මේ ආපු ගමන ගැන මටත් පුදුමයි…
සුනිල් සර් එක්ක වැඩ කරන්න ලැබුණෙ වාසනාවකට…
ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ වෙලා කෙටි කාලයකින්ම ජනප්‍රිය වුණු නළුවෝ බොහොමයක් ඉන්නවා. ඒත් ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයකින් ජනප්‍රියත්වය වගේම ඇගයීමටත් ලක් වෙන නළුවෝ ඉන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක් විතරයි. දුලාන් මන්ජුල ලියනගේ කියන්නෙත් සීමිත පිරිස අතර කෙනෙක්. ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ වෙලා ඉතාම කෙටි කාලයක් ඇතුළත නැගී එන නළුවා සම්මානය සඳහා නිර්දේශ වීමේ අවස්ථාව දුලාන්ට හිමි වෙනවා. මේ දවස්වල can you hear me ටෙලි නාට්‍ය හරහා ජනප්‍රියත්වට පත් වෙලා ඉන්න දුලාන් අපි එක්ක කතාබහට එකතු වුණේ මෙහෙමයි.
කොහොමද can you hear me සඳහා ලැබෙන ප්‍රතිචාර?
ප්‍රතිචාර නම් ඉතාම හොඳයි. මේ ටෙලිනාට්‍ය ඉංග්‍රීසි උප සිරැසි සහිතව අන්තර්ජාලයට එකතු කරන නිසා ජාත්‍යන්තරයෙන් පවා හොඳ ප්‍රතිචාර තියෙනවා. විශේෂයෙන් ඉන්දුනීසියාව, ජපානය සහ ඉන්දියාව වගේ රටවල ප්‍රේක්ෂකයන් රැසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න බව පේනවා. ඉන්දුනීසියාවේ කුඩා ළමුන් පිරිසක් ජ්බ හදම යැ්ර පැ ටෙලි නාට්‍යයේ ගීතයකට රංගනයේ නිරත වෙන ආකාරයත් පසුගිය දවසක අන්තර්ජාලයට එකතු කරලා තිබුණා.
ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයකින්ම මේ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණු එක ගැන මොකද හිතෙන්නේ?
මං හිතන්නේ ඒක මට ලැබුණු ලොකු භාග්‍යයක්. ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු යටතේ වැඩ කරන්න ලැබුණු එක වගේම ප්‍රවීණ ශිල්ප ශිල්පීන් රාශියක් එක්ක වැඩ කරන්න ලැබුණු එකත් ලොකු වාසනාවක්. හැබැයි ඒ අය ඉතාම මිත්‍රශීලීව අපි එක්ක වැඩ කරනවා. ඒ වගේම මාව මේ නිර්මාණයට සම්බන්ධ කර ගැනීම ගැන සුනිල් කොස්තා මහත්මයාට මගේ ස්තුතිය හිමි වෙන්න ඕනෑ.
දුලාන් ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු විදිය මතක් කරලම අපි මේ කතාව ඉදිරියට අරගෙන යමු?
2017 නොවැම්බර් මාසෙදි තමයි මම මුලින්ම ටෙලිනාට්‍යයක චරිතයක් සඳහා පෙනී හිටියේ. කැළුම් උඩුවාවල අයියා තමයි ඒ ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්ෂවරයා විදියට කටයුතු කළේ. අලුත් ටෙලි නාට්‍යයක් ගැන දැන ගත්තොත් මට කියන්න කියලා මම ඒ වෙලාවේ කැළුම් අයියට කිව්වා. ඔහු තමයි මට සුදු ඇඳගෙන කළු ඇවිදින් ගැන කිව්වේ. “මල්ලි සුනිල් කොස්තා සර්ගේ වැඩක් පටන් ගන්නවා. ජගත් චමිල කියන රංගන ශිල්පියාත් ආවේ සුනිල් කොස්තා මහත්මයාගේ ටෙලි නාට්‍යයක් හරහා. ඒ හින්දා මේකට තේරුණොත් උඹේ වෙලාව.” කියලයි කැළුම් අයියා මට කිව්වේ. මම ටෙලි නාට්‍යයේ තෝරා ගැනීමේ පරීක්ෂණයට සහභාගි වුණා. 200ක විතර පිරිසක් ඒකට ඇවිත් හිටියා. දවස් දෙකක වැඩමුළුවකට පස්සේ තමයි තෝරා ගැනීම් තිබුණේ. කොහොම හරි ඒකෙන් මාව තේරුණා. ඒ හරහා තමයි මට සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ.
සුදු ඇඳගෙන කළු ඇවිදින් කියන්නෙත් ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ එක් සංධිස්ථානයක්. ඔබව ඒ හරහා නැගී එන නළුවා සම්මානයටත් නිර්දේශ වුණා. ඒ වගේම පැංචා ගැන අදටත් බොහෝ අය කතා කරනවා?
ඇත්තටම තවමත් බොහෝ දෙනෙක් මට පැංචා කියල තමයි කතා කරන්නේ. ඒ ජනප්‍රියත්වය තවමත් ඒ විදියටම තියෙනවා. මාව නැගී එන නළුවා සම්මානයට නිර්දේශ වුණා වගේම සුදු ඇඳගෙන කළු ඇවිදින් හොඳම ටෙලි නාට්‍ය සඳහාත් නිර්දේශ වුණා. මං හිතනවා ඒ ටෙලි නාට්‍යයේ මගේ කොටස මම හරියට කරන්න ඇති. ඒ හින්දා තමයි සුනිල් කොස්තා මහත්මයා ජ්බ හදම යැ්ර පැ සඳහාත් මාව තෝර ගන්න ඇත්තේ.
මේ තරම් ඉක්මනට මේ වගේ ගමනක් එන්න දුලාන්ට හැකියාව ලැබුණේ කොහොමද? ඒක උපතින් ගෙනාව දෙයක්ද? කැපවීමද? නැත්නම් වාසනාවද?
ඇත්තටම ක්ෂේත්‍රයේ රැඳෙන්න නම් වාසනාව තියෙන්නේ ඕනෑ. ඒ වගේම කවදා හරි නළුවෙක් වෙන එක තමයි පොඩි කාලේ ඉඳන්ම මගේ හීනය වුණේ. මං හිතන්නේ රංගනය කියන දේ පොඩි කාලේ ඉඳන්ම මගේ ඇගේ තිබුණා. ඒ වගේම පොඩි කාලේ ඉඳන් මම චිත්‍රපට බලන්නත් හරිම ආසයි. හැබැයි අපේ අම්මලා මගේ හීනයට කැමැති නොවුණු හින්දා මට අම්මලාගේ හීන වෙනුවෙනුත් කැප වෙන්න සිද්ධ වුණා. කොහොම වුණත් අන්තිමට ඒ හීනය සැබෑ වෙලා තියෙනවා. මේ ආව ගමන ගැන මටත් පුදුමයි. ඒ වගේම සතුටුයි. මං හිතන්නේ උපතින් ආව හැකියාව එක්ක වාසනාව, කැපවීම කියන හැමදේම මේ ගමනට බලපාන්න ඇති.
අනාගතයේදී දුලාන්ව අපට මොන වගේද දකින්න ලැබෙන්නේ. ක්ෂේත්‍රයේ පරිණත වෙද්දී බොහෝ දෙනා චරිත තෝරා ගැනීම ගැන කතා කරනවා. දුලාන් ඒක දකින්නේ කොහොමද?
මට ලැබෙන චරිතය මොකක්ද, ඒ චරිතයට උපරිමය කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒකට උපරිමය කරන්න පුළුවන් නම් ඕනෑම චරිතයක් මම බාර ගන්නවා. හැබැයි මට දැනෙන තරමින් උපරිමය කරත් ඒක සාර්ථකද, නැද්ද කියන එක ප්‍රෙක්ෂකයෝ තමයි තීරණය කරන්න ඕනෑ.
චන්දන පොන්නම්පෙරුම