මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙහි වැදගත් තැනක් හිමි වන අංශයක් නම්, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්ය. බැංකු නොවන මූල්‍ය ආයතන අංශය යනුවෙන්ද හඳුන්වන මෙම අංශය දිවයින පුරාම ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාර මෙන්ම, මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩනැගීමට හා පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය සේවාවන් පිරි නමමින් ජනතාවගේ ජීවන මට්ටම නගාසිටුවීම වෙනුවෙන් ඉකුත් වසර ගණනාව තුළ සෘජු හා වක්‍ර දායකත්වයක් දක්වා තිබේ. බැංකු නොවන මෙම මූල්‍ය සමාගම් සමූහය හඳුන්වන තවත් නාමයක් නම්, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් යන්නයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙම සමාගම්, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් බලපත්‍ර ලබාගත් සමාගම් බවත්, නිරන්තර අධීක්ෂණයට හා නියාමනයන්ට යටත්ව ක්‍රියාත්මක වන බවත් පැහැදිලි වේ.
අද වන විට රට තුළ විශ්වසනීය මූල්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම මූල්‍ය සමාගම් අණ පනත් රැසකින් ආවරණය වී තිබේ. 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත, 2000 අංක 56 දරන මූල්‍ය කල්බදු පනත, 1982 දරන පාරිභෝගික ණය පනත, 2006 අංක 6 දරන ගනුදෙනු වාර්තා කිරීමේ පනත හා 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ආදිය, රට පුරා ක්‍රියාත්මක බලපත්‍රලාභී මූල්‍ය සමාගම් විසින් සිදු කරන මූල්‍ය ගනුදෙනු විශ්වාසනීය සේවාවන් බවට පත් කිරීම පිණිස බලාත්මක අණ පනත් වේ. මෙවැනි පනත් රැසකින් ආවරණය කෙරෙන බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, සිය පාරිභෝගිකයින්ට විශ්වසනීය සේවාවක් පිරි නැමීමට කටයුතු කරන බව දක්නට තිබේ.











