සත්වයාගේ අඛණ්ඩ පැවැත්ම උදෙසා ස්වභාවධර්මය කළ විශිෂ්ටම නිර්මාණය වන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි දක්වන ආකර්ෂණයයි. සත්වයා පරිණාමය වී මිනිසාගේ තත්ත්වයට පැමිණෙන විට විරුද්ධ ලිංගික ආකර්ෂණයට ආදරය නැමැති සංකල්පයද ඇතුළත් වී තිබීම මිහිපිට ඇති සුන්දරත්වයේ උපරිම ස්ථානය හැටියට සලකන්න පුළුවන්. ඉතින් මේ විදියට තරුණ වයසට පැමිණෙන පිරිමි දරුවන්, ගැහැනු දරුවන් සමගද, ගැහැනු දරුවන්, පිරිමි දරුවන් සමගද ආදරයෙන් බැඳීම ඔවුන් ස්වභාවධර්මයේ රීතියකට යටත් වීමක් හැටියට සලකන්න පුළුවන්.
එහෙම බැඳීමක් ඇති කරගත් දෙදෙනෙක් ඊළඟට නීත්‍යනුකූලව විවාහයකට ඇතූළත් වීම තමයි සිරිත. මෙතැනදී අපේ සංස්කෘතිය තුළ විවාහය සඳහා පොරොන්දම් බැලීම සිදු කරනවා. හොඳයි දැඩි ලෙස ආදරයෙන් බැඳුණු දෙදෙනෙකුගේ විවාහ පොරොන්දම් ජ්‍යොතිෂ සිද්ධාන්තවලට අනුව ගැළපෙන්නේ නැත්නම් මොකද කරන්නේ.
ජ්‍යොතිෂ විද්‍යාවේදී පොරොන්දම් නොගැළපීමට හේතු වන සාධක කිහිපයක් අද සොයා බලමු. මුලින්ම යෝජිත දෙදෙනාගේ,
- ලග්නාධිපතීන් දෙදෙනා
- චන්ද්‍ර රාශි අධිපතීන් දෙදෙනා
- 7වැන්න අධිපතීන් දෙදෙනා
- 5වැන්න අධිපතීන් දෙදෙනා
සතුරුද? මිතුරුද සොයා බලනවා. මේ කරුණු හතරෙන් දෙකක්වත් ගැළපෙනවා නම් තමයි විසි පොරොන්දම් බැලීමට යොමු වන්නේ. විසි පොරොන්දම කෙටියෙන් කියනවා නම්,
- නක්‍ෂත්‍රල
- ගණල
- මහේන්ද්‍රල
- ස්ත්‍රී දීර්ඝල
- යෝගිල
- රාශිල
- රාශි අධිපතිල
- වශ්‍යල
- රජ්ජුල
- වේධල
- වෘක්‍ෂල
- ආයුෂල
- පක්‍ෂිල
- භූතල
- ගෝත්‍රල
- වර්ණල
- ලිංගල
- නාඩිල
- දිනල
- ග්‍රහ ආදී වශයෙන් වෙනවා.
මේ විසි පොරොන්දම් බලන්නේ විවාහයෙන් පසුව දෙදෙනාට සාර්ථක යුගදිවියක් ගතකරන්න පුළුවන්ද කියන එකයි. ජ්‍යොතිෂ විiාත්මකව ඉතාමත් වටිනා, ගැඹුරු කරුණු කිහිපයක් මෙම විසි පොරොන්දමට ඇතුළත් වෙනවා. ඒ ඒ පොරොන්දම නොගැළපීමෙන් විවාහ ජීවිතයේදී මතුවිය හැකි ප්‍රශ්න ගැන කලින් කියන්න පුළුවන්කමක් ජ්‍යොතිෂ ශාස්ත්‍රය සතුව පවතිනවා. මෙම විසි පොරොන්දම අතරින් කිහිපයකට විශේෂ තැනක් හිමි කරදී අෂ්ටකූටයේ ලකුණු 36ක් ලබා දී එම ලකුණු ලැබෙන ප්‍රමාණයද ගණනය කර බලනවා.
