ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් හා සේවා අත්දැකීමක් ලබාදීම සඳහා පසුගියදා කාගිල්ස් කෑෂ් සමග හවුල්කාරීත්වයකට මුලපුරන ලද අතර, දිවයින පුරා පැතිරී ඇති 400කට ආසන්න කාගිල්ස් ෆුඞ්සිටි පුළුල් අලෙවිසල් ජාලය හරහා රක්ෂණ වාරික ගෙවීමේ පහසුව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයන්ට දැන් භුක්තිවිඳිය හැකිය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ඔප්පු අංකය සඳහන් තැන්පතු පත්‍රිකාවක් පුරවා දිවයින පුරා පිහිටි ඕනෑම කාගිල්ස් ෆුඞ්සිටි අලෙවිසලක මුදල් අයකැමිට භාරදීමෙන් ගෙවීම් සිදුකළ හැකි අතර කාගිල්ස් ෆුඞ්සිටි අලෙවිසල් ජාලය උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා දින 365ම පාරිභෝගිකයන්ට විවෘතව ඇත.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලුත්ගම මහතා මේ සම්බන්ධව මෙසේ අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාවේ වේගයෙන් වෙනස් වන ජීවන රටාවන්ට අනුව පාරිභෝගික පහසුව ඉලක්ක කරගත් ජීවන රටාව සමගින් සේවා අත්දැකීම් උපරිම මට්ටමින් ඉහළ නැංවීමට නිරන්තරයෙන් කැපවෙන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දැන් පාරිභෝගිකයන්ට වඩා පහසු හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමට සූදානමින් සිටිනවා. අපගේ රක්ෂණ ඔප්පු හිමියන් නිතර සුපිරි වෙළෙඳසල් වෙත ගොස් ඔවුන්ගේ සියලු අවශ්‍යතා එකම වහලක් යටින් සපුරාගැනීමට උත්සාහ කිරීම නිසා පහසුව සඳහා වන ප්‍රවණතාව තවදුරටත් ඉස්මතු කරමින් පවතිනවා. මෙම ප්‍රවණතාවය ඔවුන්ගේ රක්ෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ට වැඩි ප්‍රවේශ ස්ථාන ලබාදීමට අපව පොලඹවා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස අපි ඔවුන්ට ළඟම ඇති කාගිල්ස් ෆුඞ්සිටි සුපිරි වෙළෙඳසල් ඔස්සේ සිය රක්ෂණ වාරික ගෙවීමේ පහසුව ලබාදී තිබෙනවා.”
1962 තම ව්‍යාපාර කටයුතු ආරම්භ කළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය මෙරට විශාලතම රාජ්‍ය රක්ෂණ ආයතනයයි. මේ වන විට රුපියල් බිලියන 197කට අධික වත්කම් සම්භාරයකින් සහ රුපියල් බිලියන 105කට අධික ජීවිත රක්ෂණ අරමුදලක් හිමි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට ස්ථාවරම රක්ෂණ ආයතනයයි. එමෙන්ම මෙරට ප්‍රමුඛතම මූල්‍ය රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් AAA(lka) ෆිට්ච් ශ්‍රේණිගත කිරීමට හිමිකම් කියන එකම දේශීය රක්ෂණ සමාගමයි.