන වෙනත් පුද්ගලයෙකු බාධාකාරී ලෙස හැසිරීම, රියදුරු සමග මතභේදයක් ඇතිවීම හෝ මෝටර් රථය දෝෂයකට ලක්වීම වැනි අවස්ථාවලදී මෙම සේවාව සමග සම්බන්ධ විය හැකිවේ. මෙහිදී පැය 24 පුරා ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සිටින විශේෂඥ කණ්ඩායමක් වෙතින් උපදෙස් ලබාගැනීමට මගීන්ට අවස්ථාව හිමිවනු ඇත.











