සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, රු. මිලියන 4ක ආයෝජනයකින් ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ භෝජනාගාරය මුළුමනින්ම නවීකරණය කිරීමට කටයුතු කළේය. මෙලෙස නවීකරණය කෙරුණු භෝජනාගාරය, සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමන්‍යාධිකාරී රමේෂ් ජයසේකර සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් 2020 ජුලි මස 7 වැනිදා ජාතික රෝහල් පරිශ්‍රයේදී නිල වශයෙන් බාර දෙන ලදී.
භෝජනාගාරය සඳහා නව දොරටුවක් සකස් කිරීම, බිම ටයිල් ඇතිරීම, සමස්ත පරිශ්‍රයම අලුතින් තීන්ත ආලේප කිරීම, ජල නළ සහ විදුලි රැහැන් පද්ධති නවීකරණය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් මෙම වැඩසටහන යටතේ සිදු කෙරිණි. කොවිඞ්-19 වසංගතයට එරෙහි සටන සඳහා සෙලාන් බැංකුව දක්වන කැපවීම මෙම වැඩසටහන මඟින් තවදුරටත් පිළිබිඹු විය. මෙම වසර මුලදී සෙලාන් බැංකුව නැඟෙනහිර කොළඹ මූලික රෝහල සඳහා සියලු පහසුකම්වලින් සමන්විත දැඩි සත්කාර ඒකකයක් ඉදිකිරීමටද කටයුතු කළේය. සෙලාන් බැංකුවේ කාර්යමණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද දිනක වැටුප සහ සෙලාන් බැංකුව විසින් පරිත්‍යාග කරන ලද ඊට සමාන මුදල මඟින් එම ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනිණි.











