මෙලොව ජන්ම ලාභය ලැබූ කෙනකු වෙනුවෙන් සකස් කරන කේන්දරයක තිබිය හැකි බලවත් ග්‍රහ යෝග රැසක්ම ජ්‍යොතිෂයේ දක්වා ඇත්තේය. පහතින් දක්වන ග්‍රහ යෝග කේන්දර හිමියාට එලෙස සුබ පල උදාකරන යෝගයන් ලෙස සලකනු ලැබේ. එහෙත් යෝගකාරකීය ග්‍රහයන්ගේ තත්ත්වය අනුව පලාපල වෙනස් වන්නේය. ග්‍රහ යෝග ගැන පලාපල සෙවීමේදී රවිගේ බලයත්, ග්‍රහයාගේ ස්වභාවික ගති ලක්ෂණත්, යෝගය යෙදී ඇති රාශියේ ස්වභාවයත් සැලකීම මැනැවි. මෙවැනි රාජ යෝගයන් සිය ගණනක් ජ්‍යොතිෂයේ දැක්වේ. මේ අතර කාල සර්ප වැනි යෝගයන්ද කේන්දරවල පිහිටා තිබේ. මෙකී යෝගයන් පිළිබඳ නිරීක්ෂණය කරන විටදී කේන්දරයේ ග්‍රහ හැසිරීම් රටාව ගැන ඉතා සියුම්ව බැලිය යුතු වන්නේය. ඒ ඒ යෝග පලදෙන කාල සීමාවන්ද සෙවිය යුතුය. සමහර විට යෝග පලදෙන්නට නොහැකි තත්ත්වයන්ද උදාවනු ඇත. යෝග කේන්දරයේ තිබුණු පමණින්ම එක වරම කරුණු ගැන තීරණය කිරීම බුද්ධිමත් නොවේ ඔබම ඔබේ දරුවාගේ කේන්දරය ගැන තීරණය කිරීම බුද්ධිමත් නොවේ. ඉතා පරෙස්සමට පරීක්ෂා කළහොත් මේ තත්ත්වය හඳුනාගෙන අනාගතය ගැන ඉඟියක් ලබාගත හැකිය.
වාශි යෝගය
සඳු, රාහු, කේතු යන තිදෙනා හැර අන් කවර ග්‍රහයකු හෝ රවිට 12 වැනි රාශියේ සිටීම වාශි යෝගයයි. සමාජයේ බුහුමන් ලබන කීර්තිමත් ජීවිතයක් ගෙවයි.
වෝෂී යෝගය
සඳු, රාහු, කේතු හැර අනු කවර ග්‍රහයකු හෝ රවිට දෙවැන්නේ සිටීමෙන් වෝෂී යෝගය උදාවේ. රාජ්‍ය තනතුරු ලබන ප්‍රකට දැවැන්ත ධනවතෙක් වේ.
උභයචාරී යෝගය
රවිට දෙවැන්නේ සහ 12 වැන්නේ ඉහත සඳහන් අන්දමට ග්‍රහයන් පිහිටීම උභයචාරී යෝගය වේ. මහජන ප්‍රසාදයට ලබමින් දේශපාලනයේද නියුතු සැපවත් ජීවිතයක් නිර්මාණය කරනු ඇත.
ඝුනඵා යෝගය
රවි, රාහු, කේතු හැර අන්‍ය ග්‍රහයෙක් සඳුට දෙවැන්නේ සිටීමෙන් ඝුනඵා යෝගය උදාවේ. ධාර්මික වූ උගත් බුද්ධිමත් නිරෝගී අයකු වනු ඇත.
අනඵා යෝගය
ඉහත සඳන් අන්දමට රවි, රාහු, කේතු හැර අන්‍ය ග්‍රහයෙක් සඳුගේ 12 වැන්නේ යෙදීම අනථා යෝගයයි. කථිකත්වයෙන් යුත් දක්ෂ සන්සුන් ධනවත් නිරෝගී ප්‍රභූවරයෙකු වේ.
ධුර ධුරා යෝගය
ඉහත අන්දමට අනථා ඝුනථා යෝග දෙක එකවර යෙදුණු විට එය ධුර ධුරා යෝගය නම් වේ. යාන වාහන හිමි සෞභාග්‍යවත් ත්‍යාගශීලී කෙනකු වේ.
හංස යෝගය
ගුරු ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂේත්‍රව කේන්දරයේ 1,4,7,10 යන කේන්ද්‍ර ස්ථානගතව සිටීමෙන් හංස යෝගය උදාවේ. රූප සම්පත්තිය, ගුණය, විනීතකම, බුද්ධිය, කීර්තිය ආදී සම්පත් බහුල වේ.
