ඉතිහාසය ගැන විමසද්දී බොහොමයක් කරුණු ජනප්‍රවාද ඇසුරේ හෙළිකෙරෙන කරුණුය. පොතපතේ සඳහන් දෙයට වඩා බොහෝ රසමුසු දේත්, වටිනා කියන දේත් රහසිගත දේත් ජනප්‍රවාද ඇසුරේ මුඛ පරම්පරාගතව පැවැත එන කරුණුවලින් හෙළි කරගත හැකිය. රාවණ ඉතිහාසයද එවැනි ජනප්‍රවාද සහ මුඛ පරම්පරාගත කරුණු ඇසුරේ පැවැතගෙන විත් අපට හිමිවූ සුවිශේෂ ඉතිහාස කතාවකි.
මෙරට අභිමානවත් යුගයක මතකයන් ජන හදවත් අතරට ගෙන එන රාවණ ඉතිහාසය කිසිදා කිසිවකට සමකළ නොහැකි විශිෂ්ට යුගයක් ලෙස සැලකෙයි. ලෝකයේ අභිමානවත් යුගයක් ලෙස සැලකෙන රාවණ ඉතිහාසය දෙස බලද්දී එකී ජනප්‍රවාද ඇසුරේ හෙළිවන කරුණු කාරණා අනුව පැහැදිලි වන ආකාරයට ලෝකයත් මුළුමහත් විශ්වයත් පාලනය කළ හැකි විස්මිත බලයක් රාවණ රජු සතුව තිබේ. හෙතෙම එදා දැනට වසර දහස් ගණනකට එපිටදී අහසින් ගමන් කළ යානයක් නිපදවූ ලොව ප්‍රථම පුද්ගලයා ලෙසද සැලකිල්ලට බඳුන්වේ. එමෙන්ම විශ්වය පාලනය කිරීමේ විස්මිත බලයෙන් අසීමිතව වැඩ ගත්තකු ලෙසද රාවණ රජුට හිමිවන්නේ ප්‍රබල ස්ථානයකි.
රාවණ රජු ගැන කතා කරද්දී නිතැතින්ම රාමා සීතාද මතකයට නැගෙනුයේ එකිනෙක බද්ධ වූ කාරණා අනුවය. ජනප්‍රවාද ඇසුරේ කෙසේ වුවද ඉන්දීය කෘතියක් වන රාමායනය අනුව ලංකාවේ රාවණ ඉන්දියාවේ රාමගේ බිරිය සීතාව බලෙන් පැහැරගෙන ආ බවට පැවසුණත් එය විවාදයට බඳුන් වන කරුණකි. මෙරට බොහෝ ජනප්‍රවාද පිළිබඳ සොයා බලද්දීත් හෙළිවන රහස් පොකුරකි. රාමායනයේ පැවැසෙන ආකාරයටත් හෙළ ජනප්‍රවාද ඇසුරේ හෙළිවන ආකාරයටත් රාවණ යනු අසීමිත බලයක් සහිත විශ්වය පවා පාලනය කළ රජ කෙනෙකි. එවැන්නකුට සීතා වැනි කාන්තාවක බලෙන් පැහැරගෙන පැමිණීමට තරම් අවශ්‍යතාවක් නැති බව පැහැදිලි වන සත්‍යයකි. එහෙයින් කාන්තාවක් තමාට අවශ්‍ය නිසාවත්, සීතාගේ රුවට වසඟ වීමෙන්වත් රාවණ සීතා පැහැරගෙන ආවා යන තර්කය බිඳවැටේ.
මේ කතාවේ තවත් සුවිශේෂ රහසක් සැඟව ඇති බව ජනප්‍රවාද ඇසුරේ හෙළිවෙයි. එනම් සීතා යනු රාවණගේ සහෝදරියක යන්නයි. එය සත්‍යයක් බවට ජනප්‍රවාද ගැන විමසීමේදී මනාව හඳුනාගත හැකි වෙයි.
විශ්‍ර වස්මුණි නම් රජුට දාව තෛසි බිසවකට දියණියක් ලැබුණු බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. මේ දියණියගේ උපන් වේලාව ගෙන ජන්ම පත්‍ර සකසා බලද්දී හෙළිව ඇත්තේ ඇය මෙරට වාසය කළහොත් සිය සහෝදර පරපුර වනසා රට තුළත් රාජ්‍යත්වයටත් විශාල හානියක් කරනවාය යන්නයි. මෙයින් මහත් කලබලයට සහ තැතිගැන්මට පත්වූ වස්මුණි රජු ඊට සුදුසු උපායක් සිතා මාළුවකුගේ හැඩයට ඔරුවක් සකසා සිඟිති කුමරිය එහි රඳවා ඔරුව ගොළු මුහුදේ පාකර හැර තිබේ. ඒ මොහොතේ කළ හැකි හොඳම කටයුත්ත එය යැයි සිතා එසේ කළද ඇය පාකර හැරි ඔරුම මුහුද මැදදී කුණාටුවකට හසුව ගංගා නම් ගඟට පාවී ගොස් තිබිණි.
ඒ මොහොතේ ගංගා නම් ගඟේ දිය නෑමට පැමිණ සිටි මාගින නම් බ්‍රාහ්මණ තාපසයා ඔරුව දැක සිඟිත්තිය ඉන් මුදාගෙන ගංගා නම් ගඟ අසබඩ රාජ්‍ය කළ ජනක රජුට මේ බව පැවැසීමට සිතා රජු සිටි තැනක් සොයාගෙන ගොස් තිබේ. ඒ මොහොතේ රජු සීසාන උත්සවයකට සම්බන්ධව සිටින බව දැන එම ස්ථානයට ගොස් බිලිඳිය භාරදී තිබේ. කුඩා බිලිඳියගේ ළමැදේ සටහන් කර තිබූ පුලස්ති පරපුරේ ලාංඡනය දුටු ජනක රජු කැමැත්තෙන්ම බිලිඳිය භාරගත් බවද ජනප්‍රවාද ඇසුරේ සඳහන් වේ.
සීසාන විට හමුවූ දියණිය සීතා ලෙස නම් කළ බවත් සඳහන් වන අතර ඇයට නඟුලිය නම් අන්වර්ථ නාමයක් ඇති බවටද පැවසෙයි.
ඉතිහාස කතාව එසේ වෙද්දී පසු කලෙක රාවණ රජුද තම නැගණිය වූ සීතා ගැන තොරතුරු මනාව දැනගෙන තිබේ. ඒ අනුව නිතර සිය නැගණිය ගැන අවධානයෙන් සිටි රාවණ, ඇයට ඇතිවූ ගැටලුසහගත තැනකදී ඇය මුදාගැනීමේ අරමුණෙන් සීතාව පැහැරගෙන ආ බවයි පැවසෙන්නේ. සිදුවීම කෙසේ වුවද මෙහිදී වඩාත් අවධානයට යොමු විය යුතු ප්‍රධානම කරුණ වන්නේ සීතා යනු පුලස්ති පරපුරේ රාජකීය උරුමය සහිත දැරිය යන්නයි.
එමෙන්ම මේ පුලස්ති පරපුරේ රාජධානිය සිංහගිරිය හෙවත් සීගිරිය බවටද බොහෝ ජනප්‍රවාද ඇසුරේ හෙළිවන අතර රාවණ සීතා පුවත ආවාට ගියාට මතුපිටින් නොවිමසා ගැඹුරින් සිතා බැලිය යුතු පුවතක් බව කවුරුත් පිළිගත යුතු සත්‍යයකි.
කුමාර රත්නායක










