කේන්දරයක කොටු 12ක් තියෙන බව අපි දන්නවානේ. ඔය කොටු 12 හඳුන්වන්න එක එක නම් දීලා තියෙනවා. එයින් 9 වැනි කොටුව හඳුන් වන්න භාවිත කරන නම් තමයි ධර්මස්ථානය, පුණ්‍යස්ථානය, භාග්‍යස්ථානය. නවවැනි කොටුවේ සුබ ග්‍රහයන් තැන්පත් වෙලා ඉන්නවා නම් නවවැන්න අධිපති කේන්දරයේ හොඳ නැකත සුබ ග්‍රහයන් සමග ඉන්නවා නම් එහෙමත් නැත්නම් නවය අධිපතිව සුබ ග්‍රහයන්ට පෙනෙනවා නම් එම කේන්දර හිමියා ඉහත ආත්මවලදී කරගත්ත පින් ඇති කෙනෙක් කියලා කියන්න පුළුවන්.
කේන්දරයේ 10 වැනි කොටුවට අපි කියන්නේ අභිමානස්ථානය, කර්මස්ථානය කියලා. මෙතැනදී කර්මය කියන්නේ ක්‍රියාකාරකම්වලට. එනම් රැකියාව.
කර්මස්ථානයේ සුබ ග්‍රහයන් තැන්පත් වෙලා ඉන්නවා නම් කර්මස්ථානයේ අධිපති කේන්දරයේ හොඳ තැනක බලවත්ව ඉන්නවා නම් කර්මස්ථානය සුබ ග්‍රහයන්ට පෙනෙනවා නම් කේන්දර හිමියා හොඳ රැකියාවක් හෝ හොඳ ව්‍යාපාරයක් කරන බවයි පෙනී යන්නේ.
කිසියම් ජන්ම පත්‍රයක ධර්මස්ථානයේ අධිපතියාත් කර්මස්ථානයේ අධිපතියාත් යෝගව (එකම රාශියේ) සිටීම ධර්ම කර්මාධිපති රාජ යෝගයයි. ධර්මස්ථානයේ අධිපති සිටි තැනින් හත්වැන්නේ (සම සප්තමව) කර්මස්ථානයේ අධිපතියාගේ පිහිටීමෙන්ද ඉහත යෝගය නිර්මාණය වන අතර එය දෘෂ්ටිමය ධර්ම කර්මාධිපති යෝගය ලෙස හඳුන්වනවා.
තවද 9,10 අධිපතීන් පරිවර්තනය වීමෙන්ද (9 අධිපති 10 වැන්නේ සහ 10 අධිපති 9 වැන්නේ) ධර්ම කර්මාධිපති රාජ යෝගය නිර්මාණය වනවා. පහත සටහන ආධාරයෙන් ඔබගේ ලග්නයට අනුව 9 වැන්නේ (ධර්මස්ථානයේ) අධිපති සහ 10 වැන්නේ (කර්මස්ථානයේ) අධිපති හඳුනා ගන්න.
ඔබගේ ලග්නයට අනුව 9 වැන්න සහ 10 වැන්න අධිපතීන් දෙදෙනා එකම රාශියක සිටී නම් හෝ සම සප්තමව සිටී නම් හෝ පරිවර්තනය වී සිටී නම් ඔබද ධර්මකර්මාධිපති රාජ යෝගයෙන් පිදුම් ලබන වාසනාවන්තයෙකි.
ඔබගේ ලග්නය වෘෂභ නම් ඔබට 9 වැන්නාධිපති වන්නේත් 10 වැන්නාධිපති වන්නේත් ශනිමයි. එතකොට මෙම යෝගය නිර්මාණය වෙන්න විදියක් නැහැ. වෘෂභ ලග්නයට ධර්මකර්මාධිපති යෝගය යෙදෙන්නේ නැහැ.
මෙම යෝගය නොයෙදුණාට වෘෂභ ලග්න හිමියකුට තිබෙන පෙර පින් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන අතර 10 වැන්නේ පිහිටි බලය අනුව රැකියාවෙන් උසස් තත්ත්වයකට යන්නත් පුළුවන්.
ධර්මකර්මාධිපති රාජ යෝගයකට කියන තවත් නමක් තමයි භාග්‍යරාජ්‍යාධිපති යෝගය. ජන්ම පත්‍රයක කේන්දර ස්ථානයක් සහ ත්‍රිකෝණ ස්ථානයක් එකතුවීමෙන් නිර්මාණය වන මෙම යෝගය පිහිටි තැනැත්තා ඉතා බලවත්, ධාර්මිකව ජීවත් වෙනවා. සිතට එකඟව කටයුතු කරන අතර කිසියම් පිරිසකට හෝ ප්‍රදේශයකට ප්‍රධානියකු බවට පත්වෙනවා.
සෙසු පිරිස අවවාද අනුශාසනා ලබාගන්නට නිතරම තමන් වෙත පැමිණෙනු දැකගත හැකියි. සියලු සැප සම්පත් ලබමින් ප්‍රසිද්ධ ජීවිත ගතකරන මොවුන් උත්පත්ති තත්ත්වයට වඩා බොහෝ ඉහළ තත්ත්වයකට යන බව පෙනීයන දෙයක්.
ජන්ම පත්‍රයක මෙම යෝගය නිර්මාණය කිරීමට හේතු වන ග්‍රහයන් දෙදෙනා අදාළ රාශි තුළ බලවත්ව පිහිටි විට යෝගයෙන් ලැබෙන ප්‍රතිඵලද බලවත් වෙනවා. පුද්ගලයාගේ දියුණුවට යහ පැවැත්මට පෙර පින් තිබිය යුතු බවද තමන් විසින් දැඩි උත්සාහයෙන් කටයුතු කර දියුණුව ළඟා කරගත යුතු බවද මෙම යෝගය අපට පෙන්වා දෙන ප්‍රධානතම කාරණයයි.
ජ්‍යොතිෂ ශිරෝමනී, දේශබන්දු අගලවත්තේ චන්දන වීරක්කොඩි