මීට අමතරව විවාහ දෝෂ ගණනාවක් ගැනද ජ්‍යොතිෂ විiාවේදී විවාහ පොරොන්දම් ගැළපීම යටතේ සඳහන් වෙනවා. කුජ ග්‍රහයා ලග්නයෙන් හරි, චන්ද්‍රයාගෙන් හරි, සිකුරුගෙන් හරි 1, 2, 4, 7, 8, 12 කියන තැනක ඉන්නවා නම් කුජ දෝෂය කියලා කියනවා. කුජ දෝෂ තියෙන කේන්දරයකට කුජ දෝෂය තියෙන කේන්දරයක්ම තමයි ගැළපෙන්නේ. එහෙම නැත්නම් එක කේන්දරයක කුජ ඉන්න ස්ථානයේ අනෙක් කේන්දරයේ පාප ග්‍රහයෙක් ඉන්න ඕනෙ. කුජ දෝෂය භංග වන ක්‍රම ගණනාවක්ද සඳහන් වෙනවා.
මීටත් අමතරව විවාහයට බලපාන අහිතකර යෝග හැටියට විෂ කන්‍යා යෝගය, සම්බන්ධ මාරක දෝෂය, නාශාංශක දෝෂ, වැන්දඹු දෝෂ, ස්ත්‍රී කේන්දරයේ පෙන්වන පුරුෂ මාරක යෝග, පුරුෂ කේන්දරයෙන් පෙන්වන ස්ත්‍රී කාරක යෝග, බහු විවාහ යෝග, සරාගී යෝග, වඳ යෝග, තුන් කුලුඳුල් දෝෂ ආදී වශයෙන් ගණනාවක්ද සඳහන්.
දැනට ශ්‍රී ලංකාව තුළ විවාහ පොරොන්දම් පරීක්‍ෂා කරන ජ්‍යොතිෂවේදීන් අතරද විවිධ මත පවතින අවස්ථා හමුවෙනවා. විවාහයට යෝජිත කේන්දර දෙකක් අරගෙන ජ්‍යොතිෂවේදීන් කිහිප දෙනෙකු ලවා පරීක්‍ෂා කළ විට එක් අයෙක් විවාහයට සුදුසුයි කියන කේන්දර දෙකක් තවත් ජ්‍යොතිෂවේදියෙක් විවාහයට සුදුසුයි කියන අවස්ථාද හමුවන බව ඔබ දන්නවා. ඒ වගේම තමයි කීයටවත් මේ විවාහය කරගන්න එපා කියලා උපදෙස් ලැබුණු අය හිතුමතේ විවාහ වෙලා ඉතා සාර්ථක විවාහ ජීවිත ගත කරලා යහපත් දූදරුවන් ලබා අද දවසේද සතුටින් ජීවත් වන අවස්ථාද, ඉතා හොඳින් පොරොන්දම් ගැළපෙන අය විවාහ වෙලා නොයෙක් ප්‍රශ්න ඇතිවූ අවස්ථා ගැනද ඔබ දන්නවා ඇති. ලෝක ජනගහනය සලකා බැලූ විට විවාහයට කලින් පොරොන්දම් බලන ප්‍රතිශතය ගැන ඔබට හිතන්න පුළුවන්. මේ කරුණු සියල්ල සලකා බලා අප විසින් පිළිතුරු සැපැයිය යුතු ප්‍රශ්නය වන්නේ කිසියම් දෙදෙනෙක් දීර්ඝ කාලයක සිට ආදරයෙන් බැඳිලා විවාහයට කලින් පොරොන්දම් බැලුවාම ‘ගැළපෙන්නේ නැත’ යන උත්තරය එනවා නම් ඔවුන් දෙදෙනා විවාහ නොවිය යුතුද? මෙතෙක් කල් පැවැති ආදරය කේන්දරය නිසා නැවැත්විය යුතුද? එය කළ හැකිද?
ජ්‍යොතිෂ ශිරෝමනී
දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි











