අත්ලෙන් හෙළිවන ජීවන තොරතුරු ඈත අතීතයේ පටන්ම ඉතා ජනප්‍රිය අනාවැකි කීමේ ක්‍රමයක් බවට පත්වෙලා තියෙනවා. බටහිර රටවල ‘පාම් රීඩින්’ ලෙස හඳුන්වන මෙය ‘අත්ලේ භාෂාව’ නමින්ද හඳුන්වනවා. ඉගෙනීම, රැකියාව, ප්‍රේම සම්බන්ධතා, විවාහය, ලෙඩ රෝග, හදිසි අනතුරු, දූදරුවන්, ධනය, සම්පත් විනාශය, නිවාස, යාන වාහන ලැබීම් වගේම ජීවන තොරතුරුත් අත්ල පරීක්ෂා කිරීමෙන් හඳුනාගන්න පුළුවන්. අද කියන්නේ ඇඟිලිවලින් හෙළිවන ජීවන තොරතුරු ගැන. ඔබේ ඇඟිලිවලත් සුදු හා කළු පැහැති ලප තියෙනවද? එසේ නම් ඔබටත් මේ ජීවන තොරතුරු විස්තරය වැදගත් විය හැකියි.
මහපට ඇඟිල්ල
ඇඟිලිවල තිබෙන සුදු ලප සලකන්නේ ඇඟිලි නියමල් ලෙසට. එය ඉතා සුබ සලකුණක්. ඒ වගේම මහපට ඇඟිල්ලේ සුදු ලප තිබීමෙන් රැකියාවේ දියුණුවක් බලාපොරොත්තු විය හැකියි. ඒ වගේම කළු ලප තියෙනවා නම් එයින් අනාවරණ වෙන්නේ හදිසි අනතුරක සේයාවක්. ඒ නිසා ඔබේ මහපට ඇඟිල්ලේ කළු ලපයක් තිබෙනවා නම් ඔබට කල් තියා ප්‍රවේශම් වීමේ හැකියාව තිබෙනවා.
දබරැඟිල්ල
දබරැඟිල්ලේ නියවල සුදු ලප තිබෙනවා නම් ඔබට කල්‍යාණ මිත්‍රයන් හමුවීමේ ඉඩකඩ වැඩියි. නමුත් දබරැඟිල්ලේ ඇති කළු ලප ඔබට පෙන්නුම් කරන්නේ වැඩකටයුතුවල අසාර්ථකත්වය.
මැදැඟිල්ල
මැද ඇඟිල්ලේ සුදු ලප පිහිටි ඔබ ඉතා වාසනාවන්තයි. ඒ වගේම ඔබට ඉතා වටිනා සම්පත් ලැබීමේ ඉඩකඩද තිබෙනවා. නමුත් මැද ඇඟිල්ලේ තිබෙන කළු ලපවලින් කියාපාන්නේ රෝගාතුරවීමක්. විශේෂයෙන්ම හදවත් රෝග ඇතිවීමේ අවදානම ඔවුන්ට වැඩියි.
වෙදැඟිල්ල
වෙදැඟිල්ලේ සුදු ලප පිහිටි ඔබ විවාහක නම් ඔබේ විවාහ දිවිය සාර්ථකයි. කළු ලප තිබෙනවා නම් ඔබ සැලකිලිමත් විය යුතුයි. මක්නිසාද යත් එයින් පෙන්නුම් කරන්නේ ඔබේ යුගදිවියේ කඩාවැටීම අත ළඟ බවයි. වෙදැඟිල්ලේ කළු ලපය අනාවැකි පළ කරනවා. නමුත් ඔබ අවිවාහක නම් වෙදැඟිල්ලේ කළු ලපය ඔබට හොඳ අනාවැකියක් කියනවා. ඒ ඔබගේ විවාහය කඩිනමින් සිදුවන බවයි.
සුලැඟිල්ල
සුලැඟිල්ලේ සුදු ලපය ධන ලාභයක් පිළිබඳ කියාපානවා. ඒ වගේම ඔබේ වැඩකටයුතුවල සාර්ථකත්වයත් එයින් කියාපානවා. නමුත් ඔබේ සුලැඟිල්ලේ තිබෙන්නේ කළු ලපයක් නම් ඔබට බලවත් ලෙස චිත්ත පීඩා හා කායික පීඩා ඇතිවීමේ අවදානම කියාපානවා වගේම ජීවිතයේ කඩාවැටීමක්ද නිරූපණය කරනවා.
ලපවලට අමතරව ඔබේ වෙදැඟිල්ල අඩ සඳහක් මෙන් පිහිටා තිබෙනවා නම් එයද ඉතා සුබ ලකුණක්. එයින් ධන සම්පත් ලැබීම, පෙම් සබඳතා සාර්ථක වීම වගේම යුගදිවිය සාර්ථක වීමේ ලක්ෂණත් කියාපානවා.
පළල් නිය පොතුවලින් පෙන්නුම් කරන්නේ ව්‍යාපාර දියුණුව. එය මහපට ඇඟිල්ලේ නියපොතු නම් එයින් ඔබ ආඩම්බරකාරයකු බව පෙන්නුම් කරනවා. නමුත් ඔබේ සිහින් දිගැති නියපොතුවලින් කලාකාමීත්වය, ලේඛන හැකියාව වගේම දක්ෂ කථිකත්වය පෙන්නුම් කරනවා.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල