රජයේ සේවකයකු ලෙස කටයුතු කළ සමන්ත සිය රැකියාවෙන් උපයාගත් මුදලින් තමන් පදිංචිව සිටි අනුරාධපුර ප්‍රදේශයේම නිවෙසක් ඉදිකළේය. නිවෙස ඉදිකිරීමේදී ඔහුගේ පියා මූලිකව කටයුතු කළ අතර පියාගේ කැමැත්ත අනුව සියලු සැලැසුම් කටයුතු ජ්‍යොතිෂයට සහ වාස්තුවලට අනුකූලව සිදුකෙරුණේය. එහෙත් සමන්ත ඒ සම්බන්ධයෙන් එතරම් තැකීමක් කළේ නැත. ඔහු ජ්‍යොතිෂය හෝ වාස්තු සම්බන්ධයෙන් එතරම් විශ්වාසය කළේද නැත.
නිවෙස ඉදිකිරීමෙන් පසු සමන්තට විවාහයක් සිදුකර දුන්නේද පියාගේ මැදිහත් වීමෙනි. ඒ අනුව ඔහුට ඉතාමත් හොඳින් ගැළපෙන සහකාරියක්ද ලැබුණේය. ඇයද ජ්‍යොතිෂය හෝ වාස්තු ගැන එතරම් තැකීමක් කළේ නැත. අලුත් නිවෙසේ පදිංචියත් සමඟින් සමන්තගේ අතමිට දින දින සරු විය. ඔහු තමන්ටම කියා වාහනයක්ද ගත්තේය. ඒ අතරේ ව්‍යාපාරයක්ද පටන් ගත්තේය. ඔහුගේ ව්‍යාපාරය වූයේ සහල් සැකසුම් ව්‍යාපාරයකි. එය දිනෙන් දින දියුණු වෙද්දී සමන්තගේ සහල් දිවයින පුරා බෙදාහරින්නටද අවස්ථාව ලැබෙන්නේය. මේ කටයුතු සඳහා කොළඹින් තමන්ටම කියා ඉඩමක් ගෙන ගබඩාවක් ඉදිකළ සමන්ත රැකියාවෙන් ඉවත්ව ව්‍යාපාරය කරන්නට පටන් ගත්තේ එයින් තමාට ලැබෙන ආර්ථික වාසිය වැඩිවූ නිසාවෙනි.
අනුරාධපුරයේ සිට කොළඹටත් කොළඹ සිට අනුරාධපුරයටත් නිතර නිතර එහා මෙහා යන්නට සිදුවූ හෙයින් සමන්ත කොළඹින් නිවෙසක් ගෙන පදිංචි වෙන්නට තීරණය කළේ මේ අතරේය. ආවාට ගියාට ගෙවල් ගන්නට එපා යැයි පියා කොතරම් පැවැසුවද ඒ ගැන තැකීමක් නොකර දෙමහල් නිවෙසක් මිලට ගත් සමන්ත සිය බිරියත්, දරුවන් සමඟින් එහි පදිංචි විය. හාල් මෝලේ කටයුතු පියාගේ සොයා බැලීම් අනුව සිදුකරනු අතර කොළඹ බෙදාහැරීම් සමන්ත සිදුකළේය.
වසරකට ආසන්න කාලයක් කොළඹ නිවෙසේ රැඳී සිටි සමන්ත විටින් විට උදරයේ ආබාධවලින් පෙළුණේය. ඔහුගේ බිරියටද එවැනි රෝග පීඩා ඇතිවූ අතර, විවිධ ගනුදෙනු සම්බන්ධවත් වෙනත් ප්‍රශ්නත් නිසා ඔවුන් නිතරම සිටියේ මානසික ආතතියෙනි. කෙතරම් මුදල් ලැබුණද ඒ තත්ත්වයන් හිතට නිදහසක් නොව කරදරයක් විය. ඇතැම් අවස්ථාවල චෙක්පත්වල මුදල් එකතු කිරීම පවා කරදරයක් සේ සමන්තට දැනුණේය. අවසානයේ ඔහු ව්‍යාපාරය අතහැර දමන තත්ත්වයට පත්විය. එයින් ව්‍යාපාරය පාඩු ලබන සහ බංකොළොත් තත්ත්වයට පත්වූයෙන් සමන්තගේ පියා කොළඹ නිවෙසට ආවේය. වාස්තු ගැන යම් දැනීමක් තිබූ ඔහුට නිවෙස තුළ තිබූ වැසිකිළි වළ දුටු සැණින් කාරණාව වැටහිණි. අවසානයේ ඔහු ඒ බව මා හට දැන්වීමෙන් පසු නිවෙස පරීක්ෂා කර බලා අවශ්‍ය කටයුතු විමසා බලන්නට සිදුවිය. එහිදී හඳුනාගත් වාස්තු දෝෂ රාශියකි. වාස්තු පුරුෂයාගේ හිස නියෝජනය කරන ප්‍රධාන පිවිසුම් දොර එම නිවෙසේ ජීවත් වන ගෘහ මූලිකයාගේ ආර්ථික තත්ත්වය මෙන්ම අනාගත දියුණුවද තීරණය කරයි. එනිසා නිවෙසක බ්‍රහ්ම පාදයට හිමි තැන ප්‍රධාන දෙරටද ලැබිය යුතු බවට වාස්තු විද්‍යාවේදී සලකයි. බ්‍රහ්ම පාදයත් ප්‍රධාන දොරත් කිසිදු ආකාරයකින් බාධා නොවන ආකාරයට තිබීමෙන් ගෘහ මූලිකයාගේ ඉදිරි ගමනද නිදහසේ සාර්ථක කරගන්නට හැකිවේ.
මෙම නිවෙසේ ඉහළ මහලට යෑමට ඒමට තිබූ පඩිපෙළ පිහිටා තිබුණේද ප්‍රධාන දොරටුවට මුහුණලාය. එයද නිවැසියන්ගේ මානසික සහනය අහුරා දමන්නකි. මෙමඟින් නිවැසියන්ට සිතේ නිදහසේ කටයුතු කරන්නට ඇති අවස්ථාව නැතිවී යයි. එසේම කරගෙන ආ කටයුතු අඩාළ වීමත්, ආර්ථිකයට බාධා කිරීමත් සිදුවේ. අදාළ නිවෙස වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ එම නිවෙසේ පිටුපස කොටසේ ඇතුළත තිබූ වැසිකිළි වළයි. නිවෙසක් තුළ වැසිකිළි වළක් පිහිටුවීම අතිශය අසුබ දෙයකි. එයින් නිවැසියන්ගේ උදරය ආශ්‍රිත විවිධ රෝගාබාධ හට ගැනෙයි. ශරීරයේ අප්‍රාණික බව, මානසික සහනයද නැතිවී යයි. ප්‍රියමනාප පෙනුමද කල්පනා ශක්තියද වෙනස් වේ.
එමෙන්ම කිසිදු වාස්තු දැනීමකින් තොරව වහලය ඉදිකර තිබෙනු දක්නට ලැබුණු අතර, එහි යටලී මූට්ටු පරාල මූට්ටු මෙන්ම පල ගණනේද අයහපත් ප්‍රතිඵල දක්නට ලැබිණි. ඒ නිසා එම හේතු සියල්ල යළි සකස් කළයුතු බව දැනුම් දීමෙන් පසු ඔවුන් කැමැත්තෙන්ම ඊට එකඟ විය.
ඉහත සඳහන් කළ සියලු දෝෂ නිරාකරණය කිරීමෙන් පසුව අද වෙද්දී සමන්ත සිය පවුල සමඟ එම නිවෙසේ සතුටින් වාසය කරයි. ඔහු අද වෙද්දී ලංකාවේ ප්‍රබල සහල් සැපයුම්කරුවකුගේ තත්ත්වයට පත්ව සිටී.
(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව සලකන්න)
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්ද කුමාර











