මෙලොව එළිය දකින සෑම ජන්මියකුටම එකම ආකාරයක පෙනුමක් හෝ එක සමාන රුවක් ලැබෙන්නේ නැත. අයකු රූමත් වෙද්දී තවත් අයකු රූමත් නොවිය හැකිය. මේ තත්ත්වයට හේතු වන්නේ පෙර භවයන්හි ඒ ඒ ජන්මීන් කළ පව් පින් බවයි පැවසෙන්නේ. ඒ අනුව තම කුසල් අකුසල් මහිමයෙන් කෙනකු ඉතා රූමත් වෙද්දී තවත් අයකු අතිශය විරූපී විය හැකිය. එමෙන්ම ඇතැමුන් කුඩා කල රූමත් නොවුණද පසුකාලීනව රූමත් වේ. මේ සියලු තත්ත්වයන්ට හේතු වන්නේ තමන්ගේ උපන් වේලාවට අදාළ ග්‍රහචාරය බව තේරුම්ගත යුතුමය.
දුටුවන්ගේ නෙත් ඇද බැඳ ගන්නා රුවකට හිමිකම් ලබාදීමට රවි ග්‍රහයාද ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරයි. ඒ වාගේම චන්ද්‍රයාගේ බලයටද ප්‍රධාන තැනක් හිමිවන බව දත යුතුය. සිකුරු ග්‍රහයාගේ බලවත්කමද, අඟහරුගේ බලයද සුන්දර රුවකට ඉතා තදින් බලපාන බව පැවැසේ. එසේම රුවට හේතු වන තවත් ග්‍රහ බලයක් ලෙස බුධගේ බලයටද විශේෂ තැනක් හිමිවේ. ගුරු ග්‍රහයාගේ බලය හේතු කොටගෙන පිරුණු හැඩකාර සිරුරක්, ප්‍රසන්න බවක් ලබාදෙන අතර, සුන්දර රුවකට ගුරු ග්‍රහ බලයද නැතිවම බැරි සාධකයකි.
ලග්නයට සුබ වූ සිකුරු ග්‍රහයා පස්වැන්නේ සිට ලග්නය දැකීම සහ එම සිකුරු ග්‍රහයාට සුබ ලෙස පූර්ණ චන්ද්‍රයා පෙනීම මතද ඉතා අලංකාර රූසපුවකින් යුතු අය මෙලොව ජනිත වේ. ලග්නයට සුබ වූ සිකුරු ග්‍රහයා භාග්‍යස්ථානය හෙවත් නවවැන්නේ සිට පාප දෘෂ්ටිවලින් තොරව ලග්නය දැකීම නිසාද එම සිකුරු පූර්ණ සුබ වූ පාප දෘෂ්ටි නොලද සඳු විසින් දැකීම හරහාද ඉතා ඉහළ රූමත්කමකින් යුතු ලලනාවන් බිහිවනු ඇත.
ලග්නයට සුබ වූ සිකුරු එකොළොස් වැන්නේ හෙවත් අයස්ථානයේ සිටීම එම සිකුරුට පූර්ණ වූ පාප දෘෂ්ටි නොලද සඳු විසින් දැකීම අනුවද ලස්සන කාන්තාවන් මෙලොව ජනිත වන බව ජ්‍යොතිෂයේ සඳහන් වේ.
කේන්දරයට සුබ වූ බුධ ග්‍රහයා ලග්නයේ සිටීම හා එම බුධ ග්‍රහයාට සුබ වූ සඳු හෝ සිකුරු විසින් දැකීම හෝ එම ග්‍රහයන් දෙදෙනා විසින්ම දැකීම මතද ඉතා රූමත් තරුණියන් මෙලොව බිහි වීමට හේතු යෙදේ. සුබ රාශිගත වූ අඟහරු සමග පස්වැන්න නවවැන්න හෝ ලග්නයේ සිකුරු සිටීම හෝ සඳු ග්‍රහයා සමග යෝග වීම පිරිමින් වශී කරන ඉතා ඉහළ රූප සම්පත්තියක් සහිතව ලලනාවන් උපදින්නට හේතු යෙදේ. මෙම ග්‍රහ යෙදුම් සහිත අය යහ මඟ ගියහොත් රටතොට ප්‍රසිද්ධ උසස් කෙනකු වන බවත්, නරක මඟ ගියහොත් අනාචාරයේ යෙදී නම කැත කරගන්නා බවත් ජ්‍යොතිෂයේ සඳහන් වේ. මේ අය හොඳින් සිටියහොත් සිය කුලය බබලවන අය බවට පත්වන බවද සඳහන් වේ.
ලග්නයට සුබ වන ලෙස සිකුරු, අඟහරු හා බ්‍රහස්පති යන ග්‍රහයන් තිදෙනා ලග්නගත වී නම් මනා අඟපසඟ සහිතව උසට සරිලන මහතකින් යුත් මනරම් රූපයක් ලබනු ඇත. මේ අය කතාවටද, ක්‍රීඩාවටද දක්ෂ වේ.
මේ ආකාරයට යම් කේන්දරයක බුධ ග්‍රහයා ලග්නගත වීම හෝ පාප පීඩිත නොවූ පුර සඳු හා සිකුරු සමග යෝග වීමද හැඩකාර රුවකට වාසනාව පාදන්නකි.
ඉහත ග්‍රහ තත්ත්වයන්ට අමතරව තවත් බොහොමයක් ග්‍රහ තත්ත්වයනුත් සුන්දර රුවකට හේතු වන බව ජ්‍යොතිෂයේ සඳහන් වේ. එහෙයින් ඔබ රූමත් වීමට උනන්දුවක් ඇති අයකු නම් එම ගහ තත්ත්ව ඔබේ කේන්දරයේ ඇති ආකාරය ගැන පවුලේ ජ්‍යොතිෂවේදියාගෙන් අසා දැනගැනීම වැදගත් වේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ජය ශ්‍රී නන්ද කුමාර