ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා සේ සැලකෙන රවි ග්‍රහයා ජන්මියකුට විවිධාකාර සුබ අසුබ ලබාදෙන ප්‍රධාන ග්‍රහයෙකි. මේ නිසාම රවිගේ මහ දශා අතුරු දශා මෙන්ම රවිගේ අපල පිළිබඳවත් දැන සිටීම ඉතා වැදගත් වේ.
රාශි චක්‍රයේ ජන්මියකුගේ පෞරුෂය, ලැබෙන ධනය, සහෝදර සහෝදරියන්, ගේ දොර, යාන වාහන, අධ්‍යාපනය, රෝග, මාරක අපල, පෙර පින්, රැකියාව, ඉපයීම් හා වැයවීම්ද පෙන්නුම් කරයි. මේ ස්ථාන අතරින් රවි ග්‍රහයා ගෝචර වීම අනුව ඒ ඒ ස්ථානවලින් ලැබෙන සැප හෝ දුක උරුම වෙයි. රවි ග්‍රහයාට සුබ ස්ථානයක ගෝචරය වුවද ජන්මියාට අසුබ පල දෙන අවස්ථා එමට තිබේ. එසේ වීමට ජන්මියකුගේ උපන් කේන්දරයේ රවි ග්‍රහයාගේ දුබලතාව බලපායි. උපන් කේන්දරයේ රවි ග්‍රහයා භංග නොවන නීචයක පසුවේ නම් එම රවි 20 වැනි දෙර්කාණාධිපති හෝ 64 නවාංශකාධිපති වේ නම් හෝ චර නවාංශකාධිපති වේ නම් බොහෝ නරක පල ලබාදේ.
එමෙන්ම රවි නිදනාමිශ හෝ අෂ්ටමාංශගත වී ඇත්නම් රවිට අසුබ දෘෂ්ටි ලැබේ නම් ජන්මියාට බොහෝ අසුබ ප්‍රතිඵල ගෙන එනු ඇත.
රවි ග්‍රහයා ප්‍රධාන වී යෙදෙන අපලයක්ද ජ්‍යොතිෂයේ සඳහන් වේ. ඒ පාඩත අපලයයි. මෙහිදී ජන්ම පත්‍රයේ රවි ග්‍රහයා සිටින රාශිය හරහා පාපී අසුබ ග්‍රහයකු ගමන් කරන විට මෙම අපලය ජන්මියාට උදාවෙයි. පාඩත අපලය ඇති ජන්මියාට බලාපොරොත්තු බිඳවැටීම, මානසික පීඩා, නිතර අඬදබර ඇතිවීම, ශරීර සෞඛ්‍යය දුර්වල වීම, ආර්ථික පරිහානිය මෙන්ම රැකියාවේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුවේ. එමෙන්ම ජන්මියකුට උන්හිටි තැන් පවා අහිමි කරන්නට පාඩත අපලයට හැකි බව ජ්‍යොතිෂ විශ්වාසයයි.
ජන්ම පත්‍රයෙන් රවි ග්‍රහයා මෙවැනි අපලකාරී තත්ත්වයකට පත්ව ඇත්නම් ඊට සුදුසු පිළිවෙත් කර අපලය දුරකර ගැනීම අනිවාර්ය කටයුත්තකි. අපලයක් යනු පෙර කළ පව් පලදීමකි. එනිසා අපලය කලින් හඳුනාගෙන ඊට පිළිවෙත් කොට සිදුවීමට නියමිත අසුබ ක්‍රියාකාරීත්වයන් පාලනය කරගත හැකිය.
ජන්ම පත්‍රයක රවි ග්‍රහයා අපල කරන තත්ත්වයට පත්වී ඇති බව දැනගත් විගස සියල්ලට පෙර තමන් දැහැමි දිවියකට නැඹුරු විය යුතුය. පස්පවින් වැළකී ගුණ දහම් වඩවන ක්‍රියාවන්ගේ නිරත වීමෙන් බරපතළ තත්ත්වය අඩුකර ගත හැකිය. එසේම රවිගෙන් අපල ඇති අය ගමන් බිමන් යෑමේදී, රිය පැදවීමේදී මෙන්ම යම් යම් අසුබදායක කටයුතුවලදී වඩාත් කල්පනාකාරී විය යුතුය.
නිතරම තම ඉෂ්ට දේවතාවා සිහිපත් කරමින් පිහිට පැතීමද සුදුසු වේ.
මෙයට අමතරව පෙර සඳහන් කළ ආකාරයට යහපත් පුද්ගලයකු වී ඉන් පසුව රවි අපලයට වත්පිළිවෙත් සිදුකිරීමෙන් වඩාත් උසස් ප්‍රතිඵල ලැබේ. එහිදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීම ප්‍රධාන තැනක් ගනී, ඊට අමතරව විෂ්ණු දෙවියන්ට හෝ කතරගම දෙවියන්ට සෙත් කවි කීම, රතු නෙලුම්, රතු අරලිය, රත් මල් වැනි රතු පැහැයෙන් යුතු මල් සර්වඥ ධාතුන්වහන්සේලා උදෙසා පූජා කර බෝධි පූජා පැවැත්වීම, ඉඹුල් ගසක් සිටුවා එයට සත්කාර කිරීම, ඉඹුල් සෙවණක මොහොතක් ගතකිරීම සහ රවි ග්‍රහයාට අදාළ ග්‍රහ දාන දීමද සුදුසු වේ. මෙයට අමතරව රතු රෙදි, රතු පරිප්පු, රතු සීනි වැනි දේ සිල්වත් ගුණවත් අයට ලබාදීම මගින්ද රවි ග්‍රහ දොස් දුරකරගත හැකිය.
මරණයට කැපවූ ගවයන්, කුකුළන්, ඌරන් වැනි සතුන්ටද සදාකාලයට සිරවූ ගිරවුන් පරෙවියන් වැනි සතුන්ටද නිදහස ලබාදීම තුළින් සහ අටපිරිකර පූජාව, ධර්ම දානය, වැසිකිළි තනවා පූජා කිරීම, ඉඹූල් කොළ තැම්බූ ජලය ස්නානය කිරීම තුළින්ද රවි අපල දුරුවනු ඇත. එසේම කිරි අම්මාවරුන්ට දානයක් දී එම දානය වෙනුවෙන් තැනූ ආහාර අගහිඟකම් නැති ධනවතුන් හට බෙදාදීමෙන්ද සහනයක් උදාකරගත හැකි වේ.
රවි ග්‍රහ අපලය සඳහා පුද පූජා කටයුතු කිරීමේදී පූජා වට්ටිය රතු මල්, රත් හඳුන්, පද්මරාග හෝ රතු කැට, තිරිඟු පිටි, රතු වද මල් මාලා, රතු රෙදි, රතු කොඩියක්, ඉඹුල් කොළ, දුසු සහල් බත්, උක් හකුරු මිශ්‍ර කිරිබත් සහ තුරඟ රූපයක්ද තැබීම සුබ පල වැඩිකරන කාරණාවන් බවද අමතක නොකළ යුතුය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, තරුපති ගෝවින්ද











