්දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහ උන්වහන්සේලාගේ පවුලේ සාමාජිකයන් සඳහා රැකවරණය සැලසීම සඳහා ‘නාගරාජ’ නමින් විශේෂ රක්ෂණාවරණයක් හඳුන්වා දී තිබේ.
මෙම රක්ෂණාවරණය සඳහා වන රක්ෂණ ඔප්පුව නිල වශයෙන් භාරදීම 2021 ජනවාරි 8 වැනි දින අරලියගහ මන්දිරයේදී සිදුවූ අතර, මේ සඳහා මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජාතික උරුමයන්, ප්‍රාසාංගික කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉහළ නිලධාරීන්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා ඇතුළු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඉහළ කළමනාකාරිත්වය මේ සඳහා සහභාගි වූහ.
මෙම සුවිශේෂී “නාගරාජ” රක්ෂණ යෝජනා ක්‍රමය දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛාවලින් ලබා ගත හැකි අතර රු. 2000ක වටිනාකමකින් යුතු රක්ෂණාවරණය මිලදීගෙන පිරිකර ලෙස සංඝයා වහන්සේලා සඳහා පූජා කළහැකි ලෙස සැලසුම් කර තිබේ.
මෙම ‘නාගරාජ‘ රක්ෂණාවරණයද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මගින් ක්‍රියාවට නංවා ඇති ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම රැකවරණය සැලසීම අරමුණු කරගත් ‘සැමට රක්ෂණයක්’ සංකල්පය යටතේ ක්‍රියාත්මක වේ.
‘නාගරාජ’ රක්ෂණ ක්‍රමය යටතේ රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගැනීමේදී එක දිනක් සඳහා රු. 1000 බැගින් උපරිමය දින 15ක් දක්වා ලබාදෙන අතර, වෛද්‍ය නිර්දේශ මත පිටතින් ලබාගන්නා බෙහෙත්, පරීක්ෂණ, එක්ස් රේ කිරණ රශ්මි හා රේඩියම් පරීක්ෂණ හා විදුලිමය ප්‍රතිකාර සඳහා රු. 25,000 ලබාදේ.











