සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග එක්වී, ජෛවමිතික සත්‍යාපනය (Biometric Authentication) ඔස්සේ ජීවිත සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේය. ජීවිත සහතික යනු විශ්‍රාමිකයන් ජීවත්ව සිටින බව තහවුරු කිරීම සඳහා භාවිත කරන වැදගත් ලේඛනයකි. නව ක්‍රමය යටතේ යන්ත්‍රයක් මගින් විශ්‍රාමිකයන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන එවෙලේම ජීවිත සහතික නිකුත් කරන අතර, එමගින් මෙය වඩාත් පහසු, සරල හා කාර්යක්ෂම ක්‍රියාවලියක් බවට පත්වී ඇත. මීට පෙර ජීවිත සහතික ලබාගැනීම සඳහා, වසරේ නිශ්චිත කාල සීමාවකදී ඒ සඳහා වන අයදුම්පත තැපැල් මාර්ගයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට එවීමට විශ්‍රාමිකයන්ට සිදුවිය. මින් ඉදිරියට, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නවතම තාක්ෂණික පහසුකම් හා තොරතුරු පද්ධතිය භාවිතා කරමින්, සෙලාන් බැංකුවේ ශාඛා 75කදී ජීවිත සහතික නිකුත් කෙරෙනු ඇත. මේ නිසා විශ්‍රාමිකයන්ට තවදුරටත් පෝලිම්වල රැඳී සිටීම අවශ්‍ය නොවන අතර, එය රටේ පවතින කොවිඩ්-19 තත්ත්වය හමුවේ විශ්‍රාමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන පියවරක් ද වේ.