මාලවී යෝගය
ශුක්‍ර ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂේත්‍රව 1,4,7,10 ස්ථානයක වූ විට මාලවී යෝගය වේ. කලාවට ළැදි, ඉගෙනීමේ හා සෞන්දර්ය අංශවල දක්ෂ නිර්මාණකරුවකුද රූමත් අයකුද වේ.
භද්‍රා යෝගය
බුධ උච්චව හෝ ස්වක්ෂේත්‍රව 1,4,7,10 යන තැනක යෙදීමෙන් බුද්ධිමත් එමෙන්ම ව්‍යාපාරවලින් ජය ගන්නා කෙනකු වේ. ධනවත් වේ.
රුචක යෝගය
කුජ 1,4,7,10 උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටීමෙන් නිර්භීතකම, සතුරන් නැසීම, ආත්මශක්තිය, රණශූරත්වය, ප්‍රධානත්වය, භූමි හා ධන සම්පත් හිමිවේ.
අධි යෝගය
සඳුගෙන් 6,7,8 රාශිවල රාහු කේතු හැර අනෙක් ග්‍රහයන් හයදෙනා සිටි විට අධි යෝගය උදාවේ. ආර්ථිකව සුවිශේෂ දියුණුවට පත්වේ. ප්‍රසිද්ධ චරිතයකි.
චතුශ්සාර යෝගය
සියලු ග්‍රහයන් 1,4,7,10 යන සතර කේන්ද්‍රගත වීමෙන් මේ යෝගය යෙදේ. ලෞකික සැප සම්පත් ලබන වාසනාවන්ත දූ දරුවන් ලබන ජනතා කීර්තිය වහා දිනන ප්‍රසිද්ධ පුද්ගල චරිතයක් වේ.
වසුමතී යෝගය
බුධ, ගුරු, සඳු, සිකුරු යන මේ ග්‍රහයන් ලග්නයෙන් 3,6,10,11 කුණ්ඩලියක සිටීමෙන් වසුමතී යෝගය යෙදේ. වාසනාව උපතින්ම ලබයි. සාර්ථක යුගදිවියක් ගෙවයි. බුද්ධිය, ධනය, සැප සම්පත් බහුල වේ.
පර්වත යෝගය
1,4,7,10 යන තැන් සතරේ සුබයන් සිටියදී 3,8,12 කිසිම ග්‍රහයකු නොසිටීමෙන් පර්වත යෝගය සෑදේ. මෙලොව සැප සම්පත් බහුලව ලබන කීර්තිමත් දේශපාලනයේ හිණිපෙත්තටම යන අතිදක්ෂ අයකු වේ. ජනප්‍රියත්වය හිමිවේ.
මහාභාග්‍ය යෝගය
පුරුෂ කේන්දරයක නම් ලග්නය විෂම රාශියක් වී රවි චන්ද්‍ර සම රාශිවල සිටීමෙන්ද, ස්ත්‍රී කේන්දරයක නම් ලග්නය සම රැසක් වී රවි චන්ද්‍ර සම රාශිවල සිටීමෙන්ද මෙම යෝගය යෙදේ. පවිත්‍ර චරිතයකි. දිගාසිරි අත්වේ. දරු මුණුබුරන් ලබයි. සැපවත් ජීවිතයක් ගෙවනු ඇත.
ලක්ෂ්මි යෝගය
ලග්නාධිපති බලවත්ව සිට නැවවැන්නාධිපති ස්වක්ෂේත්‍රව හෝ උච්චක්ෂේත්‍රව කේන්දරයේ හෝ ත්‍රිකෝණගත වීමෙන් ලක්ෂ්මි යෝගය යෙදේ. මහජන ප්‍රසාදයට පත්වේ. සෞභාග්‍යය උදාවේ. ධනය ලැබේ. සිටින තැන බබලනු ඇත.
ශ්‍රීනාථ යෝගය
ස්වක්ෂේත්‍ර වූ සත්වැන්නාධිපති නවවැන්නාධිපති සමග 10 වැන්නේ සිටීමෙන් ශ්‍රීනාථ යෝගය උදාවේ. ධනුවට සීමාවිය හැකිය. මෙම යෝගය රාජ්‍යත්වයත්, රාජ්‍ය තනතුරුත් ලබයි. දේශපාලනයට ඉතා සුදුසුයි.
මෙම යෝගවලට අමතරව තවත් යෝග විශාල ප්‍රමාණයක් ජ්‍යොතිෂය තුළ පැහැදිලිව පෙන්වාදී තිබේ. ඒ ඒ යෝග අනුව ජන්මියාට ලැබෙන ලැබීම් තත්ත්වයන් වෙනස් වන අතර පලදෙන කාලසීමාවන්ද වෙනස් වනු ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල